Print this Article


බෝධි වන්දනාව

දුමින්දාගමනය හෙවත් සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ ආගමනයත් සමඟ වෘක්ෂ වන්දනාවේ අර්ථවත් බවක් පෙන්නුම් කරමින් ඇරැඹුණූ මේ බෝධි වන්දනාව මෙරට හෙළ අභිමානය සනිටුහන් කළ අතර බෞද්ධයාට තම දිවිය තවත් අර්ථවත් කර ගැනීමට උපකාරි වුණා.

අප ජීවත්වන පෘථිවි තලය මේ වන විට වසර කෝටි 450 ක පමණ ආයු කාලයක් ගෙවා ඇති බව ඔබ බොහෝ විට ඔබ නොදන්නවා විය හැකියි. එහෙත් මිනිසාගේ ආරම්භය සිදුවී ඇත්තේ එයින් බොහෝ කාලයක් මෙපිටට වන්නට බවයි. මානව විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ. ආරම්භයේදී ගිනි ගෙන දැවුණූ පෘථිවි තලය අවුරුදු කෝටි ගණනාවක් තුළ ක්‍රමයෙන් සිසිල් වී පරිසරය ක්‍රමයෙන් සකස් වී ජලය තුළ ශාක නිර්මාණය වුණා. පසුව එම ගස්වැල් ගොඩබිම නිර්මාණය වීම ඇරැඹුණා. එයින්ද බොහෝ කාලයකට පසුවයි. මිනිසාගේ ප්‍රභවය සිදුවී තිබෙන්නේ.

මානව විද්‍යාඥයන් මෙසේ පවසන අතර බුදුරජාණන් වහන්සේ ඒ සම්බන්ධව විශේෂ කොට අග්ගඤ්ඤ හා බ්‍රහ්මපාල සූත්‍ර මඟින් විශේෂ පැහැදිලි කිරීම් සිදුකර තිබෙනවා.

මිනිසාගේ ආරම්භයේ පටන්ම ගස්වැල් ආදි සියලු දේ මිනිසා සමඟ සම්බන්ධ වුණා. අපේ මානව ඉතිහාසය දෙස බැලීමේදී පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ ආදි මුතුන් මිත්තන් සියලු කාර්යයන්හිදී ගස්වැල් සඳහා මූලිකත්වයක් ලබා දී ඇති බවයි. මිනිසාගේ භාවිතයට ගන්නා ඕනෑම දෙයක් සඳහා ඔවුන් ගස්, වැල් භාවිතා කළා. සරලවම කතා කළහොත් කුස ගිනි නිවා ගැනීමට විළිවසා ගැනීමට මෙන්ම හිසට සෙවණක් සලසා ගැනීමටත් ඔවුන් ගස් වැල් උපයෝගී කරගත්තා. එදිනෙදා අවශ්‍යතාවන්ට උපකාරි වූ ගින්දර සපයාගැනීමටත් එසේ උපයා ගත් ගින්දර වැඩි වෙලාවක් තබා ගැනීමටත් ගස්වැල් විශාල ලෙසින් උපකාරි වුණා.

එසේම වන සතුන්ගේ හිරිහැර වලින් මිදීම සඳහාත් අතීතයේ සිටම ගස් වැල් වල පිහිට පතන්නට මිනිසා පුරුදු වී සිටියා. අප වැඩි අවධානයක් යොමු නොකළත් ගස්වැල් ආදිතම යුගයේ සිට අපට විශාල ලෙසින් මහෝපකාරි වී ඇති බව මෙයින් ඉතාම පැහැදිලියි.

එසේම පරම්පරා කිහිපයක් දක්වා සේවය සලසන ලද අති දැවැන්ත වෘක්ෂ අපට එදා සිට අද දක්වාම හමුවෙනවා. එම වෘක්ෂයන් අප හැඳින්වූයේ වනස්පතීන් නමින්. එම වෘක්ෂයන් සැලසූ සේවයට ආදි මුතුන් මිත්තන් ඉමහත් ගරුත්වයන් දැක්වූවා. එම වෘක්ෂයන් දේවත්වයෙහි ලා සලකන්නට ඔවුන් පුරුදු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙසින් ලොව වෘක්ෂ වන්දනාව ඇරඹූණා. වෘක්ෂ වන්දනාව එසේ ඇරඹුණත් පුරාණයෙ පටන්ම ගෞරවයට වන්දනයට පූජනීයත්වයට පත් වූ එක් වෘක්ෂයක් ගැන අපට අසන්නට ලැබනෙවා.ඒ ‘ඇසතු’ වෘක්ෂයයි. උද්භිද විද්‍යාත්මක මේ වෘක්ෂය ඒබජභඵ පඥ නමින් හඳුන්වනවා. ඝර්ම කලාපයේ බහුලව දක්නට ලැබෙන ඇසතු වෘක්ෂය පුරාණ ග්‍රන්ථවල ‘අශ්වට්ඨ’ නමින් හඳුන්වා දී තිබෙනවා. එම වෘක්ෂය ආසියාවේ බහුලව දක්නට පුළුවන්. අශ්වට්ඨ, ඇසතු, ඇසටු, වැනි නම් වලින් හැඳින්වුණූ අප අතර බහුලව ‘බෝ’ නමින් හැඳින්වුණු මේ වෘක්ෂය ශ්‍රී ලාංකිකයන් වන අප අතර වඩාත් පූජනීයත්වයට පත්වු අයුරු අප සියලු දෙනාටම අමුතුවෙන් හඳුන්වා දියයුතු නැහැ.

දුමින්දාගමනය හෙවත් සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ ආගමනයත් සමඟ වෘක්ෂ වන්දනාවේ අර්ථවත් බවක් පෙන්නුම් කරමින් ඇරැඹුණූ මේ බෝධි වන්දනාව මෙරට හෙළ අභිමානය සනිටුහන් කළ අතර බෞද්ධයාට තම දිවිය තවත් අර්ථවත් කර ගැනීමට උපකාරි වුණා. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් වැඩම කරවන ලද ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේගෙන් ලක්දිව පුරා පැතිරුණ බෝ වෘක්ෂයන්ට අදත් අප වන්දනා මාන කරනු ලබනවා. මෙරට කොතැනක හෝ වන්දනා මාන කරනු ලබන බෝධියක් ඇත්නම් එය ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේ හා නෑකම් කියන්නක් බව අප හොඳින් සිහි තබා ගත යුතු වනවා.

පරිසරය හා ඉතා හොඳින් සබැඳුණු බෝ වෘක්ෂය නිරතුරුවම පරිසරය සිසිල් කර තබන්නට සමත්වන බවත් මෙහිලා අප තේරුම් ගත යුතුවනවා.

විශේෂයෙන්ම ඉන්දියාවේ ගී‍්‍රස්ම සමයේ කොළ පැහැයෙන් දිදුලන එකම වෘක්ෂය බෝගස බව ඉන්දියාවේ දේශගුණය, කාලගුණය ගැන දන්නා ඕනෑම අයකුට ඉතා පැහැදිලිව අවබෝධ කර ගන්නට පුළුවන්.

ඉතිහාසය දෙස අප අවධානය යොමු කළහොත් බ්‍රාහ්මණ උපනිෂද් ග්‍රන්ථවල පවා බෝධි වෘක්ෂය ගැන දක්නට ලැබෙනවා.මෙතරම් දීර්ඝ ඉතිහාසයක් ඇති මේ වෘක්ෂයට අප බෝ නමින් හඳුන්වන්නේ ‘බුද්ධ” යන ගෞරව නාමය හිමි කර දීමටයි.

බෝ සමිඳුන් යනුවෙන් අප අමතන්නේ එම නිසයි. වර්තමානයේ බෝධි වෘක්ෂය සම්බන්ධ විවිධ පුද පූජා පවත්වනවා සේම අතීතයේ බෝ වෘක්ෂය සම්බන්ධව පවත්වන ලද පුද පූජා, ආදිය ගැනත් අප මඳක් අවධානය යොමු කළ යුතුවනවා. බෝධි වන්දනාවට අප හුරු වූයේ එය බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයට උපකාරි වූ නිසාම පමණක් නොවේ.

බෝ ගසට ගරු බුහුමන් දැක්වීම උපහාර පිදීම බුද්ධත්වයට පෙර කාලයේ සිටම තිබූ බව භාරතීය ඉතිහාසය හැදෑරීමේදී පෙනී යනවා.

කි‍්‍රස්තු පූර්ව 3000 ට පමණ පෙර දියුණුව නාගරික ලක්ෂණ පෙන්නුම් කළ මොහෙන්දජාරෝ –හරප්පා යුගයේ පවා ජනතාව බෝගස හා සම්බන්ධව කටයුතු කර ඇති බව ඉන්දු ප්‍රාග් ඓතිහාසික විද්‍යාඥයන් මේ වන විට ස්ථාපිත කරගෙන තිබෙනවා. මොහෙන්දජාරෝ හරප්පා යුගයේ හමුවී ඇති කැටයම් දෙකකින් එකක දක්නට ඇති ශාකය ප්‍රධාන අතු දෙකකට බෙදී පත්‍ර රහිත ශාඛා අතු ආදියත් එම කැටයම්හි දක්නට තිබෙනවා. කැටයමේ ඉහළම අත්තේ ’ඇසටු’ පත්‍රයක් දක්නට තිබෙනවා.

අනෙක් මුද්‍රාවේ දෙපසට විහිදී ගිය සිදුරු සහිත කඟවේන කැටයමක් දක්නට ලැබෙනවා. එහි දෙපසට විහිදී ගිය කැටයමේ දක්නට ලැබෙන්නේද ඇසටු වෘක්ෂයක්. ක්‍රිස්තු පූර්ව 3000 කට පමණ පෙරදීත් බෝ වෘක්ෂය වන්දනාවට පත්වූ බව මෙයින් පැහැදිලියි.

පසුකාලෙක බ්‍රාහ්මණ මෙන්මපශ්චාද් වෛදික යුගයෙත් බෝගස වන්දනාවට පත්වූ බව හැඳින්වේ. අතීතයේ සිට මේ අයුරින් වන්දනාවට බඳුන් වූයේ බෝ වෘක්ෂය බුදුරජාණන් වහන්සේට බුදුවීමට ආධාර උපකාරි වූ නිසා පමණක්ම නොවේ එම වෘක්ෂයේ ඇති මහත් වූ විශ්ව ශක්තිය අපට බෙහෙවින්ම වැදගත් වනවා.

බුදුරජාණන් වහන්සේ සමස්ත සත් සතියම ගත කෙළේ බුදුවීමට උපකාරි වූ බෝ සමිඳුන් අභියස බව අපට පැහැදිලියි. රහත් ඵලයට පත්වීමට, පසේබුදු බවට පත්වීමට අවශ්‍ය පසුබිම සකස් කර දීමටත්, අනන්ත අප්‍රමාණ පිරිසකට ධර්ම ඥානය ලබාදීමටත් විශ්ව ශක්තිය බුදුරජාණන් වහන්සේට ලැබුණේ මේ වෘක්ෂය නිසයි.

බුදුරජාණන් වහන්සේ තම ශක්තිය දින 7ක්ම ඇසි පිය නොහෙලා බලා සිටීමෙන් බෝ සමිඳුන්ට ලබා දුන්නා. එයින් ලද අංකුර මඟින් ඒ විශ්වීය ශක්තිය ලොව පුරා පැතිරුණා.

අපට බුදු දහම ගෙන ආ මිහිඳු මා හිමියන් තම නැගෙණිය වු සංඝමිත්තා මහ රහත් තෙරණිය සමඟින් ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන් වැඩම කරවීමට කටයුතු කෙළේ මේ විශ්වීය ශක්තිය බෝ සමිඳුන් තුළ ඇති නිසයි.

පෙර කීවාක් මෙන් බුදුරජාණන් වහන්සේ අනිමිස ලෝචන පූජාවෙන් කළේ තමන් වහන්සේ අවබෝධයෙන් ධර්මයේ විශ්වීය ශක්තිය බෝ රඳුන්ට ලබාදීමයි.

පිරිත් මණ්ඩපයක් ගෙන බලන්න. එහි එල්ලන කොළ සියල්ලම තුඩ සහිත කොළය. විද්‍යාත්මකව අද ඔප්පු කර තිබෙනවා තුඩ සහිත ශාකයන්ට යමක් ඇද ගැනීමේ සහ පිට කිරීමේ හැකියාවක් තිබෙන බවට.

මේ නිසයි බෝධින් වහන්සේ සමීපයේ සිට අප කරනු ලබන බෝධි පූජාවන්ගෙන් අපට මානසික සුවය මෙන්ම කායික සුවයක් පවා දැනෙන්නේ.

පානදුරේ අරියධම්ම හිමියන් විසින් බෝධි පූජාව රට තුළ ඉතාම ජනපි‍්‍රය පූජා අංගයක් බවට පත්කරළා ග්‍රහ අපල ලෙඩ රෝග ඇස් වහ කට වහ ආදියට පිළියම් පතා බෝධි වන්දනාවට ජනතාව යොමු වී තිබෙන්නේ අතීතයේ සිටම එහි ගුණය මනාව දැනගත් නිසයි. බෞද්ධයාමෙන්ම අබෞද්ධයන්ද බෝධි පූජා සඳහා පෙළඹී ඇත්තේ එම නිසයි.

වර්තමානයේ බෝධි පූජා විවිධාකාරයෙන් පැවැත්වුවත් බෞද්ධයන් ලෙස අප කළ යුත්තේ තිසරණ සහිත පංචශීලය සමාදන් වී බෝධි පූජාවේ නිසි අර්ථය දැනගෙන ඒ සඳහා උචිත ලෙසින් වන්දනාමාන කිරීමයි.