Print this Article


වාදීභසිංහ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද නා හිමි

අපවත්වී සැප්තැම්බර් 21 දිනට වසර 124 ක් සපිරෙයි

වාදීභසිංහ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද නා හිමි

මෙරට ජාතික ආගමික ප්‍රබෝධයේ පුරෝගාමී වූ සංඝයා වහන්සේ අතර වාදීභසිංහ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද හිමිපාණන් වහන්සේ සුවිශේෂ ස්ථානයක් දරති. ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය මොහොට්ටිවත්ත ග්‍රාමයේ ලද්දු අසනේරිස් ද මැන්දිස් හා මල්දෝ ද සිල්වා හාමිනේ යන දම්පතීන්ගේ කනිෂ්ඨ පුත් රුවන වූ මිගෙල් දොළොස්වන වියේදී පැවිදි බිමට පත්ව තෙවසරකට පමණ පසුව උපැවිදිව යළිත් පැවිදි බිමට පත්ව දඩල්ලේ වාලුකාරාමාධිපති බෝපාගොඩ ඤාණාලංකාර සිරිසුමන මාහිමියන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් බලපිටිය මෝදර මාදු නදී උදකුක්ඛේප සීමාමාලකයේදී උපසම්පදාව ලැබ මහා නා හිමියන්ද ,වැලිතර ගුණරතන හිමියන්ද ඇසුරු කරමින් ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර උගත්හ.

කොටහේනේ සාමියෙල් තාබ්‍රෙව් මුදලිතුමා විසින් සීනිගම ධීරක්ඛන්ධ හිමියන්ට පුදන ලද කොටහේනේ බිම් කොටසෙහි ගුණානන්ද හිමියන් සමග (ධීරක්ඛන්ධ හිමි ගුණානන්ද හිමිගේ මවගේ සොහොයුරෙක් වෙති) ආවාසයක් තනාගෙන වැඩ සිටියහ.

මෙම වකවානුව අගනුවර භික්ෂූන් වහන්සේ නමකට තබා ගිහි බෞද්ධයෙකුවත් සිටීමට බැරි තරම් අන්‍ය ආගමික බලය බලවත්ය. පල්ලියේ පියතුමා ගුණානන්ද හිමියන්ගේ ව්‍යක්ත භාවය දැන සිය ආගමට උපකාර කර ගත හැකිවෙතැයි සිතා අන්‍ය දහම ගැන සියලු කරුණු කියා දුන්නේය. අන්‍ය ආගමික අවබෝධය උන්වහන්සේ වාද විවාද ගමනට මහත් උපකාර විය.

ලක්දිව බෞද්ධ සමිති සමාගම් ඇරැඹීමේ පුරෝගාමිත්වය දැරුවේ ගුණානන්ද හිමියන්ය. කොළඹ නගරයේ බෝගස් කැප්පවීමට විරුද්ධව දේශනා කරමින් 1849 දී එවකට ප්‍රධාන පෙළේ බෞද්ධ ප්‍රභූවරුන්ගේ ආරාධනයෙන් හිල් වීදියේ පීටර් ඩයස් බණ්ඩාරනායක මුදලිතුමාගේ වලව්වේදී “බෝධිරාජ සමිතිය’ නමින් සංගමයක් අරඹා බෝධිවෘක්ෂ කැපීමට විරුද්ධව සටන් කළහ. කැපූ බෝගස් තිබූ තැන්හි අලුතින් සිටුවූහ. අද ඒ බෝධි වෘක්ෂ දක්නට ඇත. කොළඹ මෙන්ම නොයෙක් පළාත්වල බෞද්ධ සමිති ආරම්භ කරගෙන බෞද්ධ බලය ඇතිකර ගැනීමට උත්සාහ කළහ.“අභයගිරි චෛත්‍යෝපකාර සභාව මගින් මහත් වැදගත් කටයුතු රැසක් සිදු කළහ.

වර්ෂ 1887 දී මිෂනාරින් විසින් මැවුම්කාරයෙකු ඇතැයි යන කියමන සහිත පත්‍රිකාවක් බෙදීම නිසා සිත් තැවුලට පත් බෞද්ධයන් බෞද්ධ පත්‍රිකා සමාගම බිහිකොට මිෂනාරිවරුන් ගේ අදහස්වලට කදිමට පහර දුන්හ. ත්‍රිපිටක වාගීෂ්වාරාචාර්ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ ශාස්ත්‍රාලෝකය පතුරවද්දී මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියෝ මිසදුටුවන්ට ප්‍රබල පහරක් එල්ල කළහ. ජනතාවගේ සිත් එඩිතර කළ උන්වහන්සේ මිෂනාරි බලවේගයන්ගේ මර්දනයට ඔවුන්ගේ අදහස්හි සාවද්‍ය බව පෙන්වීමට ඔවුන් තුළින් තමන් උගත්දේ උපයෝගී කර ගත්හ. බුදු දහමේ සත්‍යතාවය පෙන්වා දුන්හ. මේ පිළිබඳව වරාගොඩ, උදම්මිට, ගම්පොළ, පානදුර, බද්දේගම, ඔරුගොඩවත්ත ආදී නොයෙක් ස්ථානයන්හි සිංහනාද විලාශයෙන් අභීතව සිය අදහස් මගින් පැතිර වූ මහා ජයග්‍රාහී බලය බෞද්ධයන්ගේ වාසනාවට හේතු විය. සිංහලයා සිංහලයකු ලෙසත් බෞද්ධයා බෞද්ධයකු ලෙසත් හිස ඔසවා එඩිතරව අභිමානයෙන් නැගී සිටීමට නොහැකි යුගයක බෞද්ධකම සිංහලකම හෙළා දකින යුගයක බෞද්ධයින් අන්‍ය ආගමිකයින් බවට පත්කරගන්නට උත්සාහ දරන යුගයක ගුණානන්ද හිමියන් කළ ප්‍රබල සංග්‍රාමය විශිෂ්ටය.

පානදුරා මහාවාදයේ ඉංගී‍්‍රසි පිටපතක් අමෙරිකාවේ සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාට කියවන්නට ලැබී සතුටට පත්ව ගුණානන්ද හිමියන් සමඟ ලිපි ගණුදෙනු කොට උන්වහන්සේගේ කටයුතු වලට සහාය දීමට මෙරටට පැමිණියේය. පරම විඥානාර්ථවාදී ඕල්කට්තුමා බෞද්ධ පාසල් බිහිකිරීමේ උත්සුක විය. ගුණානන්ද හිමියන්ගේ අදහස් පිළිගනිමින් බුදුසමය වැළඳ ගැනීමට මෙහි ආ රුසියන් ජාතික බ්ලැවෙට්ස්කි මැතිනියද බෞද්ධ ප්‍රබෝධයෙහිලා රුකුලක් වූවාය.

‘සත්ව මාර්ගය’, ‘ලක්මිණි කිරුළ’ , ‘ක්‍රිස්තියානි වාද විෂාතනිය’, ‘දුර්ලබ්බී විනෝදනිය’, ‘මොහවිසාතනිය’ , ‘සත්‍ය ප්‍රකාශය’, ‘රිවිරැස’ යනාදී පොත් ප්‍රකාශයට පත්කරමින් අන්‍ය ආගමික මත මුළුමනින්ම නිශේධ කළහ. “බුද්ධ ඇදහිල්ල’, ‘බෞද්ධ ප්‍රශ්නය’ ආදී පොත් බෞද්ධ ශ්‍රද්ධාභක්තිය වඩවන්නක් විය. උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රඥානය විශාලය. “මිලින්ද ප්‍රශ්නය’, ‘සිංහල ජාතක පොත’ ආදිය මුද්‍රණය කොට පතුරුවා හළ උන්වහන්සේ ලියූ ධර්ම පත්‍රිකා සංඛ්‍යාව අති විශාලය.

දොන් අන්ද්‍රියස් සිල්වා ධර්මවර්ධන මුහන්දිරම්, පීටර් ද සිල්වා මොහොන්දිරම්, පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි ආදී ගිහි ප්‍රභූවරුන්ගේ සහාය අගනේ විය. හික්කඩුවේ සුමංගල නාහිමියෝ ගුණානන්ද හිමියන්ට අත්වැලක් වූහ. ගුණානන්ද හිමි ඈපා අප්පුහාමි මහතා සමඟ බිහිකළ විද්‍යාධාර සභාව කළ මෙහෙවර අගනේය.කිසිවෙකුටත් බිය නොවී සිංහලකම බෞද්ධකම පෙන්වමින් මෝල්ගස්වල බෞද්ධකොඩි බැඳගෙන කළ පෙරහර උන්වහන්සේගේ එඩිතර අභිමානවත් චරිතය පෙන්වයි. මේ සියලු තන්හි අප්‍රමාණ තාඩන පීඩන ගැරහුම් පැමිණියද සිය අභීත ගමන ගිය බැව් කිව යුතුය.

අයුක්තිය අසාධාරණය ඉදිරියේ කේශර සිංහ රාජයකු මෙන් අභීතව වැජඹුණු උන්වහන්සේ 1890 සැප්තැම්බර් 21 වන දින 67 වසරක් ආයු ශ්‍රී වළදා අපවත් වී වදාළහ.

සිංහල බෞද්ධයින්ට මහත් පාඩුවක් ගෙන දුන් එම අපවත්වීමෙන් අප පමණක් නොව පෙර අපර අන්‍යාගමික ප්‍රභූත් පවා මහත් සේ ශෝකයට පත්විය. මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි යම් ආගමක සහ ජාතියක ද මා ද ඒ ආගමිකයකු හා ජාතිකයෙකු වීම ගැන ආඩම්බර වෙමි.

අද දේශ දේශාන්තරයෙහි නොයෙක් ජාතීන් අතර රැව් පිලිරැව් දෙමින් පවත්නා ජාතිකවූද ආගමික වූද පුනර්ජීවනයක් ඇති කළා වූ මුන් වහන්සේට සමකළ හැකි අනභිභවනීය විශාරද සිංහල කවීශ්වරයෙකු මෙදවස තෙක් ඇති නොවීයැයි සර් ඩී.බී. ජයතිලක සූරීහු පවසති. මොහොට්ටිවත්තේ ඉන්දසෝම ගුණානන්ද හිමියන්ගේ තවත් ශිෂ්‍යයෙක් වූ අතර නාහිමියෝ ප්‍රකට ගිහි ශිෂ්‍යයෝ රැසක් බිහි කළහ.

කොටහේනේ සංඝමිත්තා දහම් පාසල 1878 දී උන්වහන්සේ අඩිතාලම් දැමූ ඇරඹූ දහම් පාසල බව කියැවේ. ගුණානන්ද විද්‍යාලය , කුමාර විද්‍යාලය, ගුණානන්ද මාවත, ගුණානන්ද දහම් පාසල, ගුණානන්ද ප්‍රතිමා , පානදුරා වාද භූමිය, මේ සියල්ල උන්වහන්සේ පිළිබඳ ස්මාරකයෝය.

උන්වහන්සේට කරන සැබෑ ගෞරවය එදා උන්වහන්සේ කළාක් මෙන් ඒ ගමන් මඟ යමින් පිරිහීගෙන යන බෞද්ධකම සිංහලකම වර්ධනයට කටයුතු කරමින් බුදුදහමේ සත්‍යතාවය එළිදක්වමින් ජාතික ආගමික පුනර්ජීවනය සිදු කිරීමය.

අපවත් වී මෙම සැප්තැම්බර් 21 වන දාට වසර 124 සපුරන වාදීභසිංහ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද හිමිපාණන් වහන්සේට නිවන් සුව ලැබේවා.