Print this Article


මිනිස් සිතේ ශක්තිය

මිනිස් සිතේ ශක්තිය

බහු විධ අදහස් සහිතව දිවි ගෙවන අප සමාජයේ පරිසරයේ එදිනෙදා දක්නට ලැබෙන සිදුවීම් විශේෂයෙන් ඇස්වහ කටවහ සම්බන්ධයෙන් යම් මුල පිරීමකට අප පසුගිය කලාපයෙන් මුල පිරුවා. ඇස්වහ කටවහ සත්‍ය ලෙසින්ම බලපානු ලබන ආකාරය අප උදාහරණ සහිතව කතා කළා. මෙසේ සිදු වන්නේ ඇයි, ඇස්වහ කටවහ මෙලෙසින් බලපාන්නේ ඇයි? යන්න බුදු දහමට අනුව මඳක් සිතා බැලීම ඉතාම වැදගත් වන්නේ ලෞකික වශයෙන් මෙන්ම එය ලෝකෝත්තර වශයෙන් ද බලපවත්වනු ලබන නිසා ය.

ධම්මපදයේ ආරම්භක ගාථාව දෙස සැලකිල්ලෙන් බැලුවහොත් අපට මේ බව වටහා ගන්න අපහසු නැහැ.

මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසති වා කරෝති වා
තතො නං දුක්ඛමන්චෙති
චක්කංච වහතො පදං

තමන් කරනු ලබන වැරැදි, ගැල් රෝදය ගැල පසු පස එන්නාක් මෙන් පාපය තමන් පසු පස එන්නාක් මෙන්ම යම් පුද්ගලයකුගේ මනස දූෂණය වී ඇත්නම් ඒ පුද්ගලයා ඉන්න පරිසරයම පවා දූෂණයට ලක් වෙනවා. පරිසරය දූෂණය වන විට අවට වාතය දූෂණය වනවා. වාතය දූෂණය වන විට ජලය දූෂණය වනවා. සමස්ත භූමි ප්‍රදේශයම දූෂිත තත්ත්වයට පත්වනවා. මිනිසාට එතරම් බරපතළ හානියක් අප අවට පරිසරයට කරන්න පුළුවන්. මිනිසාගේ සිතේ තියෙන ශක්තිය ඒතරම් ප්‍රබලයි.

අප කතා කළ ඇස්වහ කටවහ හෝවහ මෙන්ම සිත්වහ යන්න මේ සඳහා හොඳම උදාහරණයක් ලෙසින් දක්වන්න පුළුවන්. මඳක් සිතා බලන්න. අප අතරම ඉන්නා ඇතැමුන්ගේ වචන කොතරම් බල සම්පන්නද? ඇතැමුන්ගේ එක බැල්මක් විශාල ව්‍යසනයක් කරන්නට සමත් වනවා.

දූෂිත මනසකින් හෙබි තැනැත්තා නිසා මේ අයුරින් විශාල සමාජමය බලපෑමක් ඇති වනවා. ඔවුන්ගේ ශරීරයෙන් හැම විටම පිට වන්නේ විස තත්ත්වයන්. ඒ සිත දූෂණය වීම නිසා පරිසරයම දූෂණය වනවා.

සමාජයේදී මෙහි අනික් පැත්තත් අපට දකින්නට, අසන්නට ලැබෙනවා.

මනෝ පුබ්බංගමා ධම්මා
මමෝ සෙට්ඨා මනෝමයා
මනසා චෙ පසන්නේන
භාසති වා කරෝති වා
තතො නං සුඛමන්චෙති
ඡායාව අනපායිනි

තමන් කරනු ලබන යහපත් දේ සෙවණැල්ල මෙන් තමන් අතහැර නොගොස් පසුපස එන්නාක් මෙන් යමෙක් ප්‍රසන්න වූ මනසකින් යම් දෙයක් ප්‍රාර්ථනා කරයිද? එය පරිසරය පුරාම පැතිර යනවා. පරිසරය සුගන්ධ වනවා. පරිසරය පවිත්‍ර වනවා.

මීට හොඳම උදාහරණයක් ලෙස ආගමික සිද්ධස්ථාන දක්වන්න පුළුවන්.

දහස් ගණනින් පිරිස කරුණාව මෛත්‍රිය, පෙරදැරි කරගෙන වන්දනාමාන කරනවානම් ඒ පරිසරය තුළ තියෙන සංකේතවලින් විවිධ ප්‍රාතිහාර්යය සිදුවන්නට පුළුවන්. එම නිසා බුදුපිළිමවලින් රැස් විහිදීම්, චෛත්‍යයන්ගේ කිරි මතුවීම් වැනි දේ සිදු වන්නට පුළුවන්. එවැනි දේ සිදු නොවන බවට ප්‍රතික්ෂේප කරන්නට කිසිවකුට හැකියාවක් නැහැ.

බොහෝ අය තමන්ගේ දැනුම මතයි කතා කරන්නේ. විවිධ සිද්ධාන්ත ගෙන හැර දක්වමින් එවැනි දේ සිදුවිය නොහැකි බවට දක්වන අදහස් බෞද්ධයන් ලෙස අපට පිළිගත නොහැකියි. එසේ නම් බුදු හිමියන් විසින් යමාමහ පෙළහර පෑම පවා ඔවුන් ප්‍රතික්ෂේප කරාවි. එම නිසා බුදුදහමේ හරය අරුත අප නිසි පරිදි වටහාගෙන කටයුතු කළ යුතු වෙනවා. ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනා බව අප දන්නේ නම් අප නිසි පරිදි බුද්ධ වන්දනාව සිදුකළයුතු වෙනවා. එමගින් දෙලොවම යහපත සලසා ගත හැකි වනවා. අප අවමංගල්‍යයක් වූ විට නිවසේ ඇති සේයාරූ අනෙක් පසට හැරෙව්වත්, බුදුපිළිමය ඒ අයුරින්ම තබා ඊට නිසි ගරු සත්කාර කරනවා. මේ බව තරුණ පරපුර යථාවබෝධයෙන් වටහාගත යුතු අතර සියලු ආගම්වල තරුණ තරුණියන් මේ ආකාරයෙන් තම තමන්ගේ ආශිර්වාදය ලබා ගන්නේ නම් අතීතයේ මෙන්ම අප රට යළිත් ධර්මද්වීපය ලෙස ප්‍රචලිත වේවි. තරුණ තරුණියන් රටක පන්නරය බව සියලු ආගමික තරුණ තරුණියන් සිත්හි තබාගත යුතු වනවා.

ආශ්වාදය ලබන අතර ආශිර්වාදය ලබා ගැනීම සිදුකළහොත් සමාජයේ තිබෙන බොහෝ ප්‍රශ්න විසඳා ගන්නට පුළුවන්. ආශ්වාදය තුළ අතරමං නොව ආශිර්වාදයත් ලබාගැනීම තරුණ තරුණියන්ට ඉතාම වැදගත් වනවා. ඒ ඒ ආගම්වල අය තම තමන්ගේ ආගම් අනුව තම ආශිර්වාදය ලබා ගත යුතු වනවා.

අතීතයේ අපගේ ත්‍යාග සම්පන්න බව අන්‍යයන් කෙරෙහි අනුකම්පාව දැක්වීම යන කරුණු නිසා ධර්මද්වීපය වූ අප රටේ අභිමානය රැක ගන්නා අතරම ලෝකෝත්තර මාර්ගය නිසි ආකාරයෙන් සකස් කර ගන්න පුළුවන්. වසර 2600 ක් බුදුදහම රැක ගැනීමට හේතු වූයේත් විශේෂයෙන්ම ඉන්දියාවෙන් බුදුදහම අතුරුදන් වුවද මෙරට බුදු දහම රැක ගැනුණේ අපේ කරුණාව මෛත්‍රිය තුළ ගොඩනැගුණු සංස්කෘතිය නිසා. ඈත අතීතයේ අපේ රටේ ඇස්වහට කටවහට ජනතාව බිය වුණේ නැහැ. අනුන්ගේ සැපත, යහපත ගැන සෑම විටම යහපත් ඇසින් බැලූ සමාජයක කිසිවකට ජනතාව බිය වුණේ නැහැ. වර්තමානයේ තරුණ පරපුරට එක්වරම පරාභව සූත්‍රය හෝ ව්‍යග්ඝපජ්ජ සූත්‍රය හෝ සිඟාලෝවාද සූත්‍රය දේශනා කර වැඩක් නැහැ. පළමුව ඔවුන් ගෙවන දිවි පෙවෙත ධාර්මික ලෙසින් පවත්වාගෙන යාමට තරුණ පරපුර උනන්දු කළ යුතු වෙනවා. එයම තරුණ පරපුරේ යහපතට හේතු වනවා. එයම සමස්ත සමාජයේම යහපතට හේතු වනවා. සෑම විටම නිවසින් පිටවන විට මවට පියාට වන්දනා කිරීමට තරුණ තරුණියන් උනන්දු කරවන්නේ නම් ඔවුන්ට ආශිර්වාදය නිරතුරුවම ලැබේවි.

එසේ ආශිර්වාදයත් සමඟ නිසි අවබෝධය ලැබෙන්නේ නම් සමාජ ගැටලු තුරන් වී යනවා. ආගමික ගැටලු පවා විසැඳීම ඉතාම සරල බවට පත්වනවා.

කිසිවෙක් උපතින් බ්‍රාහ්මණයකු හෝ වසලයකු වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ බව පැහැදිලිව පෙන්නුවා. අපටත් ක්‍රියාවන් දෙස බැලීමෙන් මේ උස් පහත් බව පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. තමන් යමක් නොදන්නවානම් ඒ බව අනිවාර්යයෙන්ම දන්නා සුදුසු අයකුගෙන් අසා නිවැරදි මතයට පැමිණිය යුතු වනවා.

බුදුපිළිමයක් කැඩී බිඳී ගිය පසු කරන්නේ කුමක්ද? පන්සලකට ගිහින් දානවා. මෙයින් සිදුවන්නේ විහාරස්ථානය අපිරිසුදු වීම පමණයි. බුදුදහමේ හෝ කිසිදු හිමි නමක් හෝ කිසිදු තැනක පවසා තිබෙනවාද, බුදුපිළිම කැඩුණු පසු විහාරස්ථානයකට ගිහින් දාන්න කියලා. තමන් අකුසල් සිදු කර ගැනීමක් පමණයි.මෙයින් සිදු වන්නේ මේ සඳහා කළයුතු සුදුසුම දේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේගෙන් විමසීමයි. විහාරස්ථානයක බුදු පිළිමයක් කැඩුණු බිඳුණු නැත්නම් භාවිතයට නුසුදුසු තත්ත්වයක් පවතින්නේ නම් බොහෝ විට සිදු කරන්නේ ඒ සඳහා නිසි ගෞරවයන් දක්වා විහාරස්ථානයේ පිරිසුදු ස්ථානයක තැන්පත් කිරීමයි. මේ ආකාරයට අප විසින් නිසි පරිදි දහමට ගරු කරන්නේ නම් සමාජයීය ගැටලු නිරාකරණය කරගෙන ලෞකික හා ලෝකෝත්තර මාර්ගයන් ධාර්මික ලෙසින් සකස් කර ගන්න පුළුවන්.

සාකච්ඡා කෙළේ
තාරක වික්‍රමසේකර