|
|
ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ නිකිණි අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ අගෝස්තු 17 වනදා ඉරිදා |
|||||
පුරා 64 වසරක් මුළුල්ලේ පවත්වාගෙන එනු ලබන බෙල්ලන්විල ඇසළ උළෙල රටේ
ආරක්ෂාව පිළිබඳ අවිනිශ්චිත වකවානුවලදී පවා අඛණ්ඩව පවත්වාගෙන එන ලදී.
මෙවර පවත්වනු ලබන්නේ 64 වන පෙරහර පූජෝත්සවයයි. එය කිසිදු අඩුවකින් තොරව
පැවැත්වීම සඳහා මේ වන විට කටයුතු සංවිධානය කොට ඇත. දශක හයක් ඉක්මවූ
අඛණ්ඩව ඉතිහාසයක් ඇති මෙම මහා ඇසළ උත්සවයෙහි අපි දක්නා සුවිශේෂී තාවයක්
ඇත. එනම් පෞරාණික චාරිත්‍ර විධින් නො ඉක්මවා ඒ සඳහා ප්‍රමුඛත්වයක් දී
ක්‍රියා කිරීමයි. ඒ නිසා මෙය සාමාන්‍ය පෙරහර සංදර්ශනයක් නොව පෙරහර
පූජෝත්සවයක් බවට පත්ව ඇති බව කිව යුතුය. ඒ අනුව මෙහි ප්‍රමුඛත්වය
හිමිවන්නේ බුද්ධ වන්දනාව සඳහාය. ප්‍රථමයෙන්ම තෙරුවන් පිළිබඳ කෙරෙන
උපහාරයක් වශයෙනුත් අපවත්වී වදාළ ඇසළ පෙරහර පූජෝත්සවයේ නිර්මාතෘ වන
පූජ්‍යතර බෙල්ලන්විල ශී‍්‍ර සෝමරතන නාහිමිපාණන් වහන්සේට කෘතවේදිභාවය
පළකිරීම සඳහා ගුණානුස්මරණ පින්කමකින් මෙහි කටයුතු ඇරඹීම 1985 වර්ෂයේ
සිට අරඹන්නට යෙදුනි. වර්තමාන බෙල්ලන්විල රාජමහා විහාරාධිපති පූජ්‍ය
ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නා හිමිපාණන් වහන්සේගේත් විහාරාධිකාරි
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති කෝට්ටේ කල්‍යාණී සාමගී‍්‍ර
ධර්ම මහා සංඝසභාවේ අනුනායක අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන
හිමිපාණන් වහන්සේගේත් පුර්ණ අධීක්ෂණය යටතේ වසරින් වසර බෙල්ලන්විල ඇසළ
පෙරහර උළෙල නව මුහුණුවරකින් යුතුව සංවිධානය කෙරේ. ගුණානුස්මරණ පින්කම්
මාලාව අවසානයේදී ආරම්භ කරනු ලබන්නේ සති පිරිත් දේශනයයි. එය සැබවින්ම
ධර්මයේ ආශිර්වාදය හා ආරක්ෂාව රට දැය වෙනුවෙන් ලබාදීමකි. එම සති පිරිත්
දේශනාව පැවැත්වෙන අතර සුබ මොහොතින් කප් සිටුවීම සිදුකරන අතර සතිපිරිත්
දේශනයේ දේවදූත පෙරහර පැවැත්වෙනුයේ ඉන් පසුවය. කුඹල් පෙරහර ගෙවදීම සිදු
වන්නේද මෙදිනමය. ඉන් අනතුරුව විහාර භූමිය තුළ ගමන් ගන්නා මල් පෙරහර දින
හතරක් මුළුල්ලේ පවත්වමින් රත්නත්‍රය සඳහා පූජා පවත්වා දෙවියන්ට පින්
අනුමෝදන් කිරීම සිදු කරනු ලැබේ. මේ අනුව සමස්ත පෙරහරම තෙරුවන් වන්දනාවට
ප්‍රමුඛත්වය දී සැකසී ඇති අයුරු විශිෂ්ටය. ඉන් අනතුරුව පාවාඩ පෙරහරේ
සිට රන්සිවිලි පෙරහර හා රන්දෝලි පෙරහරේද මාලිගාවේ පෙරහර හෙවත්
සර්වඥධාතුන් වහන්සේ අඩංගු සධාතුක කරඬුව පෙරටු කොටගත් ධාතු පෙරහර
ඉදිරියෙන් ගමන් ගනී. දේවාභරණ රැගත් සතර මහා දේවාල වලට අයත් පෙරහර
සතරකින්ද යුතුව පංච මහා පෙරහරකින් බෙල්ලන්විල ඇසළ පෙරහර සමන්විත වේ.
එසේම අවසාන රන්දෝලි මහා පෙරහරින් පසුව දවල් පෙරහර හෙවත් දියකපන පෙරහර
පවත්වා දිය කැපීමේ චාරිත්‍රය සිදු කොට ගරා යක් නැටුමෙන් හා දේව දානයෙන්
පසු ඇසළ පෙරහර පුජෝත්සවය නිමාවට පත් කරනු ලැබේ. මෙසේ සුපුරුදු
පිළිවෙලකට අනුව චාරිත්‍ර මූලික කොටගෙන ක්‍රමික ස්වරූපයකට අනුව
බෙල්ලන්විල ඇසළ උළෙල මෙවරද සංවිධානය කොට තිබේ.මේ අනුව සංවිධිත වූ මෙම
මහා පෙරහර මෙරට පමණක් නොව විදේශයන් හි කීර්තියට පත්ව ඇති අතර ලංකාවේ
සිව් දිගින් පැමිණෙන බැතිමතුන්ගෙන් බෙල්ලන්විල පුද බිම ඇසළ උත්සව
සමයෙහි පිරි ඉතිරි යන අයුරු දක්නට ලැබේ.
අපවත් වී වදාළ ශ්‍රී සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගුණානුස්මරණය සඳහා සිදුකරනු ලබන ප්‍රාප්ති දානමය පින්කම් මෙවර සිදු කරන ලද්දේ මහියංගන රාජමහා විහාර පූජාභූමියේදීය. අගෝස්තු මස 14 දින අරඹන ධර්ම දේශනා මාලාවකින් අනතුරුව අගෝ. 17 දින සති පිරිත් දේශනය ආරම්භ කරන ලද අතර එය අගෝ. 23 දිනෙන් අවසන් වෙයි. අගෝ. මස 23 වන දින දිවා කාලයේදි පැවැත්වෙන කුඹල් පෙරහරින් පසු මෙවර පෙරහර පූජෝත්සවයෙහි මල් පෙරහර අගෝස්තු මස 24,25,26 සහ 27 යන දිනවලදී පැවැත්වෙන අතර 28 වන දින පාවාඩ පෙරහර ද , 29 වන දින රන්සිවිලි පෙරහරද පවත්වනු ලැබේ.අගෝස්තු මස 30 වන දින රන්දෝලි මහා පෙරහර පවත්වා 31 වන දින දහවල් පෙරහරින් පසු දිය කැපීමේ චාරිත්‍රය ද එදිනම පස්වරුවේ පැවැත්වෙන ගරා යක් නැටුමෙන් හා මහා දේවදානයෙන් පසු මෙවරද බෙල්ලන්විල ඇසළ පෙරහර රටට හා දැයට ආශිර්වාද කරමින් නිමාවට පත් කෙරෙනු ඇත.
|
||||||
|
©
2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම |
||||||