Print this Article


බෞද්ධ දර්ශනයේ දැක්වෙන කර්ම සංකල්පය

ලොව පහළ වූ විවිධ දර්ශන අතර බෞද්ධ දර්ශනයට හිමිවන්නේ සුවිශේෂී වූ ස්ථානයකි. මේ සඳහා එළඹුණු හේතු සාධක අතර වැදගත් වන්නේ ලොව පිළිබඳවත්, සත්ත්වයා පිළිබඳවත් ලෞකික හා ලෝකෝත්තර වශයෙන් යුත් දේශනාවන්ය.මේ දේශනාවන්ගේ වැදගත්කම වන්නේ අන්‍ය දාර්ශනිකයින් ඉදිරිපත් කළ කරුණූ බුදු දහම සමඟ ගැළපීමට නොහැකි ලෙස දුරස්ථව තිබීමයි. භාරතීය ප්‍රාග් බෞද්ධ යුගයේ සිට පැවැත ආ දර්ශනයන් මිථ්‍යා දර්ශනයන් බව පසක් වන්නට වූයේ බෞද්ධ දර්ශනය භාරතය පුරා හිස එසවීමත් සමඟය. ඊට පෙර සමාජීය වශයෙන් මහත් ප්‍රබලත්වයකින් නැඟී ආ මිථ්‍යා දර්ශනයන්ට නිසි මඟ වූයේ බුදු දහමයි.

ශ්‍රී ගෞතම සම්බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කර ගන්නට යෙදුණු දහම මීට පෙර ලොව පැවති සනාතනවූ ධර්මය ම ය. කෙසේ නමුත් කාලයාගේ වැලිතලාවෙන් වැළලී ගිය ඒ ධර්මස්ඛන්ධය නැවත සුපුෂ්පිත වූයේ ගෞතම සම්බුදු හිමියන්ගේ පහළ වීමත් සමඟය. එනමුදු මෙතුවක් කල් ජීවත් වූ භාරතීය ජනතාව තුළ වූ එවකට වූ ධර්ම කුසලතාව වර්ධනය කරනු වස් බුදුන් වහන්සේට මහත් පරිශ්‍රමයක් දරන්නට වූ බව නිසැකය. ඒ මේ සමය වන විට භාරතය පුරා මුල් බැස ගෙන තිබූ දෙසැටක් මිථ්‍යා දෘෂ්ටික මතවාදවල එල්බ ගෙන සිටි පිරිසක් විද්‍යමාන වීමයි. ඔවුන් ලොවෙහි පවතින සත්‍ය කුමක්ද? අසත්‍ය කුමක්ද ? යන්න පිළිබඳ ව ඇති කරගෙන සිටි ආකල්පය හා දැක්ම විසම වූ ධර්මතාවක් විය. නමුදු ඔවුන්ගේ තිබූ ඥානය ව්‍යක්ත වූ නිසාම පසුකාලීනව ඔවුන් ඒ මිථ්‍යා දර්ශනවලින් බැහැරව බෞද්ධ දර්ශනය භාවිතයට ගැනීමට උත්සුක වීමෙන් පෙනී යයි.

කෙසේ නමුදු එවන් ආගමික සමාජ පසුතලයක බිහි වූ නව්‍ය දර්ශනය වූයේ බෞද්ධ දර්ශනය යි. මුලින් සඳහන් කළ පරිදි මෙය නව්‍ය වූයේ මේ සමාජ පසුතලයට පමණි. පෙර පහළ වූ සම්බුදු හිමියන්ගේ දර්ශනයම සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ විසිනුදු අවබෝධ කරගෙන ලොවට දේශනා කරන්නට යෙදුණි. කෙසේ නමුදු කාලයාගේ ඇවෑමෙන් වැළලී ගිය දහම නැවත ලොවට හඳුන්වා දෙනු ලැබුයේ උන්වහන්සේ විසිනි. උන්වහන්සේ විසින් අවබෝධ කරගන්නට යෙදුණු මේ දර්ශනය අතිශයින්ම ගැඹුරු වූත්, නිර්මල වූත්, සත්‍ය වූත් ධර්මයකි. සම්මා සම්බුද්ධ,ලෝකවිදූ, විජ්ජාචරණ සම්පන්නාදි ගුණයන්ගෙන් විභූෂිත වන්නේ උන්වහන්සේ මෙලෙස ලෝ ඇති තතු ස්වයම්භූ ඥානයෙන් ම අවබෝධ කරගත් නිසාවෙනි. උන්වහන්සේ විසින් මේ අවබෝධ කරගැනීමත් සමඟ ඇති වූ නිරාමිස පී‍්‍රතිය ලොවට හෙළි කරනු වස් දේශිත උදානය බෞද්ධ දර්ශනයට ඇලුම් කරන හා ඒ දහම් මඟෙහි නියුක්ත අපට මෙහිදී අතිශය වැදගත් වනු ඇතැයි හඟිමි.

අනේක ජාති සංසාරං – සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තො – දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝසි – පුන ගේහං න කාහසී
සබ්බා තේ ඵාසුකා භග්ගා – ගහකූටං විසංඛිතං
විසංකාර ගතං චිත්තං – තණ්හානං ඛය මජ්ඣගා’ති

මෙහිදී උන්වහන්සේ විවරණය කරන්නට යෙදුණේ අනේක ප්‍රකාර වූ සාංසාරික ජීවිතයන් ඔස්සේ සැරිසරවමින් තමා වෙහෙසට පත් කළ ජාතිය නමැති ගෙය සාදන වඩුවාණන් තමන් දුටු බවත් සංසාරය නමැති ගෙහි කැණිමඬල තමන් විසින් සිඳ බිඳ දැමූ බවත්ය. එනම් මේ ලෝ වැසි සියලු සත්ත්වයන්ට නැවත ඉපදීමක් ඇති කරන්නට යෙදෙන්නේ මේ කියන්නා වූ ජාතිය නමැති ගෙහි තෘෂ්ණාවෙන් ඇලී ගැලී සිටීම නිසාවෙන්ය යන්න උන්වහන්සේ පෙන්වා දෙන්නට යෙදුණේ ඉහත කී අයුරිනි. ලෝ වැසි දනන් ලෝභ, ද්වේශ ,මෝහාදි අකුසල සිත්වලින් මදයට පත් වී දිවි ගෙවන අයුරුත් එවන් වූ අයගේ ජීවිත පිළිබඳ ව මීට වඩා සැළකිලිමත් ව කටයුතු කිරීමට සැලැස්වීමක් නොවන්නේ නම් සසර කතරින් එතෙර වීම අතිශය දුෂ්කර වූ කාරණාවක් බවත් උන්වහන්සේගේ සම්බුදු ඇස පෙණිනි. සම්‍යග් සම්බුද්ධත්වයට පත් බුද්ධාංකුරයක් තුළ ලෝ සතුන්ගේ ස්වභාවය අවබෝධ කිරීමේ ඥානය නිතැතින්ම ඇත්තේය. එනිසාවෙනි උන්වහන්සේ ලෝ සතුන් කෙරෙහි පතළ කරුණාවෙන් දහම් දෙසා නිවන් මඟට පමුණුවන්නට යෙදුණේ.

බුදුන් වහන්සේගේ දර්ශනය පිළිබඳව උන්වහන්සේගෙන් විමසූ එක් ප්‍රශ්නයකින් මෙහි ස්වභාවය මනාව ප්‍රකට වේ. දිනක් එක් භික්ෂුවක විසින් බුදුන් වහන්සේගෙන් කර්මය යනු කුමක්ද? එහි ස්වභාවය කෙසේදැයි ප්‍රශ්නයක් යොමු කරන ලදින් බුදුන් වහන්සේ වදාළේ “චේතනාහං භික්ඛවේ කම්ිමං’ වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන මනසා “ යනුවෙනි. “මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි. මනසින් සිතා කරන දේ කර්ම වේ” යනුවෙන් එහි අරුත් ගැන්වේ. එසේ නම් අප අවබෝධ කර ගත යුත්තේ කර්මයක් වීමට නම් එය අප මනසින් සිතා ක්‍රියාවට නැංවීමක් අවශ්‍ය වන්නක් වන බවයි. මේ පිළිබඳ අප අවධානය යොමු කිරීමේදී කර්මයේ වුවද සුදු කළු භේදයක් ඇති බව පෙනී යයි. මේ පිළිබඳ විමසීමේදී අතිශය වැදගත් වන එක් බුද්ධ දේශනාවක් ලෙස ධම්මපදයේ අන්තර්ගත ගාථා යුගළයක් දෙස අවධානය යොමු කිරීමෙන් පෙනේ.

මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේ’න – භාසති වා කරෝතිවා
තතො නං දුක්ඛ මන්චේති –චක්කං ‘ච වහතෝ පදං
මනසා චේ පසන්නේන භාසති වා කරෝතිවා
තතෝ නංසුඛ මන්වේති ඡායාව අනුපායිනී

ඉහත ගාථා යුග්මය දෙස විමසිල්ලෙන් බැලූ විට අපට පැහැදිලි වෙනසක් දක්නට ලැබේ. එනම් අප කරන සෑම ක්‍රියාවක් සඳහා ම මනස පූර්ව වන බවත්, මනස මුල්වන බවත්, මනස පෙරටුවේ තබාගෙන එවන් ක්‍රියාවන් බොහෝ දුරට සිදුවන බවත් පැනෙන්නට තිබීමයි. කෙසේ නමුත් මෙහිදීද යම් කාරණාවක් ගම්‍ය නොවන්නේ නොවේ. එනම් මුලින් සඳහන් කළ අන්දමට චේතනාව හෙවත් සිතිවිල්ල ප්‍රබලත්වයට පත්ව තිබීම සිදුවේ. අප එසේ සිත පෙරටුවේ තබා ගෙන යම් ක්‍රියාවක් පිළිබඳ අපැහැදිලි ,ද්වේෂ සහිත, අකුසලයට නැඹුරු සිතින් යුක්තව (පදුට්ඨෙ’න චිත්තේන) කියන්නේ නම් (භාසති) හෝ එනයින්ද යමක් එලෙසම කරන්නේ නම් (කරෝති) එයින් ලැබෙන ඵල විපාකයද අතිශය දුක් සහිතය (දුක්ඛ මන්වේති) ඒ පිළිබඳ මනුෂ්‍යයාට ඉතා හොඳින් අවබෝධ කරදෙනු වස් බුදුන් වහන්සේ වදාළ උපමාව වන්නේ ගැල උසුලන්නා වූ, ගොනුන් වෙහෙසට පත් කරමින් ගොනුගේ පිය අනුව යන්නා වූ ගැල් සක මෙනි යන්නයි. මෙහි දී කාය, වචී, මනෝ, යන දුෂ්චතරියන් වලින් යුක්ත වන්නේ යමෙක්ද ඔහුට මේ කියන්නා වූ දේ අත් විඳීමට සිදුවන බව මෙමඟින් වර්ණිතය. කෙසේ වුවද අප අකුසල කර්ම රැස් කිරීමට දක්වන ඇල්ම කුසල පක්ෂය විෂයයෙහි අඩංගු නොවන බැව් බුදුන්ගේ ඥාන දර්ශනයට පවා හසු විය. එනිසාවෙනි නිවන් අවබෝධ කරගත් පිරිස එසේ නොවූ අය හා සංසන්දනය කිරීමේදී අඩු අගයක් ගන්නේ. කෙසේ වුවද යමෙක් ඉහතින් පෙන්වා දුන් පරිදි සිතින් කයින් හෝ මනසින් අකෘතඥ ක්‍රියාවන් කරන්නේ නම් ලැබෙන විපාකය අති බිහිසුණුය. අප වැරදි ක්‍රියාවන් කරන්නට කෙතෙක් පි‍්‍රය වුවද එයින් ලැබෙන විපාකය විඳීමට වූ විට ඇති වන්නා වූ වේදනාව වීදාගම මෛත්‍රෙය හිමියන් විසින් ලෝවැඩ සඟරාවේ දී ඉතා හොඳින් පෙන්වා දෙනු ලැබේ.

ළිප ගිනි මොලවන තෙක් දිය සැළියේ
සැපයක් යැයි කකුළුව දිය කෙළියේ
එපමණ තොප සිතතොත් නො හැකිළියේ
සැපයක් නම් නැත කම්රස කෙළියේ

මෙහිදී ද පෙන්වා දෙන්නේ මුලින් සඳහන් කළ දේ මය. එනම් තමා වැරදි ක්‍රියාවක් කරන මොහොතේදී ඉතා සන්තෝෂයෙන් කරන්නේ වුවද විපාකය විඳින්නට ගිය විට ඇති වන වියෝගය, දුක් සහිත බව කඨෝර බව නිසා තමන් අතිශය පීඩාවට පත් වන බවයි. නමුත් අප මෙහි සිතිය යුත්තේ මේ ක්‍රියාව පමණක්ම නොවේ. මෙහි වැරදි ක්‍රියාවන්වල නිමග්න නොවී යා යුතු මාවත අපට බුදුන් වහන්සේ විසින් දේශිතය. දෙවනුව සඳහන් කළ ගාථා නයින් පෙන්වා දෙන්නේ මෙහි අති ශ්‍රේෂ්ඨ අංශය යි. එනම් අප කරන ක්‍රියාවන් යහපත් සිතින් යුතුව (පසන්නේන චිත්තේන) යමක් කියයි නම් හෝ කරයි නම් එයින් ලැබෙන ප්‍රතිඵලය අනුසස් සහිත බවයි. එයින් විඳින සුවය තමා පසුපස ගමන් කරන සෙවනැල්ල සේය යන උපමාවෙන් වර්ණිතය. එයින් පෙන්වා දෙන විශේෂිත වූ කාරණාව වන්නේ තමන් කරන හෝ ක්‍රියාවන් නිසා තමන්ට අයහපතක් නොවී යහපතක්ම වන බවයි. මෙහිදීද මුලින් සඳහන් කළ පරිදි කාය, වචී, මනෝ, යන ත්‍රිවිධ අංගයකින් කුසලය යුක්ත වන්නේය.

ඉහතින් පෙන්වා දෙන්නට යෙදුණේ කර්මය විපාක දීමේ මූලික අවස්ථාවයි. එනම් යම් ක්‍රියාවක විපාකයක් ද තිබෙන බවයි. නමුදු මෙහිද යම් ප්‍රභේදයන් රාශියක් දක්නට ලැබේ. විපාක දීම වශයෙන් ද විපාක දෙන කාල වශයෙන්ද විපාක දෙන ආකාර වශයෙන්ද මෙය ත්‍රිවිධ වනු ඒ අනුව පෙනේ. ලොවේහි ඇති පඤ්ච නියාම නම් ධර්ම නම් කොට්ඨාසයේ කම්ම නියාමයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. උතු නියාමයෙන් හේමන්ත ගිම්හාන වස්සානාදී ඍතු සම්බන්ධව බෙදීම පෙන්වන අතර බීජ නියාමය මගින් ගස්වැල් පුද්ගලයින් යම් සේ බීජ මුල් කරගෙන හටගැනෙන බව පෙන්වා දේ. චිත්ත නියාමය මඟින් සිතේ සිතිවිලි පිළිබඳ දීර්ඝ විස්තරයක් කෙරෙන අතර ධම්ම නියාමය මඟින් ලොවෙහි ඇති හේතුඵල ධර්මතාව අනුව සිදුවන කරණු මෙන්ම බුදුවරයෙකුගේ පහළවීම නිසා ලොවෙහි වන වෙනස්වීම් ආදි දේ පිළිබඳ ප්‍රකට කෙරේ. කම්ම නියාමයෙහි ලොවෙහි හුදි ජනන් කරන හොඳ නරක ක්‍රියාවන්වල ඇති විපාකයන් පිළිබඳ කරුණු දක්වනුයේ, ලෝකයේ පැවැත්ම සඳහා කර්මය මහත් පිටුවහලක් වන බවද බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු සේක.

කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ
තස්මා පුනබ්බවෝ හෝති ඒවං ලෝකෝ පවත්තති

යනුවෙන් විසුද්ධි මාර්ගයේ ද සඳහන් කොට ඇත්තේ එයයි.මේ අනුව කර්මයද ලොව සමඟ සබඳතාවක් දක්වයි. මේ නිසා මෙයද නියාම ධර්මයක් වන බව පැහැදිලි වේ. යම් විටෙක අප කරන ක්‍රියාවන්ගේ හොඳ නරක විපාක දීමේදී යම් යම් වෙනස්කම් ද ඇතිවිය හැකිය. ධර්මයේ මේ පිළිබඳව ද සඳහන් කර ඇති නිසාවෙන් කර්ම න්‍යාය පිළිබඳ බෞද්ධ ලෝකයාට දහම පිළිබඳ කුකුසක් ඇති කර ගත යුත්තේ නොවේ. මෙවන් වූ අවස්ථා 04 ක් බුද්ධ දේශනාවේ ඇති බව පෙනෙයි. ඒවා නම්

ගති සම්පත්ති /ගති විපත්ති – යම් කර්මයක් විපාක දීමට තිබියදී සුදුසු උපතක් නොවීම නිසා මඟ හැරී යෑම

කාල සම්පත්ති / කාල විපත්ති – දන් දී තිබුණ ද දුර්භික්ෂයක් නිසාවෙන් නිසි ඵල ලබන්නට නොහැකි වීම

උපධි සම්පත්ති / උපධී විපත්ති – ශාරීරික ආබාධයන් නිසා ඇති විය හැකි බාධාවන්ය. තමන් බහුශ්‍රැතයෙකු වුවද මේ ආබාධ නිසා ඵල ලබා ගැනීමට නොහැකි වීම.පයෝග සම්පත්ති / පයෝග විපත්ති – උත්සාහයෙන් ඵල ලබා ගැනීමට වෙහෙසීමයි. නුමුත් යම් අවස්ථාවල මෙහි දියුණුවක් ලබා ගත හැකිය. සමහර අවස්ථාවල කෙතෙක් උත්සාහ දැරුව ද තමන් අපේක්ෂා කරන ඵල ලබා ගැනීමට නොහැකි වේ. මීට හොඳම නිදසුනක් ලෙස අංගුලිමාල තෙරුන්ගේ චරිතය හැඳින්විය හැකිය. ඔහු ගිහි කල කෙතරම් අකුසල කර්ම කළද ඒ සියල්ල ප්‍රබල කුසලයක් මූලික වීමෙන් යටපත් විය.

මෙහි වැදගත්ම අවස්ථාව වන්නේ මෙය විපාක දෙන අයුරු හා සම්බන්ධ වන අවස්ථාවයි. විශේෂයෙන්ම නැවත උපතක් හෙවත් පුනර්භවයක් සඳහා බෙහෙවින්ම කර්මය මූලික වන බැව් පෙනේ. මෙහි කෘත්‍ය වශයෙන් සිව් ආකාර වේ. ජනක (උපතක් ලබා දෙන කර්ම) උපත්ථම්භක (උපන් කර්මයයට උපකාරිවන) උපපීඩක (උපන් කර්මයට බාධා කරන) උපඝාතක, (උපන් කර්මය නසන) යනුවෙන් එය හැඳින්වේ. ජනක කර්මය සඳහා ගැනෙන්නේ අතීතයේ කරන ලද කර්මයන්ය. දුක් සහිත ජීවිතයක් ලැබුමටත් සැප සහිත ජීවිතයක් ලැබුමටත් විශේෂයෙන් මුල් වන්නේ මේ කර්ම ගණයයි. උපත්ථම්භක කර්මයට උපතක් ලබා දීමට තරම් ශක්තියක් නොවුන ද ඊට උපකාර කිරීමේ හැකියාව පවතී. දුක් විඳීමේ දී දුක වැඩි කිරීමටත් සැප විඳීමේ දී සැප වැඩි කිරීමටත් හැකියාව එහි ඇත. ජනක කර්මයට නිසි පරිදි විපාක ලබා දීමට නොදී හිරිහැර කරන කර්මය ලෙස ගැනෙන්නේ උපපීඩක කර්මයයි. කුසල කර්මයක විපාක විඳීමට තිබුණද ඒ අතරට කර්මජ රෝගයක් මුල් වී ඒ සැප විපාකය අඩු කරනු ලැබේ. ධනය රැස් කරගෙන සුරාව සූදුව යනාදියෙන් ධනයත් තම ජීවිතයත් විනාශ මුඛයට පමුණුවා ගැනීම මෙහි හොඳම නිදසුනයි. උපඝාතක කර්මයේදී දුර්වල වූ කුසල කර්මය හෝ අකුසල කර්මය සහමුලින්ම නසා දැමීමක් මේ කර්මයේදී සිදුවේ. කුසල ජනක කර්මයකින් අංග ශරීර නිසි ලෙස ඇතිව ඉපදුණු ඇත්තෙක් සොරකමක් හෝ වෙනත් වංචාවක් කරන්නට යැමේ දී අංග විකල වීමකින් ජනක කර්මයෙන් ලැබිය හැකි සැප විඳීමට ඉඩකඩ ඇහිරී යෑම මෙහි එක් අවස්ථාවකි. තවත් අවස්ථාවක් නම් අකුසල ජනක කර්මයකින් අන්ධව ඉපදුණු අයෙකුට ඇස් බද්ධ කිරීමෙන් පියෙවි ඇස් ඇත්තෙක් බවට පත් කිරීම සිදු වන්නේය.

විපාක දෙන ආකාරය අනුවද බෙදීම් 04 ක් ඇත. එහි දී ගරුක කර්මය යනු බරපතළ කර්මයන් ය. ආසන්න කර්ම යනු මරණාසන්න මොහොතේදි සිදුකරන කර්මයන්ය. ආචින්න කර්ම නම් කලක් පුරුදු පුහුණු කළ කර්මයන්ය.කටත්තා යනු සුළු කර්මයන්ය. ගරුක කර්මය යනු දෙවන ආත්ම භාවයේදී ඒකාන්ත වශයෙන්ම විපාක දෙන කර්මයන්ය. එහි කර්මය වෙනත් ක්‍රමයකින් වැළැක්විය නොහැකිය (ගරුකන්ති මහා සාවජ්ජං මහානුභාවඤ්ච අඤ්ඤේන කම්මේන පටිබාහිතුං අසක්කුණෙය්‍ය කම්මං) කුසල පක්ෂයේදී රූපාවචර ධ්‍යාන ලබාගත්තෝ එයින් නොපිරිහී කලුරිය කරන්නේ නම් මරණින් මතු ඒකාන්තයෙන් බඹලොව උපදී. අකුසල කර්ම කරන්නවුන් ද මිථ්‍යාදෘෂ්ටික මත දරන්නන්ද පඤ්ච ආනන්තරිය පාප කර්ම කරන්නවුන්ද නියත වශයෙන්ම මරණින් මතු දෙවන භවයේදී දුගතිගාමී වන්නේමය.දෙවැනුව ඇත්තේ ආසන්න කර්මයයි. මරණාසන්න මොහොතේදී තමන් ජීවිත කාලය තුළ කෙතෙක් කුසල කර්ම කර තිබුණද අකුසල චේතනාවක් ඇති වුවහොත් මරණින් මතු දුගතියක ඉපදීමට ඉඩ ඇත. අකුසල කර්ම කර තිබුණද මරණාසන්න මොහොතේ කුසල චේතනාවක් ඇති වුව හොත් මරණින් මතු සුගතිගාමී වීමටද හැකිය. ආචින්න කර්ම යනු නිතර නිතර තමන් කරන කුසලාකුසල කර්මත් එක්වරක් සිදු කොට නිරන්තර සිහියට ගන්නා කුසලාකුසල කර්මත්ය. මරණාසන්න මොහොතේදී මුලින් සඳහන් කළ කර්මයන් යුගළයම ඉදිරිපත් නොවූ විට මෙය ඉදිරිපත් වේ. මෙයට යබ්බහුල කර්මය යනුවෙන් ද හැඳින්වේ. සැලකිල්ලකින් තොරව කරන කර්ම කටත්තා යනුවෙන් හැඳින්වේ. මෙහි එතරම් බලපෑමක් නැත. නමුදු සමහර විටෙක මුලින් ප්‍රකාශිත කර්මයන් ත්‍රිත්වය මුල් නොවූ විට කටත්තා කර්මය ඉදිරිපත් විය හැකිය. (කටත්තා කම්ිමං පන ලද්ධා සෙවනං පුරිමානං අභාවේන පටිසන්ධීං අකඩ්ඪති)

විපාක දීමේ දී කාල වශයෙන්ද ඉදිරිපත් වීම වැදගත් වේ. දිට්ඨධම්මවේදනීය. උපපජ්ජවේදනීය. අපරාපරියවේදනීය, අහෝසි යනුවෙන් අවස්ථා 04 ක් එහි ඇත. මෙලොව දීම විපාක ලබා දෙන කර්ම දිට්ඨධම්ම වේදනීය කර්මයන්ය.මේවාද යහපත් හෝ අයහපත් විය හැකිය. තමන් කරන ක්‍රියාව අනුව තීරණය වේ. බුදුන් දවස විසූ සුමන මාලාකරුවාට, ඒකසාටක බමුණාට විපාක දුන්නේ එහි කුසල පක්ෂයයි. චිංචිමානවිකාව, ආදීන්ට විපාක දුන්නේ අකුසල විපාකයන්ය. උපපජ්ජ වේදනීය කර්ම යනු දෙවන භවයේදී විපාක දෙන කාර්යයන්ය. කෙසේ හෝ මේ භවයේදී විපාක දීමට සමත් නොවුවහොත් අහෝසි කර්ම බවට පත්වේ. අපරාපරිය වේදනීය කර්ම නමින් ගැනෙන්නේ කවදා හෝ විපාක දෙන්නා වූ කර්මයන්ය. නිවන් දකිනා කල් දක්වාම තමන් පසුපස ගමන් කර විපාක ලබා දෙන අතර අහෝසි වීමක් වන්නේ නැත. සුනීත,සෝපාක ආදීන් රහත් වූයේ මෙහි කුසල පක්ෂයේ මුල් වීමෙනි. මුගලන් තෙරුන්, චක්ඛුපාල තෙරුන් අනිසි විපාක වින්දේ මෙහි අකුසල පක්ෂය විපාක දීමෙනි. අහෝසි කර්ම යනු දිට්ඨධම්ම වේදනීය අවස්ථාවේ දී හෝ උපපජ්ජ වේදනීය අවස්ථාවේ හෝ විපාක නොදුන් හා රහත්වීම දක්වා සසර කවදාවත් විපාක දීමට සමත් නොවූ කර්මයන්ය.

සමහර විටෙක කර්මය ක්ෂය වීමට ද ලක්වන අවස්ථා ඇත. සෝවාන් ඵලයට පත්වීමෙන් පසු කිසිදින දුගතිගාමී වන්නේ නැත. අනාගාමී වීමෙන් කාම සුගතියෙහි ඉපදීම පවා අහෝසි කර දමනු ලැබේ. රහත් වීමෙන් සියලු කර්ම අහෝසි වේ. එහෙත්. අපරාපරිය වේදනීය කර්ම පමණක් විපාක දේ. මේ අනුව ඉහතින් සඳහන් කළ පරිදි බෞද්ධ දර්ශනයෙන් පෙනෙන කර්ම විභාගය අතිශය විචාරශීලිය. කිසිවෙකුට මෙය වෙනස් යැයි සඳහන් කළ හැකි නොවේ.

යාදිසං වපතේ බීජං – තාදිසං හරතේ ඵලං
කල්‍යාණකාරී කල්‍යාණං – පාපකාරී ච පාපකං

යම් සේ අප බීජ වපුරන්නේ ද ඒ අනුව අපට අස්වනු නෙළා ගැනීමට හැකි වන්නේය. කුසල් කරන්නවුන්ට යහපත් වූ ද අකුසල කර්ම කරන්නවුන්ට අයහපත් වු ද විපාක විඳීමට සිදුවේ. මේ කරුණ සිහියේ තබාගෙන දුර්ලභ වූ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා සිටින අපි කුසල පක්ෂය දියුණු කරගෙන ලබාගත් මේ ආත්මයේ දී ජීවිත සාධනයේ යෙදෙමු. තෙරුවන් සරණයි.