Print this Article


අනගාරික ධර්මපාලතුමන්ගේ ජන්ම දිනයට පින්කම්

අනගාරික ධර්මපාලතුමන්ගේ ජන්ම දිනයට පින්කම්

ගාල්ලේ සවිය පදනමෙන් දඹදිව බුද්ධගයාවේ

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් විසින් ලෝක ශාසනික අභිවෘද්ධිය උදෙසාත්, බුදුන් උපන් දේශයේ දඹදිව ඓතිහාසික සිද්ධස්ථාන රැකගැනීම උදෙසාත් සිදුකළ ජාතික, ආගමික හා සාමාජික මෙහෙවරට ශ්‍රී ලංකාවේ සවිය සංවර්ධන පදනම හා සවිය සංචාරක සේවය විසින් ඉන්දියාවේ බුද්ධගයා පුදබිමේ දී සැප්තැම්බර් 15 සිට 17 දක්වා පුණ්‍ය වැඩසටහන් සහ අධ්‍යාපනික, සංස්කෘතික හා ප්‍රජා සේවා රැසක් සංවිධානය කර ඇත. මෙම පින්කම් සංවිධානය කරනු ලබන්නේ ඉන්දීය මහාබෝධි සමාගමෙහි බුද්ධගයා මධ්‍යස්ථානයේ ද සහයෝගීතාවය ඇතිවය. මෙදින දාන, ශීල, භාවනා අංශවලින් සමන්විත පින්කම් ධර්මපාලතුමන් පිළිබඳ ලියැවුණු ඉංගී‍්‍රසි, සිංහල ග්‍රන්ථ කිහිපයක් එළි දැක්වීමට කටයුතු කෙරේ. එමෙන්ම ගයාවෙහි පිහිටි පාසල් අතර අධ්‍යාපනික තරග මාලාවක් පවත්වා ජයග්‍රාහී පාසල් සිසුන්ට මෙන්ම සහභාගී වන පාසල් දරුවන්ට ත්‍යාග හා තිළිණ ප්‍රදානයක් ද මේ මස 16 දින බුද්ධගයා මහාබෝධි මධ්‍යස්ථානයේ සිදු කෙරේ. විශේෂයෙන් ම ධර්මපාලතුමන්ගේ බොදු ශාසනික මෙහෙවර තේමා කොටගත් සමුළුවක් ද, එකී ජන්ම දිනය සිහිපත් කොට පැවැත්වෙනු ඇත. “සිරි දම්පල් ගුණ සමරමු” යන මැයෙන් වූ සංස්කෘතික පෙරහරක් 16 දිනද සංවිධානය කෙරේ. තවද මහා සංඝයා දෙසිය නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් ද 17 දින බුද්ධගයා පුණ්‍ය භූමියේ දී පැවැත්වේ. සවස ආලෝක පූජාව, පුෂ්ප පූජාව හා බෝධි පූජාද දෙස් විදෙස් දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වන මෙම “දම්පල් ගුණ වරුණ” 150 යනුවෙන් ඉන්දියානු මහා බෝධි සමාගම හා ශ්‍රී ලංකාවේ සවිය සංවර්ධන පදනම සංවිධානය කරනු ලබන බොදු මහා සමුළුවක්ද ඉන්දියාවේ බුද්ධගයාවේ දී මේ මස 17 දින පැවැත්වෙනු ඇත.


කුරුණෑගල තරුණ බෞද්ධ සංගමය

අනගාරික ධර්මපාලතුමාගේ 150 වැනි ජන්ම සංවත්සර උළෙලක් මේ මස 17 වැනි දා උදේ 9.00 සිට කුරුණෑගල තරුණ බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් එම සංගම් ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. තිස්සව රාජමහා විහාරාධිපති මුගුණුවටවන සිද්ධත්ථ නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම පින්කම් පවත්වනු ලබන අතර ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියන් ගුණ සමරු දෙසුම පවත්වති.


නාරහේන්පිට බෝධිරාජ සමිතිය

නාරාහේන්පිට, නාවලපාර, නාරහේන්පිට බෝධිරාජ සමිතිය සංවිධානය කරනු ලබන අනගාරික ධර්මපාලතුමාගේ 150 වැනි ජන්ම සමරුව මේ මස 17 වැනි දා සවස 3.00 සිට නාරාහේන්පිට අභයාරාම ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.