Print this Article


තලගල ගිරිභණ්ඩ පූජාවෙන් මොනරාගල දිසාවේ විහාරස්ථාන 200කට මෙවර පූජා භාණ්ඩ

තලගල ගිරිභණ්ඩ පූජාවෙන් මොනරාගල දිසාවේ විහාරස්ථාන 200කට මෙවර පූජා භාණ්ඩ

2003 වසරේදී තන්තිරිමලේ (මහවිලච්චිය) විහාරස්ථාන 25කට ද 2006 වසරේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 80ක ද 2008 වසරේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල වැලිකන්ද , සිරිපුර විහාරස්ථාන 110ක ද 2010 වසරේදී අම්පාර දිසාවේ විහාරස්ථාන 180ක ද 2012 වසරේදී බදුල්ල දිස්ත්‍රික්කයේ රිදි මාලියද්ද , මීගහවෙල , කන්දකැටිය,ලුණුගල , හල්දුම්මුල්ල ආදි විහාරස්ථාන රැසකට ‘ගිරි භණ්ඩ ලබා දීම සිදුවිය.


‘ගිරි භණ්ඩ පූජා පින්කම


තලගල සුමනරතන නා හිමියන් පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන අවස්ථාවක්...

දස පාරමිතා මෙන්ම,ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් අතුරින් ද සුවිශේෂී වූ ‘පරිත්‍යාගය” බෝසත් ගුණ වඩවන උත්තරීතර පින්කමකි.

යහපත් කුඹුරක වැපිරූ බීජ බොහෝ ඵල දරන්නා සේ සිල්වතුන් හා ගුණවතුන් වෙත පිරිනමන දානය මහත් ඵල සහිත බව (විචෙය්‍ය දානං සුගතප්පසත්ථං යෙදක්ඛිණෙය්‍යා ඉධ වී වලොකො......)බුදුන් වහන්සේ දේශනා කළ සේක.

ලාංකේය ඉතිහාසයේ නොමැකෙන පරිත්‍යාගයන් අතර ක්‍රි.ව. 21 දී මහා දාඨික මහා නාග රජතුමා විසින් සිදුකරන ලද ‘ගිරි භණ්ඩ පූජා පින්කම සදානුස්මරණීය පුණ්‍ය කර්මයක් ලෙස වංශ කතාවන්හි සටහන් කර තිබෙයි.

මිහින්තලාව නොහොත් චේතියගිරියේ ගිරි භණ්ඩ විහාරය ආශ්‍රයේදි හෙළයේ රජ දවස සිදු කළා වූ මේ උතුම් පින්කමට ‘ගිරි භණ්ඩ’ නාමය ලැබුණූ බව සිංහල විශ්ව කෝෂයේද සඳහන්ය.

මහා කුසල් සම්භාරයක් ජනිත කරන මේ මහා පින්කම පිළිබඳව මහා වංශය, දීපවංශය, විසුද්ධි මාර්ගය, පාලි රසවාහිනිය, සද්ධර්මාලංකාරය වැනි වංශකතාවල ද විචිත්‍රවත් ආකාරයෙන් වර්ණනා කර ඇත.

එදා මේ ධර්මද්වීපය වටා මහා සාගරයේ ඔරු පාරු දියත් කරමින් දස දහස් ගණනින් පහන් ආලෝකයෙන් බබළවා , නුවරක් නුවරක් පාසා, තොරණ, ධජ පතාකාදියෙන් මේ පින් බිම දිදුළුණේය.

පින්කමට පැමිණෙන සැදැහැවතුනගේ පා දෝවනය කරවා පාවාඩ මතින් කැඳවූයේ උතුම් තුනුරුවන්ට උපහාර පිණිස නෘත්‍ය ගීත ගායනා පූජා පෙරහර මධ්‍යයේය.

මේ අසිරිමත් පින්කම අවසානයේදී මහා නාග රජතුමා, තම දේවිය, කුමර කුමරියන් සමඟ රජ පවුලම සිරුරේ බරට සම වූ තුලාභාර දාන සසුනට පූජා කළ බව මුලාශ්‍රයන්හි සඳහන් ය.

මෙලෙස මහා දාඨික මහා නාග රජතුමා තම දිවි මඟේ එක වතාවක් පමණක් සිදු කළ මේ මහා පින්කම යළි සිහිපත් කරවන මහඟු අවස්ථාවක් මෑතකදී උදාවී ඇත. ඒ තලගල මංගලාරාම පින්බිමේදීය.

2003 වසරින් අරඹා හය වසරක් සපුරන තලගල ගිරිභණ්ඩ පූජා පින්කම සංවිධානය කරන ‘සිද්ධාර්ථ පදනමේ’ මෙහෙවර ඉතිහාසයේ ඔදවන් කරන පිටු අතර දිදුළනු නියතයි.

අපමණ කටුක වූ පීඩාවන් මධ්‍යයේ බුදුසසුන සුරකිමින් සාසන සමාජ මෙහෙවරෙහි යෙදෙනා භික්ෂූන් වහන්සේ වැඩ වාසය කරන දුෂ්කර විහාරස්ථානයන් නඟා සිටුවීම ගිරිභණ්ඩ පූජාවේ උතුම් අභිලාෂයයි.

ඒ වෙනුවෙන් භික්ෂූන් වහන්සේ පිණ්ඩපාත චාරිකාවේ යෙදෙමින් අවශ්‍ය භාණ්ඩ එක් රැස් කර ගන්නා අතර එයට රජයේ ආශිර්වාදයත් දේශීය මෙන්ම විදේශීය දානපතීන්ගේ ආධාරත් ලැබීම පැසසිය යුතු වෙයි.

මේ සඳහා ඇප කැප වන්නේ තලගල මංගලාරාමාධිපති, පානදුර, තොටමුණ ඇතුළු රයිගම් සල්පිටි දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, තලගල සිද්ධාර්ථ පදනමේ අධ්‍යක්ෂ ‘තලගල සුමනරතන’ නා හිමියෝය.

තලගල ගිරිභණ්ඩ පින්කමෙන් විවිධ පළාත්වල දුෂ්කර විහාරස්ථානයන්ට ලැබුණු ප්‍රදානයන් නිසා එම ස්ථානයන් යම් පමණකට හෝ නඟා සිටුවා ශක්තිමත් කිරීමට ලැබීම සුවිසල් ආගමික සේවාවක් ලෙස පැසසිය යුතු වෙයි.

2003 වසරේදී තන්තිරිමලේ (මහවිලච්චිය) විහාරස්ථාන 25 කටද 2006 වසරේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 80 ක ද 2008 වසරේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල වැලිකන්ද , සිරිපුර විහාරස්ථාන 110 කද 2010 වසරේදී අම්පාර දිසාවේ විහාරස්ථාන 180 ක ද 2012 වසරේදී බදුල්ල දිස්ත්‍රික්කයේ රිදි මාලියද්ද , මීගහවෙල , කන්දකැටිය,ලුණුගල , හල්දුම්මුල්ල ආදි විහාරස්ථාන රැසකට ‘ගිරි භණ්ඩ ලබා දීම සිදුවිය. තවත් දුෂ්කර විහාරස්ථාන 31ක කඨින පින්කම් සිදුකර දීමද විශේෂිතය.

මෙම වසරේද (2014) ගිරි භණ්ඩ පූජා පින්කම සඳහා තෝරාගෙන ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල, වැල්ලවාය, ප්‍රදේශවල පිහිටි විහාරස්ථාන 200 කි.

එම විහාරස්ථානයන්ට රුපියල් 50000 ක් වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ කට්ටලයක් පිරිනැමේ. ඒ සඳහා බුද්ධ පූජා භාණ්ඩ කොහු, ඉදල්, මන්නා, පිහි, පිඟන් කෝප්ප, ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 100 ක් අයත් වෙයි. මෙසේ විහාරස්ථානයන් 200කට වැය වන මුදල රුපියල් කෝටි ගණනකට අධිකය.

ඉතා කලාතුරකින් දැකිය හැකි වු මෙම අසිරිමත් ‘ගිරි භණ්ඩ පූජා පින්කම මෙවර (සැප්. 07 -14 දක්වා) නාවින්න නගරසභා පිටියේදී ප්‍රදර්ශනය කෙරෙන්නේ බහුතර සැදැහැවතුන්ට දැක බලා ගනිමින් සිත් පහදවා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම උදෙසාය.

රජ දවස රට වටා සිදුකළ පහන් පූජාව සංකේතවත් කරමින් පහන් ආලෝක පූජාවක්ද ධර්ම දේශනා, සම්බුද්ධ පූජා, සෙත් පිරිත් දේශනා, තුලාභාර දාන, නෘත්‍ය පූජා ආදියෙන් මෙම පින්කම පරිපූර්ණ වී තිබෙයි.

ඒ වෙනුවෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ විහාරස්ථානයන්හි වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේ 200 නමක් සැප්තැම්බර් 14 දා ‘ගිරි භණ්ඩ පූජා භූමිය වෙත වැඩම කරවීමද විශේෂත්වයකි.

බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් කැපවූ මේ මහා සඟරුවන අගයමින් සමරු සිහිවටන ප්‍රදානය කිරීමද සිදුවේ.

සැදැහැවතුන්ට වැඳ පුදා ගැනීමට සැලැසූ ‘ගිරි භණ්ඩ අදාළ විහාරස්ථානයන් වෙත පූජා කරන්නේ සැප්තැම්බර් 24,25 දිනවලදී ය.

හයවන වසරටත් පාතබන තලගල ‘ගිරි භණ්ඩ පූජාව ගිරි කුළක් සේ උස් වන්නේ දස දෙස දස දහස් ගණන් පරිත්‍යාගශීලින්ගේ පරිත්‍යාගයේ සැබෑ අරුත පසක් කරලමිනි.

එදා මහා දාඨික මහා නාග රජතුමාගේ නාමය ඉතිහාසයේ නොමැකී තිබුණා සේම එහි තවත් දිගුවක් ලෙස සිදුකරන ‘තලගල ගිරි භණ්ඩ පූජාවට ඇප කැප වන ‘සිද්ධාර්ථ පදනමත්’ එහි අධ්‍යක්ෂ ‘තලගල සුමනරතන නා හිමියන්ගේ නාමයත් අනාගතය විසින් අනුස්මරණීය ලෙසින් සිහිපත් කරලනු නියතය.