Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 


නියං තත්වයෙන් පීඩාවට පත් වූ ජනතාව ඉන් ආරක්ෂා කරන ලෙසට ආයාචනා කරමින් රටට ජනතාවට සෙත් පතා භික්ෂූන් වහන්සේ සියක් නමක් පොළොන්නරුව ගල්විහාරයේ දී වැසි පිරිත දේශනා කර ගල්විහාරයේ සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සිරිපතුල් දහස්වරක් පිරිත් කළ පැනින් දෝවනය කර වරු දෙකක් ගතවීමට පෙර එම ප්‍රදේශයට වැසි ඇද වැටුණි. ජනතාවට පානීය ජලය හා ජලය රැස්කර තබා ගන්නා ජල ටැංකි ලබාදීම වෙනුවෙන් කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති, බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ දරණාගම කුසලධම්ම හිමියන්ගේ මෙහෙයවීමෙන් ආරම්භ කළ වැඩසටහනට සමගාමීව එම වැසි පිරිත් දේශනය පසුගිය දා සංවිධානය කර තිබිණි. මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ උඩුගම බුද්ධරක්ඛිත මහා නාහිමියන් සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නාපාන පේමසිරි මහනාහිමියන් හා සොළොස්මස්ථානාධිපති වේඬරුවේ උපාලි, කොළඹ සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හා රාමඤ්ඤ නිකායේ අධිකරණ සංඝනායක මකුලෑවේ විමල යන හිමිවරුන් ප්‍රධාන සියක් නමක් භික්ෂූන් වහන්සේ වැසි පිරිත දේශනා කර වරු තුනක් ඇතුළත වර්ෂාව ලබාදෙන මෙන් අධිෂ්ඨාන කරමින් සත්‍ය ක්‍රියාවක නිරත වූහ. නියඟයෙන් පීඩා විඳින ජනතාවට පානීය ජලය හා ජලය ගබඩා කර ගැනීමට අවශ්‍ය ජල ටැංකි ලබාදෙන ලෙස “බෞද්ධයා” නාලිකාව ඔස්සේ දරණාගම කුසලධම්ම හිමියන් කළ ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු ලක්ෂ දහයකට ආසන්න ජල බෝතල් සහ දහසකට ආසන්න විශාල ප්‍රමාණයේ ජල ටැංකි පොළොන්නරුව, මැදිරිගිරිය, දිඹුලාගල, වැලිඔය ආදී ප්‍රදේශවල නියඟයෙන් පීඩා විඳි ජනතාවට ඉකුත් 13 වැනිදා පිරිනැමුණි.

 පැල්මඩුලු රාජමහා විහාරය හා ශ්‍රී පාද ස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන්ගේ අනුශාසනා පරිදි කේ.ඩී.යූ. සමූහ ව්‍යාපාරයේ සභාපති සමන් උපසේන මහතා විසින් සිදුකරන මෙහෙවරට උපහාර වශයෙන් තිළිණයක් පැල්මඩුල්ල රජමහා විහාරයේ දී මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියන් අතින් ලබාගත් අවස්ථාව. එම අවස්ථාවට ජනාධිපති ආගමික කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් ගැටමාන්නේ ගුණානන්ද හිමි, දළඳා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍ර ප්‍රේම ගමගේ මහත්වරුද සහභාගී වූහ.
කේ.එස්. ආර්. මුදලි