Print this Article


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 4

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 4

සිදුහත් උපත සිදුවූ බුද්ධභූමි වන්දනාවේ සිව්වන කොටසයි මේ. ඉකුත් බිනර පුර අටවක පෝදා (සැප්තැම්බර් 02) පත්‍රයේ ලුම්බිණි පුදබිම සහ වැදගත් ස්ථාන කීපයක් අපි වන්දනා කළෙමු. කොටස් වශයෙන් පළවන මෙම බුද්ධ භූමි වන්දනාවේදී අසිරිමත් බෝසත් සිරිත සිහියට නගා ගනිමු.

සිදුහත් කුමරුන් සඳහා ඉදිවූ මාලිගා

උතුරු ඉන්දියාව (දඹදිව) කාලගුණය සෘතු අනුව වෙනස් වෙයි. හේමන්ත සෘතුව, ගිම්හාන සෘතුව, වසත් සෘතුව යනුවෙන් සෘතු තුනකට වෙන්වී තිබිණි. මේ සඳහා සුද්ධෝදන මහ රජතුමා තම පුතු සක්විති රජ කෙනෙකු වනු දැකීම අරමුණු කර ගනිමින් ඒ සඳහා පුතුට සොළොස් වයස් වූ සමයෙහි හැම සැප පහසුකමක්ම ලබාදීමට කටයුතු කරන ලදී. මේ සඳහා සියලු පහසුකම් සහිතව සෘතු තුනට සරිලන මාලිගා තුනක් නිර්මාණය කරන ලදී.

රම්‍ය මාලිගාව

එම මාලිගාව මහ රජතුමා නිර්මාණය කරන ලද්දේ හේමන්ත සෘතුව සඳහාය. මේ මාලිගාව මහල් නවයකින් යුක්ත විය.

සුරම්‍ය මාලිගාව

ගිම්හාන සෘතුව සඳහා මහ රජතුමන් විසින් නිර්මාණය කරන ලද සුරම්‍ය මාලිගාව මහල් පහකින් යුක්ත විය.

ශුභ මාලිගාව

මහරජතුමන් ගිම්හාන සෘතුව සඳහා ඉදිකරන ලද ශුභ මාලිගාව මහල් හතකින් යුක්ත විය. සිදුහත් කුමරා මේ මාලිගා තුනෙහි පහස ලබමින් මහත් රජ සැප විඳින ලදී.

තරුණ සිදුහත් කුමාරයා සොළොස් වන වියට පැමිණ සිටි අතර ගිහි ජීවිතය තුළ තව දුරටත් තබා ගැනීමේ අරමුණ මත මහරජතුමා සිදුහත් කුමරුන් හට විවාහ මංගල්‍යය සූදානම් කරන ලදී. සිය අදහස ඤාතීන් වෙතද දැන්වූහ. රජමාලිගාව තුළ සිටම කුමරා ශිල්ප උගත් බැවින් සිප් සතර නොඋගත්තකු ලෙස නෑසියන් කියා එවූහ. ඒ බව පිය රජතුමන් පුත් කුමාරයා වෙත ද දැන්වීය. එවිට දින නියම කොට නෑයන් රැස්කරවා ශිල්ප දැක්වීය. ඉන් ප්‍රසාදයටපත් ශාක්‍ය රජහු තම දුවරුන් සරසා එවුහ. සිදුහත් කුමරා සුප්පබුද්ධගේ දුවනිය වූ භද්‍රකාංචනා (යශෝධරා) කුමරිය අග මෙහෙසිය කොට සරණ පාවා ගත්තේ ය. අනතුරුව සුදොවුන් රජතුමා එම දෙදෙනාට එක්විටම කිරුළු පළඳවා රාජ්‍ය බාර කළේ ය. එතැන් පටන් තෙළෙස්වසක් රජ සැප වින්දේය. සිද්ධාර්ථ කුමාරයා නිරතුරුවම උයන් සිරි විඳීමට පිටත් විය. ජීවිතය පිළිබඳව හා මිනිසුන් පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවූ අතර මිනිස් ජීවිතය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක ද නිරත විය. සිදුහත් කුමරු දිනක් අතර මගදී බොහෝ මහලු පුද්ගලයෙකු දකින ලදී. මේ පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක නිරත විය. දෙවන දින ලෙඩෙක් දැකීම තුළ සිත තවත් කම්පනයට පත්විය. තවත් දිනක මළ සිරුරක්ද සිව්වනුව බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන ලද පැවිද්දෙක් දැක පෙර එවැන්නක් නොදුටු බැවින් රියැදුරාගෙන් ඒ කවුරුදැයි අසා දැන ගිහි සැපතට කලකිරී පැවිද්දට සිත නැමීය.

උයනට පැමිණි රජ වාසල පණිවිඩකරුවෙකු විසින් සිදුහත් කුමරුනි, ඔබගේ දේවියට පුත් රුවනක් ලැබූ බව දන්වා සිටින ලදී. මේ මොහොතේ සිදුහත් කුමරුගේ මුවින් “රාහුලයෙක් උපන, බැම්මෙක් පහළ වී යැ” යි වචන පිටවිය. සිඳුහත් රජතුමා කී වචන දුතයා ගොස් මහරජතුමා වෙත දැන්වීය. රජතුමා එය අසා “එසේ නම් මා මුනුබුරා මේතැන්පටන් රාහුල නම් වේවා” යි කීය.

සිදුහත් රජුද මාලිගාවට ආයේ ය. මග දෙපස මිනිස්සු රැස්කකා එතුමා දක්නට සැදී සිටියහ. කිසාගෝතමී නම් රජකුමරිය එතුමා දැක මෙවැන්නෙක් යම් මවකට හෝ පියෙකුට පුත් වී නම් ඒ මවත්, පියාත් නිවී සැනහී ගියෝ වෙති. යම් ස්ත්‍රියකට මෙවැන්නෙක් ස්වාමියකුවී නම් ඇය නිවුණු තැනැත්තියක යන අරුත් ඇති,

නිබ්බුතා නූන සාමාතා
නිබ්බුතො නුන සෝ පිතා
නිබ්බුතා නූන සානාරී
යස්සායං ඊදිසො පති

යන ස්තුති ගීතය ගැයුවාය. එය ඇසූ සිදුහත් රජතුමා ඇය කී නිවීම කෙසේ නම් වන දැයෙක්දැයි සිතන්නට වුයේය. රාග, ද්වේෂ, මෝහාදී ගිනි නිවීමෙන්ම සිත නිවුණේයැයි එතුමාට හැඟිණි. ඇය මට මහඟු අස්නක් ඇස්වුවායැයි සතුටුව සිය ගෙල පැළැඳි අගනා මුතුහර ගලවා ඇයට පඬුරු කොට යැවීය.

සිදුහත් රජතුමා නැවත මාලිගය වෙත පැමිණ රෑ බොජුන් ගෙන නිදන වේලාව ළං වූ යෙන් සිරියහන වෙත ගියේ ය. වෙනදා මෙන් එදින ද දෙවඟනන්සේ හැඳ පැළැඳගත් නාටිකාවෝ නැටුම්, ගැයුම්, වැයුම්, ඇරැඹුහ. පැවිද්ද සඳහාම සිත යොමු වූ සිදුහත් රජතුමා ඔවුනගේ ක්‍රීඩා සඳහා සිත් නොයවා නිදා ගත්තේ ය. එතුමා නිදා සිටිනු දුටු නාටිකාවෝ ද සිය වාද්‍ය භාණ්ඩ ඒ ඒ තැන්හිම තබා හුන් හුන් තැනම නිදාගත්හ.

ටික වේලාවකින් සිදුහත් රජ නින්දෙන් පිබිදියේ ය. නිදන නාටිකාවන්ගේ විප්‍රකාරය දැක පළමුව දෙවඟනන් සේ සිටි මොවුන් දැන මළ කඳන් වැන්නහ. දෙවි විමනක සිරි ඉසිලූ මෙම පහය දැන් අමු සොහොනක් වැන්නයි සිතීය. මුළු තුන් ලොවම ගිනිගත් ගෙයක් සේ හැඟිණ. “අදම ගිහි ගෙයින් නික්මෙමි” යි අදහස පහළ විය.

සිදුහත් කුමරා යහනින් නැගී සිටියේ ය. දොර ළඟට ගොස් එහි නිදා සිටි ඡන්න ඇමැති පුබුදුවා කන්ථක අසු පිළියෙළ කරවීය. අනතුරුව පුතු දක්නා රිසිව යසෝදරා දේවිය නිදන ගෙට ගොස් සෙමෙන් දොර හළේ ය. ඕ රහල් කුමරු ලෙහි හොවා ගෙන නිදන්නීය. සිදුහත් රජ එළිපතැ පය තබා සිට ඇය බලා දැන් ගොස් පුතු වඩා ගත්තොත් ඇය පිබිදෙතියි. එයින් පැවිදිවන්නට යන ගමනට බාධා වෙතියි බුදුවැ අවුත්ම පුතු දකිනෙමියි සිතීය. එසේ සිතා සිත සනසා ගත්තේ ය. ආපසු හැරීගොස් පහයෙන් බැස කන්ථක අසුපිට නැග ඡන්න අසූ පිටි පස නංවා නුවරින් පිටත් විය. ඒ ඇසළ පුන් පෝදාය.

බෝසත්තුමා එක් රැයින්ම තිස් යොදුන් මග ගෙවා අරුණු නගින වේලෙහි අනෝමා නදිය තෙරට පැමිණියේ ය. අනතුරුව අසු පිටින්ම ගඟෙන් එගොඩ විය. එහිදී අසූ පිටින් බැස සුදු වැලිතලා වෙහි වැඩ සිට “ජන්නයිනි, තෙපි මා පැළැදි මේ අභරණත්, අසුත්ගෙන කිඹුල්වතට යවු” ගොස් ඒ හැමට මා පැවිදිවූ, බව දන්වවු, පසුව මම තොප පැවිදි කරවා ගන්නෙමියි කීය. ස්වාමීනි, මමත් පැවිදි වන්නෙමියි ඡන්න කීය.

“ඡන්නයිනි, තොප දැන්ම පැවිදි වනු නොවටී, මාගේ පියාණන් වහන්සේ සහ මෑණියන් වහන්සේත් යශෝධරාවත් මා පැවිදිවූ බව නොදනිති. එබැවින් දැන් තෙපි යවු, එසේ ගොස් ඒ හැමට මා පැවිදි වූ බව දන්වවු. පසුව මම තොප පැවිදි කරවා ගන්නෙමි, යි කීය. එසේ කියා ආභරණත්, අශ්වයාත් ඡන්න වෙත බාර කළහ.

අනතුරුව එතුමා දකුණතින් කඩුව ගෙන වමතින් කෙස් වැටිය අල්ලා සිඳ දැමීය. අනතුරුව ආජීව අෂ්ටමක ශීලය සමාදන්ව තවුස් පැවිද්දෙන් පැවිදිවිය. ඡන්නද ආභරණත්, අශ්වයාත් ගෙන නැවතත් මාලිගයට යන්නට සැරසිණ. බෝසත්තුමා ඔවුනට සමු දී වෙන්ව ගියේ ය.

ඊට නොබෝ වේලාවකින් අශ්වයා පි‍්‍රය විප්‍ර යෝග දුකින් පෙළී එහිම වැටී මළේ ය. ඡන්නද හඬමින්, වැළපෙමින් කිඹුල්වතට ගොස් සුදොවුන් මහ රජතුමා ඇතුළු හැමට ඒ පුවත් සියල්ල සැළ කළේ ය.

තවත් කොටසක් සැප්තැම්බර් මස 16 වන දා බිනර අව අටවක පෝදා පත්‍රයේ පළවේ.

මතු සම්බන්ධයි