Print this Article


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු - 49

මිගජාල මහරහතන් වහන්සේ

සංසාරය කියන්නේ අතිශයින්ම බිහිසුණු එකක්. අප කවරුත් තවමත් මේ ගමන් කරන්නේ ඒ බිහිසුණු වූ සසර ගමනේ. මේ ගමන අප අද ඊයේ පටන් ගත්තා නොවේ. අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ (අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ සුබ්බකෝටි න පඤ්ඤායති) පින්වත් මහණෙනි, මේ සංසාර ගමන යනු ආරම්භක කෙළවරක් පෙන්වීමට නොහැකි තරම් අනවරාග්‍ර වූ ගමනකි. ( අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සංධාවතං සංසරතං) ජීවිතය ගැන අනවබෝධයෙන් තෘෂ්ණාවට ඇලී ගමන් කරන මේ සත්ත්වයන්ගේ සසර ගමන පූර්ව කෙළවරක් දැකිය නොහැකි තරම් දීර්ඝ ය යනුවෙනි.

සැප විඳිමින් නම් යන්නට තිබෙන්නේ මේ සංසාරය දීර්ඝ වූවාට කම් නැත. එනමුත් මේ සංසාර ගමන ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ මේ අයුරිනි. පින්වත් මහණෙනි, මේ සංසාර ගමනේ නොයෙකුත් ජාතින්ගේ ඉපදෙමින් මැරෙමින් සැරිසරා එද්දී ඔබගේ නෙතඟින් වෑහුණු යම් කඳුළක් ඇද්ද, ඒ කඳුළුමයි වැඩි. සතරමහා සාගරයේ ජලය නම් නොවේ. එහෙම නම් මේ සංසාරයේ අපට වැඩිපුරම කරන්නට සිදුවුණේ අඬමින් එන එක නොවේද? පින්වත් මහණෙනි, මේ සසර ගමෙන් අනෙක් උපත් ලැබූ ඔබගේ ඒ උපත් වලදී ගෙල සිඳ දමා මරද්දී වැගුරුණු යම් රුධිරයක් ඇද්ද ඒ රුධිරයමයි වැඩි. සතරමහා සාගරයේ ජලය නම් නොවේ. මොහොතක් සිතන්න. කොතරම් කටුකයිද කෙනෙකුට මේ සංසාරයේ පැමිණෙන්නට සිදුවන ස්වභාවය. භාග්‍යවතුන් වහන්සේ වදාළ අයුරින් සතර මහා සමුද්‍රයේ ජලය පරදන කඳුළු ධාරා සලමින් රුධිරය වගුරවමින් පැමිණි මේ සසරේ අප කළේ කුමක්ද? පින්වත් මහණෙනි, මේ සසර ගමනේ ඔබ බොහෝ තියුණු දුක් අනුභව කළා. කර්කශ දුක් අනුභව කළා. තියුණු ව්‍යසනයන්ට ලක්වුණා. මේ සසර ගමනේ ඔබ කළේ මහ පොළොව නම් වූ සොහොන් පිටිය පුරවපු එකයි.

මේ සංසාරයේ සැරිසරන කෙනෙකුට නිතරම මුණගැසුණේ ඉපදීම නම් වූ දුකයි. මව් කුසත්, බිත්තර ඇතුලෙත් තෙත් පරිසර වලත් එමෙන්ම ඕපපාතිකවත් අප කොතෙකුත් නම් ඉපදීමේ දුක විඳින්නට ඇති. ඒ වගේම ඒ හැම උපතකදීම අප මරණයේ අමිහිරි දුක වින්ඳා. ලෙඩ වීමෙනුත් ජරාවෙනුත් දුක් වින්ඳා. අප ආසා කරන අපට පි‍්‍රය මනාප උදවියත් ඒ වගේම පි‍්‍රය දේවල් කොතෙකුත් අහිමි වී අප බොහෝ දුක් විඳින්නට ඇති. අපි‍්‍රය දේත් එක්ක එකතු වෙද්දී කටුක දුක් අප විඳින්නට ඇති. මේ දුක් විඳිද්දීම අප ආසා කරන්නේ දුක් කිසිවක් නැති සැපවත් වූ තැනකටයි. නමුත් තමන් ඒ කැමැති දේ නො ලැබෙද්දීත් අපට උරුම වුණේ දුකමයි. මේ අයුරින් කොයි උපතක් ලැබුවත් ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් සන්තාපයන්ගෙන් අඩුවක් නැති මේ සසරේ අප කොතැනක නම් සැපයක් බලාපොරොත්තු වෙන්න ද?

මේ ඝෝර වූ සසරේ අප කොතෙකුත් දේ මගේ කියා අල්ලාගෙන ඇති. නමුත් මේ සත්වයාට තමාගේ දේ වෙන්නේ කර්මය යි. (කම්මස්සකා) එනම් චේතනා පහළ කොට කයින් වචනයෙන් කළ කී දෙයයි. මෙලොවින් පරලොවට ගෙන යන දායාදයන් කර්මය යි (කම්මදායාදා) පරලොවදී උපදින තැන තීරණය කරන්නේත් කර්මය යි. (කම්මයෝනි) අපට සසර ගමනේ ළඟම ඥාතියා වෙන්නේත් කර්මය යි (කම්මබන්ධු) කර්මය පිළිසරණ කරගෙනයි මේ සසර ගමන සකස් වුණේ (කම්මපටිසරණ) අවිද්‍යාව නම් වූ අඳුරෙන් අන්ධ වී තණ්හාවට දාස වෙමින් කර්මය ස්වකීය දේ කරගෙන පැමිණි දීර්ඝ ගමනක දිසාව වෙනස් කළ හැක්කේ එකම එක දෙයකට යි. ඒ සූර්ය වංශයේ උපන් ආදිච්ච බන්ධු වූ අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට යි.

ඒ ශ්‍රී සද්ධර්මය වනාහි ආයු මද යොබ්බන මද, ආරෝග්‍ය මද නිම්මදනය කරවන්නකි (මද නිම්මදනෝ) කෙලෙස් පවස් සංසිඳුවාලන්නකි (පිපාස විනයෝ) තෘෂ්ණාව මුළුමණින්ම සිඳබිඳලන්නකි (ආලය සමුග්ඝාතෝ) සසර දුක් නිමා කරවන්නකි (වට්ටුපච්ජේදෝ) තෘෂ්ණාව ක්ෂය කරවන්නකි. (තණ්හක්ඛයෝ) සසරෙහි නො ඇල්ලම ඇති කරවන්නකි (විරාගෝ) ඇල්ම නිරුද්ධ කරවන්නකි (නිරෝධෝ) සසර නම් වූ ඝෝර කතරේ ඇති එකම ක්ෂේම භූමිය වූ සුන්දර නිවන වෙත ගෙන යන්නකි (නිබ්බානං) සැබැවින්ම ඒ ධර්මය නම් වූ අමා ඔසුව පාලන කොට සසර නම් වූ භයානක රෝගයෙන් නිදහස් වූවන්ගෙන් මේ මිහිතලය බැබළුණු යුගයක් තිබුණි. ඒ යුගයේ වැඩ සිටිය උතුමන් ශ්‍රී සද්ධර්මය යනු කුමක්දැයි ප්‍රත්‍යක්ෂයෙන්ම දැන සිටියේ ය. ඒ රහතන් වහන්සේලා ය. මේ ධර්මයේ ආශ්චර්යවත් බව ගැන ඒ ශ්‍රී සද්ධර්මයෙන්ම උපන් මිගජාල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් තමා අද අප ඉගෙන ගන්නේ.

මේ ශ්‍රී සද්ධර්මය තුන් ලොවටම දායාද කළ ධර්ම ස්වාමි වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩිම කාලයක් වැඩ සිටියේ සැවැත්නුවර ඇසුරු කරගෙනයි. බුදු සසුන හඳුනා ගත් සැදැහැවත් උපාසක උපාසිකාවන් කෝටි සංඛ්‍යාත පිරිසක් ඒ සැවැත්නුවර වාසය කළා. ඒ අතුරින් විශාඛා මහෝපාසිකාව කියන්නේ බුදු සසුනේ බලවත්ව පැහැදී සිටි කෙනෙකි. සසර පුරාවට කළ උදාර පින් ඇති සිඟිති කුමාරයෙක් ඇයගේ කුසින් මෙලොවට බිහිවුණා. ඔහුට මිගජාල කුමරු යැයි නම් තැබුවා. කුඩා වයසේ පටන් තම මවත් සමඟ දෙව්රම් වෙහෙරට යන මිගජාල කුමරුට භාග්‍යවතුන් වහන්සේත් භික්ෂු සංඝයා වහන්සේලාත් නිතර නිතර ඇසුරු කිරීමේ භාග්‍යය ලැබුණා.

කෙනෙකුට බාහිරින් ලැබෙන අංග අතුරින් වටිනාම අංග වූ කල්‍යාණ මිත්‍ර ඇසුරත් සද්ධර්ම ශ්‍රවණයත් ලැබෙද්දී මිගජාල කුමරුගේ අභ්‍යන්තරයේ වටිනාම අංගය වූ යෝනිසෝමනසිකාරය මනාව අවදිවුණා. ගිහි ජීවිතය අත්හළ ඔහු පැවිදි භාවයට පත්වුණා. මේ ධර්මය ආශ්චර්ය යි. ඉතාම සුළු කළකින් රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන්, ඉරිසියාවෙන්, මාන්නයෙන් ආදි අකුසල් වලින් කැළඹෙන ලෝ සතුන් අතරේ මඩ නැති විලක් බඳු ශාන්ත සිතක් ඇති මහ රහතන් වහන්සේ නමක් බවට පත් වී වදාළා. කෙලෙස් වලින් කිළිටිව තිබුණ තම සිත මනාව පිරිසුදුු කර ගැනීමට උපකාරි වූ ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය මිගජාල නම් මහ රහතන් වහන්සේ මේ අයුරින් වර්ණනා කොට වදාළා.

සුදේදිතෝ චක්ඛුමතා – බුද්ධේනාදිච්චබන්ධුනං
සබ්බසංයෝජනාතීතෝ සබ්බවට්ටවිනාසතෝ

සූර්ය වංශයෙහි උපන් දහම් ඇස් ඇති බුදු සමිඳුන් දේශනා කරන්නේ සියලු බන්ධන වලින් නිදහස් වන ධර්මයක්. සියලු ආකාරයේ කෙලෙස් නසන ධර්මයක්.

නීය්‍යනිකෝ උත්තරණෝ – තණ්හාමූලවිසෝසනෝ
විසමූලං ආඝාතනං ඡෙත්වා පාපේති නිබ්බුතං

මේ සද්ධර්ම මාර්ගය නිවනට පමුණුවනවා. සසරින් එතෙර කරවනවා. තණ්හාවේ මුල් වියලා දමනවා. පළිගැනීම් නැති කරනවා. නිවන කරා ගෙනියනවා.

අඤ්ඤාණමූලභේදාය කම්මයන්තවිඝාටනෝ
විඤ්ඤාණානං පරිග්ගහේ ඤාණවජිරනිපාතිතෝ

අවිද්‍යාවේ මුල් සිඳෙනවා. කර්මය නම් වූ ඇන්ජිම කඩනවා. ඤාණය නම් වූ දියමන්ති ආයුධයෙන් විඤ්ඤාණයෙන් බැඳෙන තැනට පහර දෙනවා.

වේදනානං විඤ්ඤපනෝ – උපාදනප්පමෝචනෝ
භවං අංගාරකාසුං ව – ඤාණේන අනුපස්සකෝ

වින්දනයේ සැබෑ තත්ත්වය පෙන්වා දෙනවා. බැඳීීම්වලින් නිදහස් කරනවා. භවයේ ස්වභාවය ගිනි අඟුරු විලසින් පෙන්නා දෙනවා.

මහාරසෝ සුගම්භීරෝ ජරාමච්චුනිවාරණෝ
අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ – දුක්ඛපසමනෝ සිවෝ

ජරා මරණ වළකනවා. දුක් සන්සිඳනවා. සත්‍ය රසය වෑහෙන ඒ සුන්දර ධර්මය වනාහි ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි.

කම්මං කම්මන්ති ඤත්වාන – විපාකං ච විපාකතෝ
පටිච්චුප්පන්නධම්මානං – යථා වා ලෝකදස්සනෝ
මහාඛේමංගමෝ සන්තෝ – පරියෝඝානභද්දකෝ ති

කර්මය, කර්මය වශයෙන්ම අවබෝධ කර දෙනවා. විපාකය විපාක වශයෙන් අවබෝධ කර දෙනවා. පටිච්චසමුප්පාදය තුළින් ජීවිතයේ ඇත්ත තත්ත්වය පෙන්වා දෙනවා. ඉතා යහපත් කෙම් බිමකට රැගෙන යන මේ ශාන්ත ධර්මය අවසානය දක්වාම සුන්දරයි.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවා ගුරුතන්හි තබා ගත් මේ ශ්‍රී සද්ධර්මය වනාහි සත්ත්වයන් හට සියලු සැපයන් උදාකර දෙන දෙයයි. මේ ලෝකයේ යමෙක් සතර අපායෙක් මිදුණාද ඒ ශ්‍රී සද්ධර්මය අනුගමනය කිරීමෙනි. රාග ගිනි නැති ද්වේශ ගිනි නැති කෙලෙස් ගිනි කිසිවක් නැති නිවී ගිය සිතක් උපද්දවා ගත්තාද ඒ සද්ධර්මය අනුගමනය කිරීමෙනි. ශෝක වැළපීම් ඉක්මවා ගියේද ඒ සද්ධර්මය අනුගනමය කිරීමෙනි. සසර නම් ඛේදනීය ගමනින් අත්මිදුණාද ඒත් සද්ධර්මය අනුගමනය කිරීමෙනි. ලෝකයටම මහා ඇසක් බඳු වූ සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානා මොහොතේ දී තම ශාස්තෘන්වරයා ලෙස පෙන්වා වදාළේ ද මේ මිහිරි ශ්‍රී සද්ධර්මය ම ය.කලාතුරකින් ලෝ තලයේ පහළ වන ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නය වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ උතුම් ලය මඬලින් පැන නැග්ගා වූ ඒ සිරි මුවමඬලින් දේශනා කරන ලද්දා වූ මෙතෙක් කලක් පුරාවට නික්ලේෂි උතුමන්ගේ හද මඬලේ දරාගෙන පැමිණියා වූ ඒ ශ්‍රී සද්ධර්මය නම් වූ මාණික්්‍ය රත්නයට අපගේ නමස්කාරය වේවා!

නයනා නිල්මිණි


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු - 48 ඒකවිහාරි මහරහතන් වහන්සේ