Print this Article


ඉන්දියාවේ බුදු සසුන යළි බැබළවූ අනගාරික ධර්මපාල තුමා

ඉන්දියාවේ බුදු සසුන යළි බැබළවූ අනගාරික ධර්මපාල තුමා

බුදුදහම ලබාගැනීම නිසා ලංකාව විසින් ඉන්දියාවට ගෙවිය යුතු ණය අනගාරික ධර්මපාල තුමා මුලුමනින්ම ගෙවා දැමූ බව චැටර්ජි පැවැසුවේය. ධර්මපාලතුමා ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන යළි නඟා සිටුවා ලංකාවේ භික්ෂූන් පදිංචි කරවීය.

ආර්යයන් ලංකාවට පැමිණීමටත් පෙර ඉන්දියාව සහ ලංකාව අතර වෙළෙඳ සබඳතා පැවතුණ බවට තොරතුරු ඇත. සිලප්පදිකාරම් නමැති දෙමළ කාව්‍යයේ සඳහන් වන අන්දමට ලංකාව අසල මුහුදේදී වෙළෙඳ නැවක් අනතුරට පත්වුණි. ලක්දිව නාග ගෝත්‍රිකයන්ගෙන් උදව් ඉල්ලන්නට ඔවුන්ගේ භාෂාව දැන සිටියේ විපතට පත් දමිළ පිරිස අතරින් එක් අයකු පමණි. අශෝක රජතුමා තම පුත් මහින්ද මහ රහතන් වහන්සේ සහ දියණිය වූ සංඝමිත්තා තෙරණිය ලක්දිවට එව්වේය. එතුමිය බෙංගාලයේ තාමෘලිප්තියේ සිට දඹකොළ පටුනට සිරි මහ බෝධි ශාඛාව වැඩම කරවූවාය. ඉන්දියාව සමඟ පැවැති දැඩි සබඳකම හේතුවෙන් ලක්දිව බුදුදහම තහවුරු විය. ඉන්දියාව අපට බුදුදහම පමණක් නොව ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් , දර්ශනයක්, ගෘහ නිර්මාණ ශිලපයක්, සාහිත්‍යයක්, කලාවක් හා අගනා ජීවන ක්‍රමයක්ද ලබාදුනි.

අනෙක් අතට ලංකාවද ඉන්දියාවේ බුදුසසුන වැඩි දියුණු කරන්නට වැදගත් කාර්යභාරයක් ඉටුකොට ඇත. ඉන්දියානු ශාසන ඉතිහාසයේ දැක්වෙන අන්දමට ලාංකිකයෝ එරට මධ්‍යස්ථාන කීපයක ම බෞද්ධ කටයුතුවල නිරතව සිටියහ. කිතුවසට පෙර පළමු සියවස පමණ වනතුරු ඉන්දියානු භික්ෂූන් භාවිතා කළේ මහින්ද මහරහතන් වහන්සේ සකස් කළ අට්ඨ කථාවන්ය. නමුත් සත්වන සියවසෙන් පමණ පසු ඉන්දීය භික්ෂූන්ට හෙළඅටුවා පොත් පරිහරණය කිරීම අමාරු විය. ඒ නිසා, බුද්ධඝෝෂ, ධම්මපාල, සහ බුද්ධදත්ත යන තෙරවරු හෙළ අටුවා පාලි භාෂාවට පරිවර්තනය කළහ. ඒ හේතුවෙන් සිංහල අට්ඨ කථා පාලියෙන් හැදෑරීමට ඉන්දියානුවන්ට අවස්ථාව ලැබුණි.

දෙවන සියවසට අයත් ප්‍රාකෘත සෙල්ලිපියක සඳහන් වන පරිදි, කාශ්මීරය, ගන්ධාරය සහ චීනයේ ඇතැම් පෙදෙස්වල බුදුදහම පැතිරවීමේ නිරත භික්ෂූන් වැඩ සිටිය සිංහල විහාරයක් නාගාර්ජුන කොණ්ඩයේ තිබී ඇත. ඉන්දියාවේ ගුප්ත අධිරාජයා සමඟ ඇති කරගත් එකඟතාවයක් මත ලක්දිව ශිලාමේඝ රජු ලාංකික වන්දනාකරුවන්ගේ ප්‍රයෝජනය සඳහා බුද්ධගයාවේ විශ්‍රාම ශාලාවක් ඉදි කළේය. මහානාම හිමියන්ගේ සහ තවත් වාර්තාවලින් තහවුරු වන අන්දමට ඉන්දියාවේ බුදුදහම අතුරුදහන් වන කාලයේ ලාංකික වන්දනාකරුවන් විසින් බුද්ධගයාවේ විහාරයක් ඉදිකොට ඇත.

නාගාර්ජුන මහ තෙරුන්ගේ ශිෂ්‍යයකු වූ ඉන්දියාවේ නාලන්දා සරසවියේ ප්‍රධානියා වූ ආර්යදේව හිමි ලක්දිව රාජකුමාරයෙකි. මහායාන බුද්ධාගමේ දියුණුවට හේතුවුණේ උන්වහන්සේ ලියූ චතුස්සතක නමැති ග්‍රන්ථයයි. ඉන්දියාවේ මහායාන විද්‍යායතන සහ අනුරාධපුරයේ අභයගිරි හා ජේතවන විහාරයන් අතර කිට්ටු සබඳකමක් තිබුණ බව අපේ ඓතිහාසික වාර්තාවලින් පැහැදිලි වෙයි. මහායාන ප්‍රඥා පාරමිතා සූත්‍රය සකු බසින් ලියා තිබෙන රන් පත්තිරු ජේතවන දාගැබෙන් හමු වී ඇත.

පාහියන් හිමි ලක්දිවට වැඩියේ විනය පිටකය ඉන්දියාවෙන් සොයාගත නොහැකි වූ බැවිනි. උන්වහන්සේ ලක්දිව දී සොයාගත් ධර්මගුප්තික විනය ග්‍රන්ථ මහායාන භික්ෂූන්ට අතිශයින් ප්‍රයෝජනවත් විය. කාශ්මීරයේ ගුණවර්මන් රජු ඔටුන්න අත්හැර අභයගිරියට පැමිණ බුදුදහම හැදෑරූවේය. ඔහු චීනයේ ධර්ම ප්‍රචාරයේ යෙදුණේ විනය. විශාරදයකු වශයෙනි. ඉන්දියාවේ සිට චීනයට වැඩිය ‘වජ්‍රබෝධි’ හා ශිෂ්‍ය “අමෝඝවජ්‍ර” යන දෙනම ලාංකිකයෝය. අතීතයේදී ඉන්දියාවේ විහාරස්ථානවල ලාංකික භික්ෂූහු අධිපති තනතුරු දැරූහ. මෙලෙස අපේ රටවල් දෙක අතර තිබුණ සමීප සබඳකම දොළොස්වන සියවසේ ආක්‍රමණ නිසා අහෝසි විය.

බුදුදහම ඉන්දියාවේ නැවත පිහිටුවීම සිදු කළේ අනගාරික ධර්මපාල තුමාය. හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි සහ වැලිගම සුමංගල නා හිමි එතුමා දිරිමත් කළහ. මුල්කාලයේ එතුමාට උදව් කළේ හෙන්රි ඕල්කොට් සහ ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් මහත්වරුන්ය. බෙංගාලයේ කථානායක සුනිත් කුමාර් චැටර්ජි මහතා 1941 මහාබෝධි රන් ජුබිලි උළෙලේදි මෙම කාරණය පැවැසුවේ ඉතා උත්කර්ෂවත් අයුරිනි.බුදුදහම ලබාගැනීම නිසා ලංකාව විසින් ඉන්දියාවට ගෙවිය යුතු ණය අනගාරික ධර්මපාල තුමා මුලුමනින්ම ගෙවා දැමූ බව චැටර්ජි පැවැසුවේය. ධර්මපාලතුමා ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන යළි නඟා සිටුවා ලංකාවේ භික්ෂූන් පදිංචි කරවීය. හින්දු කුලවතුන්ගෙන් පීඩා විඳින මිලියන 141 ක් පමණ දාලිත් ජනතාවට බුදුදහම වැළඳගන්නට ඔහු ආයාචනා කළේය. ඔහුගේ ඉල්ලීමට අවධානය යොමු කළ නීති විශාරද දාලිත්වරයකු වන බාබාසහේබ් භීම් රාඕ අම්බෙඩ්කාර් මහතා බුදුදහම ගැඹුරින් හදාරන්නට පෙළඹුණි. සමාජයේ ඉහළට යාම සඳහා මැනවින් අධ්‍යාපනය ලබන ලෙසත්, ආධ්‍යාත්මික වර්ධනය සඳහා බුද්ධාගම වැළඳගන්නා ලෙසත් ඔහු කුලහීන ජනයාට දැනුම් දුන්නේය.

ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තැනූ නීතිය පිළිබඳ අමාත්‍ය අම්බෙඩ්කාර් තුමා 1950 දී ලංකාවට පැමිණියේ ලෝක බෞද්ධ සම්මේලනයේ ආරම්භක උත්සවයට සහභාගිවීමටයි. ඒ අවස්ථාවේ මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා ඔහු හඳුන්වා දුන්නේ බෝධිසත්ත්වයෙකු වශයෙනි. අම්බෙඩ්කාර් තුමා 2500 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් 1954 ඔක්තෝබර් 14 දින මිලියන ගණනක් දාලිත්වරුන් සමඟ බුදුදහම වැළඳගත්තේය. එතුමා පන්සිල්හි පිහිටුවන ලදදේ සම්භාවනීය ලාංකික හිමිනමක් වූ හම්මලව සද්ධාතිස්ස නාහිමියන් විසිනි. වර්තමාන ඉන්දියාවේ දාලිත් බෞද්ධයෝ නිල වශයෙන් මිලියන විස්සකි. එහෙත් සැබෑ තොරතුරු අනුව නම් වූ නියම ගණන ඊට වැඩි වෙයි.

ලංකාව , ඉන්දියාවේ බුද්ධාගම ව්‍යාප්තියට කැපී පෙනෙන මෙහෙවරක් සිදුකොට ඇත. කෝසම්බි ධම්මානන්ද රාහුල සංස්කෘත්‍යායන,ජගදීප් කාශ්‍යප සහ ආනන්ද කෞශල්‍යාන යන හිමිවරුන්ට ලංකාවේදි ආගමික දැනුම හා පුහුණුව ලබාදුණි. බංගලිදේශයටද එම සේවය සැපයුණි. වර්තමානයේ ඉන්දියානු දාලිත් බෞද්ධයන්ට නායකත්වය දෙනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ඉගෙනුම ලැබූ රාහුල බෝධි හිමියන් විසිනි. දලයිලාමා තුමා නිසා වජ්‍රයාන මහායාන බුද්ධාගම ද ඉන්දියාවේ පැතිරෙමින් පවතියි.

දැනට මතුවන ප්‍රශ්නය වන්නේ අතීතයේ මෙන් ඉදිරි සියවසේ බුදුසසුනේ පැවැත්ම සඳහා ශ්‍රී ලංකාවට මාර්ග සිතියමක් තිබේද ? යන්නයි. අතීතයේ සියවස් විසිතුනක් තිස්සේ ආසියාවේ බුද්ධාගම පැතිරවීමෙන් ලබාගත් අත්දැකීම් වලින් ශ්‍රී ලංකාව පොහොසත්ය. ශ්‍රී ලාංකික භික්ෂූන් ගිිහි බෞද්ධයන් සමග ඒකාබද්ධව ඉන්දියාවේ බුද්ධාගම වෙනුවෙන් උදව් කළ යුතුයි. අධ්‍යාපනය, ආධ්‍යාත්මික දියුණුව, සමාජසේවා හා අධ්‍යාපන ආයතන ගොඩනැඟීම මගින් එම උපකාරය කළ හැකිය. තවත් වැදගත් දෙයක් වන්නේ රටවල් දෙක එක්ව පාලි භාෂාව ප්‍රවර්ධනයට කි‍්‍රයා කිරීමයි. බුදුදහම නිවැරැදිව වටහා ගැනීමට නම් බුදුරදුන්ගේ භාෂාව වන පාලි ආරක්ෂා විය යුතුය. ඉන්දියානු කාන්තාවටද පැවිද්ද ලබාදීම බුදුදහමේ දියුණුවට හේතුවනු ඇත. ගුවන් විදුලිය,රූපවාහිනිය, හා අන්තර්ජාලය ඉන්දු ශ්‍රී ලංකා බෞද්ධයන්ගේ බුද්ධිමය සංවාද හා ඥානය සඳහා භාවිතා කළ හැකිය.බෞද්ධ ශිෂ්‍ය හුවමාරුව ද ඵලදායි දෙයකි. එසේම ඉන්දියානු බෞද්ධයන්ට සංචාරකයන් ලෙස අපේ රටට පැමිණ අතීත බෞද්ධ ශී‍්‍ර විභූතිය දකින්නට ඉඩ සැලසිය යුතුය. සීමා මායිම් ඉක්ම වූ බුදුදහමේ හැදියාව එවිට ඔවුන්ට පෙනෙනවා ඇත. මහායාන ථේරවාද සම්ප්‍රදාය වෙනස ගැන නොසිතා බෞද්ධයන් වශයෙන් ලෝවැසි අප කවුරුත් එක ධජයක් යටතේ එක්විය යුතුයි. කරුණාව,මෛත්‍රිය, අන්‍යෝන්‍ය සහයෝගය වැනි උතුම් ගුණාංග අප ඉස්මතු කොට ලොවට පෙන්විය යුතුයි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සුහදත්වය ගොඩනැගිය හැක්කේ ආධ්‍යාත්මික එකමුතුකම මගිනි.

(ආචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ මහතා විසින් 2013 ඔක්. 27 දින කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පවත්වන ලද ”  The Role of Sri Lanka in Promoting the growth of Buddhism in India in the new millennium” දේශනය ඇසුරිනි.