Print this Article


මෙහෙණ සස්නේ දොරගුළු විවර කළ මහා ප්‍රජාපතී මහරහත් තෙරණිය

මෙහෙණ සස්නේ දොරගුළු විවර කළ මහා ප්‍රජාපතී මහරහත් තෙරණිය

මෙහි මුල් කොටස බිනරපුර පසළොස්වක පත්‍රයේ පළ විය

බුද්ධ මාතාවගේ ආදාහනය ඉතා අලංකාරව දිව්‍ය,බ්‍රහ්ම, මනුෂ්‍ය සියල්ලෝම පවත්වන්නේය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා, “මහණෙනි, බුදුවරයෙක් මෙබඳු ආදාහනයක් කරවු අවස්ථාවක් නම් නැත.මෙය සියලුම මහා ශ්‍රාවකයන් ඇතුළු බුදුරජාණන් වහන්සේගෙන් යුතුව කළ එකම ආදාහනය වන්නේය. එහෙයින් මෙම ආදාහනය ආශ්චර්යය.”

මහා ප්‍රජාපතී ගෝතමී තෙරණියගේ දේහය සඳුන් චිතකයෙහි දැවී ධාතු ශාරීරය පමණක් මුතු ඇටමෙන් බබළන්නට විය. භාග්‍යවතුන් වහන්සේ එම ධාතුන් ශ්‍රී හස්තයෙන් පිළිගෙන ප්‍රජාපතී ගෝතමී තෙරණියගේ ගුණ වැයූ සේක.

”මහතො සාරවන්තස්ස යථා රුක්වස්ස තිට්ඨතො
යො සො මහන්තරො ඛන්ධො පලුජෙය්‍ය අනිච්චතා
තථා භික්ඛුනී සංඝස්ස ගොතමී පරිනිබ්බුතා’

“හර ඇති පවත්නා මහා රුකෙක යම් ඒ ඉතා මහත්වූ කඳ යම් සේ අනිත්‍යතා හේතුයෙන් වැනසියේද , එසේ භික්ෂුණි සංඝයාගේ මහත් කඳ වූ ගෝතමි පිරිනිවියහ”

මෙසේ උත්තම සම්බුදු සසුනෙහි භික්ෂුණිත්වය උරුම කළ කාන්තා විමුක්තිය උදාකළ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය පිරිනිවී වැඩි සේක. උන්වහන්සේගේ පුරෝගාමිත්වයෙන් ගොඩනඟන ලද භික්ෂුණී සමාජයට ඇතුළුව පැවිදි උපසම්පදාව ලැබ විමුක්ති මාර්ගයෙහි හැසිර විමුක්තිය සාක්ෂාත් කොට වදාළ ආකාරය ථේරී ගාථාවන්හි විස්තර වේ. රජ කුමාරිකාවන් සිටු දියණිවරු , සේනාපති දියණිවරු, ස්වාමියා පැවිදි වූ කුමාරිකාවන්, විවාහය ප්‍රතික්ෂේප කළ කාන්තාවන්, ගණිකාවන්,ලෝකුරු දියණියන්,දාසියන් ,ස්වාමියා හැර දා ගිය බිරියන් ආදි ගම් නියම්ගම්හි රජ දහන්හි නොයෙක් කුල කුමාරිකාවෝ තුණුරුවන් ගුණ අසා පැවිදිව පිළිවෙත් පුරා රහත් වූහ.

උබ්බරී කොසොල් මහරජුගේ මෙහෙසියයි. ‘ඛේමා” නම් මැද්දවරට රජුගේ දියණිය වන අතර මගධ බිම්සර රජුගේ අගමෙහෙසියයි. “සෙලා” නම්’ අලව් රට රජුගේ දියණියෝය. ‘සුමේධා’ නම් මන්තානි නුවර කොඤ්ඩ රජුගේ දියණියයි. “සාමා” නම් කෞශම්බියෙහි උදේනි රජුගේ දියණියයි. “සොමා” මගධයේ බිම්සර රජුගේ පුරෝහිත බමුණාගේ දියණියයි” භද්දාකාපිලානි මද්දවරට සාගලනුවර කෞශික ගෝත්‍රයෙහි බ්‍රාහ්මණයාගේ දියණියයි. “චිත්තාකාලිකා” , නන්දුත්තරා නම් කුරුරට බ්‍රාහ්මණ වංශික කාන්තාවෝය. “රෝහිණී නම් වජ්ජිරට වෛශලියෙහි බමුණුූ දුවකි. ‘චාලා උපචාලා සිසුපචාලා තිදෙන නාලකගම රූපසාරි බැමිණියගේ දියණියන් වන අතර සාරිපුත්‍රයන් වහන්සේගේ නැඟණියෝ වූහ.

‘ඉසිදාසි’ අවන්තියේ උදේනිනුවර සිටු දුවකි. ‘උප්පලවණ්ණා’ කොසොල්රට සැවැත්නුවර සිටුදුවකි. ‘අඩ්ඪතාපි’ තාපි නගරයේ නගරසෝභිනියකි. ‘අභයමාතා’ උදේනිපුර නගර සෝභිනියකි. ‘විමලා’ වේසාලියෙහි ප්‍රසිද්ධ රූපසෝභිනියකි. වරෙක මුගලන් තෙරුන් නාමයෙන් වශී කර ගැනීමට පැමිණිකළ ඔවදන් දුන්විට සංවේගයට පත්ව පැවිදි වූවාය.”සුභා” නම් රජගහනුවර ලෝකුරු දුවකි. ‘පුත්තා’ නම් අනේපිඬු සිටුහුගේ දාසියකි. ‘චාපා’ නම් වැදි දුවකි.

මේ ආකාරයට මුළු භාරතයෙහිම, ක්ෂති‍්‍රය ,බ්‍රාහ්මණ,වෛශ්‍ය, ශුද්‍ර යන සෑම කුලයකටම අයත් වු කාන්තාවෝ, ගෝතමී තෙරණියගෙන් ඇරැඹි පැවිදි උපසම්පදාව ලැබ ඝෝරතර සංසාර දුකින් අතමිදුණු සේක. ලබාගත්තේ වීනම් කාන්තාභාවය එවන් වු ශ්‍රේෂ්ඨ උත්තමාවියක වීමම ශ්‍රේෂ්ඨ වන්නේය. සමාජ විපරිවර්තනයන් කරමින් කාන්තාවගේ විමුක්ති දායකයන් වහන්සේ වූයේ අප තථාගත අමාමෑණි ගෞතම බුදුපියාණන් වහන්සේමය. භාරත දේශය තුළ එදා ඒ උත්තම වූ ශාසනික හිමිකාරිත්වය ලබාදෙමින් පැවිදි සුවයේ පහස නොලැබුණිනම් ලාංකික කාන්තාවගේ තත්ත්වයද මීට වඩා වෙනසකට බඳුන්වනු නොඅනුමානය.සද්ධර්මස්ථිතිය පිණිස දැඩි වීර්යය කිරීම, ඒ උතුම් කල්‍යාණමිත්‍ර ගුණ සැලකීමම වන්නේය.

සෙනෙහෙබර මවක ලෙසත්, දයාබර බිරිඳක ලෙසත්, පින්බර උපාසිකාවක ලෙසත්, කාන්තා නිදහස විමුක්තිය උදෙසා පෙරමුණ ගත් අභීත නායිකාවක ලෙසත්, පළමුව බුදුසසුනේ පැවිදිව උපසම්පදාව ලත් පළමු රහත් තෙරණින් වහන්සේ ලෙසත් වැජඹුන මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේගේ ශ්‍රී නාමය කාන්තා හදවත් තුළ සදා අමරණීය වන්නේමය.