UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වප් පුර අටවක 2014.10.01

දූ දරු මව්පිය සබඳතාවය

දර්ශවත් මව්පියවරුන්ට මෙලොව ඇති වටිනාම සම්පත දරු සම්පතයි. එම සම්පත මනාසේ පෝෂණය කරමින් ආරක්ෂා කිරීමට මව්පියවරු කරන කැපකිරීම මිල කළ නොහැකිය. මව්කුසට දරුවකු පිළිසිඳ ගත් බව දැනගත් දා පටන් ඒ මව තම කුසහොත් දරුවා මෙලොවට නිරෝගීව බිහි කිරීමේ අපේක්ෂාවෙන් පසුවන්නීය. ආදර්ශවත් මව්පියවරු තෙරුවනෙහි ආශිර්වාදය ලබා ගැනීමටද පසු බට නොවේ.එසේ නිරෝගීව මෙලොවට බිහි කළ දරුවා වෙත මැසි මදුරුවකුගෙන්වත් උවදුරක් නොවීමට වග බලා ගනිමින් බිළිඳු අවධියේ සිට අන් සියල්ලට වඩා දරුවාගේ රැකවරණය සලසන්නීය. ඒ දරුවා බහතෝරන වියේ පටන් හෝ ඇතැම්විට ඊටත් පෙර සිටම දරුවාගේ අනාගතය වෙනුවෙන් විවිධ සැලසුම් සකස් කරනුයේද මව්පිය දෙපළ තුළ දරුවා වෙත ඇති සෙනෙහෙබර කාරුණිකත්වය නිසාමය.

අනතුරුව පාසල් යන කලද තමන්ගේ සුව පහසුව විවේකය අතහැර දරුවාගේ සුව පහසුව වෙනුවෙන්ම මව්පියවරු හැමවිට කටයුතු කරති. නිසි අධ්‍යාපනය ලැබීමෙන් පසු සුදුසු රැකියාවක නිරත වුවද යොවුන් වියෙහි පසුවන තම පුතා හෝ දුව සන්ධ්‍යාවේ නිවසට එනතෙක් මඟ දෙස නෙත් අයා බලා සිටිනුයේ තම දූ දරුවන් කෙරෙහි පවතින දරු සෙනෙහසත්, දරුවාගේ ආරක්ෂාව සහ රැකවරණයත් නිරන්තරයෙන් පතන හෙයිනි.

රැකියාවක නිරතවීමෙන් පසු ආවාහ විවාහවීම පමණක් නොව අනතුරුව දරුවන්ගේ දරුවන් කෙරෙහිද ආරක්ෂාව ,පෝෂණය බොහෝවිට සිදු කරනුයේ වයස්ගත මව්පිය දෙපළය.

මෙසේ පරම්පරා දෙකක පෝෂණය සහ ආරක්ෂාව සපයන ස්වකීය මවට, පියාට ඇතැම්විට නොසලකා හැරීම අගය කළ නොහැකිය. මෙලොවට දරුවකු බිහිවූදා සිට මවට පියාට ඇත්තේ නිමක් නැති සතුටකි. එහෙත් ඒ සතුට දරුවන්ගේ ජීවිත කාලය පුරා රඳවා ගත හැකි වෙතොත් ඒ දරුවන්ගේ අභිවෘද්ධිය ට හේතුවේ.

උපන්දා සිට දින, සති, මාස, අවුරුදු ගත වී යයි. විවිධ සැමරුම් පවත්වති. එහෙත් බොහෝ දෙනෙක් ජීවිතයේ වැඩිහිටියකු බවට පත් වන බව අමතක කර දමති. ළමා විය, තරුණ විය, සහ මහලු විය ගැන ජීවිතයේ නිසි අවබෝධයක් ලැබිය යුතුය. ජීවිතය ගැන එසේ නුවණින් විමසා බැලීමෙන් වැරැදී ගිය තැන් නිවැරැදි කර ගැනීමට පහසු වෙයි.

දරුවකුගේ පෝෂණය, ආරක්ෂාව පමණක් නොව දරුවාට ගුණ යහපත්කමද ආදර්ශයෙන් කියාදීමෙන් එම දරුවාගෙන් හෙට දින සමාජයට යහපතක්ම සිදුවේ. එපමණක් නොව අද දරුවාට මෛත්‍රිය, කරුණාව, මුදිතාව ,උපේක්ෂාව පළ කළ තරමට හෙට ඒ දරුවා මව්පිය, වැඩිහිටියන් දෙස ගෞරවයෙන් සැලකීමට පුරුදු වේ. ගෞරවයෙන් ඔවුන් වෙත සංග්‍රහ කිරීමට පෙළ ගැසෙයි. දරුවාට ආදරය, සෙනෙහස මෙන්ම උගත්කමින් හා ගුණවත්කමින් පොහොසත් කිරීමට කටයුතු කිරීම මව්පියවරු සතු වගකීමකි.

යහපත් සසර පුරුදුතාවයන් පුරුදු පුහුණු කිරීමෙන් සසර ගමන පුරා මව්පිය සෙනෙහසින් දරුවන් සහ මව්පියවරුන් කටයුතු කරනු ඇත. දරුවන් වෙත මව්පියවරුන් ගෙන් හා මව්පියවරුන් වෙත දරුවන්ගෙන් හෝ ඉටුවිය යුතු යුතුකම් සහ වගකීම් පැහැර නොහැරීමට මව්පියවරු සේම දරුවන්ද කටයුතු කිරීම දෙපාර්ශ්වයේම බලවත් වගකීම බව කල්පනා කළ යුතුය.

ආදර්ශවත් මව්පියවරු හැම විට ගුණ දහමට නැඹුරු විය යුතුය. එසේ තමන් ගුණ දහම්හි නිරත වන විට එහි ආදර්ශය ලබමින් නිරන්තරයෙන් තම දරුවන්ද එම යහපත් මඟ අනුගමනය කිරීමට පෙළඹීම සමස්ත සමාජයේම යහපතට හේතුවන්නක් බව සිහිපත් කළ යුතුය. මවට, පියාට සැලකීම ආදර්ශයෙන්ම සිදුකරන බෞද්ධ සමාජය තුළ දරුවාට ලැබෙන එවන් යහපත් ආදර්ශ මගින් මව්පිය වැඩිහිටියන්ට සැලකීමට ගරු බුහුමන් දැක්වීමට මුළු ජීවිත කාලය පුරාම ඔවුන් කටයුතු කරනු ලැබේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අසිරිමත් සම්මා සම්බුද්ධත්වයට පත්ව දෙවන සතියේදී කළ ගුණ සැලකීම ආදර්ශයෙන් ම පෙන්වා වදාළහ. ඒ සම්බුදු මග අනුව යන බෞද්ධයා අපගේ පෞරාණික සිරිත්විරිත්ද අනුගමනය කරමින් දූ දරු මව්පිය සබඳතාවය වර්ධනය කරමින් ආදර්ශවත් දිවියක්ම ගත කළ යුතු වෙයි.

 

 

 

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් මස 01 වැනි දා බදාදා අපරභාග 01.47 ට ලබයි. 02 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 01 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
ඔක්තෝබර් 08 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]