Print this Article


අනගාරික ධර්මපාල ගුණ සැමරුම

අනගාරික ධර්මපාල ගුණ සැමරුම

මහනුවර

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 150 වෙනි ජන්මෝත්සවය නිමිත්තෙන් මහනුවර ශ්‍රීමත් ධර්මපාල පදනම මඟින් ශී‍්‍ර දළදා මාලිගාව අබියස ධර්මපාල ප්‍රතිමාව අසලදී ධර්මපාලතුමාගේ ප්‍රතිමාවට පුෂ්ප පූජෝපහාර දැක්වීමෙන් ආරම්භ කෙරේ. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, දියවඩන නිළමේ ප්‍රදීප් නිලංගදෑල, ප්‍රධාන ඇමැති සරත්, ඒකනායක මහත්වරු ඇතුලු ආරාධිත ගිහි පැවිදි පිරිසක් සහභාගි වෙති.

අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍ය අලුත්ගම ධම්මානන්ද, හිටපු මන්ත්‍රි උඩවත්තේ නන්ද මහනුවර දිසාවේ අධිකරණ සංඝනායක ත්‍රිපිටකවේදී යටිනුවර සුමන යන හිමිවරු මෙහි අනුශාසනා පවත්වනු ඇත. ධර්මපාල තුමාගේ ශ්‍රේෂ්ඨ චරිතය අලලා ශිෂ්‍යයින් අතර ධර්මපාල කථික තරග පවත්වා සහතික ත්‍යාග ප්‍රදානයක් සිදුකෙරේ. ධර්මපාල පදනමේ සභාපති එල්. එච්. හරිස්චන්ද්‍ර මහතා ධර්මපාලතුමා සම්බන්ධව මෙහිදී විශේෂාංගයන්ද ඉදිරිපත් කරන අතර මහනුවර බෞද්ධ සමිති සමාගම්වල නියෝජිතයින් ඒ ඒ සමිතිි නියෝජිනය කරමින් ගුණ සමරුවට සහභාගි වෙති.


හාරිස්පත්තුව හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම විහාරය

හාරිස්පත්තුව, අඹතැන්න, හපුගොඩ ශ්‍රී සුභද්‍ර දහම්පාසලේ මෙහෙයවීමෙන් සිදුකෙරේ. මෙදින ධර්මපාලතුමා සම්බන්ධව දහම් පාසල් ශිෂ්‍යයින් දැනුවත් කරන විශේෂ දේශනාවක් මාතලේ විද්‍යානන්ද පරිවෙනාධිපති උඩරට අමරපුර නිකායේ අධිකරණ සංඝනායක බටුගොඩ සංකිච්චායන හිමියන් විසින් පවත්වනු ඇත.

මාතලේ කොහොබිලිවල බෞද්ධසේවා මධ්‍යස්ථානාධිපති සාහිත්‍යචාර්ය අම්පිටියේ ධම්මකිත්ති හිමිගේ මෙහෙයවීමෙන් ශ්‍රී ධර්මකිත්ති දහම් පාසලේ ශිෂ්‍යයින්ගේ සහභාගිත්වයෙන් දම්පල් ගුණ සමරු වැඩසටහනක් මෙදින පැවැත්වේ.


අම්පිටිය ශී‍්‍ර ජෙම්සන් භාවනා මධ්‍යස්ථානය

ශ්‍රීමත් අනගාරික ධර්මපාල ගුණ සමරුව සහ ආගමික වැඩසටහනක් මේ මස 17 වැනිදින අම්පිටිය ශ්‍රී ජෙමිසන් ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මධ්‍යම පළාත් සංඝනායක අම්පිටියේ සිරිවිමල නාහිමි ප්‍රධානත්වයෙන් ධර්මපාලතුමාගේ ප්‍රතිමාව අභියසදී පැවැත්වේ.

සමාධි දහම් පාසලේ ශිෂ්‍යයින් වෙනුවෙන් විශේෂ දේශනයක් ද, මෙදින පැවැත්වෙන අතර සවස මල් පහන් පූජාවක් පවත්වා ධර්මපලතුමාට පින් අනුමෝදන් කිරීම නේපාල ජාතික භික්ෂූන් වහන්සේලා විසින් සිදුකරනු ඇත