Print this Article


මේ සිත මගේ නොවේ

මේ සිත මගේ නොවේ

"සෙය්‍යථායි භික්ඛවේ මක්කටෝ අරඤ්ඤෝ පවනේ චරමානෝ සාඛං ගණ්හාති. තං මුඤ්චිත්වා අඤ්ඤං ගණ්හාති, තංමුඤ්චිත්වා අඤ්ඤං ගණ්හාති, ඒවමේව ඛෝ භික්ඛවේ යදිදං වුච්චති චිත්තං ඉතිපි මනෝ ඉතිලි විඤ්ඤාණං ඉතිපි, තං රත්තියාච දිවසස්සච අඤ්ඤ ද්වේ උප්පජ්ජති, අඤ්ඤං නිරුජ්ඣති

“මහණෙනි , වඳුරෙක් මහ වනයෙහි හැසිරෙන්නේ යම්සේ අත්තක් අල්ලා ගනීද, එය අත්හරිමින් වෙනත් අත්තක් අල්ලා ගනීද , එය මුදාහැර තවත් අත්තක් අල්ලා ගනීද, මහණෙනි, එසේම යමක් සිත යැයි, මනස යැයි විඤ්ඤාණයේ යැයි කියනු ලැබේද එම සිත රාත්‍රියේද දහවල් ද අනෙකක්ම උපදී. අනෙකක්ම නිරුද්ධ වෙයි” සිත සෑම අරමුණක් පාසා වෙනස්වන බවම මින් පැවසෙයි.

අප විසින් ඉහත සඳහන් කරනු ලැබුවේ සංයුත්ත නිකායේ අභිසමය සංයුත්තයේ මහා වර්ගයේ සඳහන් අස්සුතවන්තු සූත්‍රයෙහි ඇතුළත් උතුම් ධර්ම කොට්ඨාශයකුයි. තථාගත බුදුරජාණන් වහන්සේ විසින් අනේපිඬු සිටාණන් විසින් තනවා පූජා කරන ලද සැවැත්නුවර ජේතවනාරාමයේදී මෙම උතුම්සුත්‍ර දේශනාව සිදුකරන ලදහ.අපි පළමු කොට, මෙම සූත්‍රයෙහි ඇතුළත් ධර්ම කොට්ඨාශය සාරාංශ කොට දක්වමු. අනතුරුව යම් විමසීමකින් යුතුව ධර්මයට ගළපා ගෙන සාකච්ඡා කොට බලමු.

“මහණෙනි නූගත් පෘථග්ජන පුද්ගලයා සතර මහා භූතයන්ගෙන් හටගත් මේ සිරුරෙහි කළකිරෙන්නේ වෙයි. නොඇලෙන්නේත් වෙයි. මිදෙනු කැමැත්තේත් වෙයි. ඒ කවර කරුණක් නිසාද? මහණෙනි, සතර මහා භූතයන්ගෙන් හටගත් මේ ශරීරයෙහි වැඩීමත්, පිරිහීමත්, හටගැනීමත් දක්නට ලැබෙයි. එබැවින් නූගත් පෘථග්ජන පුද්ගලයා එම ශරීරයෙහි කළකිරෙන්නේ වෙයි. නොඇලෙන්නේ වෙයි. එයින් මිදෙනු කැමැත්තේ වෙයි”

මෙම ඉහත ධර්ම කොටසින් පැහැදිළි වන්නේ නූගත් වුවද පෘථග්ජන ස්වභාවයේ සිටින්නේ වුවද පරමාර්ථ ධර්මය දකින ආකාරයයි. මීළඟට ඒ භාග්‍යවත් අර්හත් බුදුරජාණන් වහන්සේ මෙසේ අනුශාසනා කරති.

”මහණෙනි, මේ යමක් සිත යැයි ද මනස යැයිද විඤ්ඤාණය යැයි කියනු ලැබේද එහිලා නූගත් පෘථග්ජන පුද්ගලයා කළකිරෙන්නට අසමත්ය.නොඇලීසිටින්නට අසමත් ය. මිදෙන්නට, අසමත්ය. ඒ කවර කරුණක් නිසාද? ‘මහණෙනි, නූගත් පෘථග්ජනයා විසින් බොහෝ කාලයක් මුළුල්ලේ “මෙය මාගේය,මේ මම වෙමි,මේ මාගේ ආත්මය”යි ආත්ම දෘෂ්ඨීයෙන් යුතුව අල්ලාගෙන සිටින ලදී. මමත්වය ඇතිකරගන්නා ලදී. සිතින් දැඩිසේ ගන්නා ලදී. එබැවින් එම කරුණෙහි නූගත් පෘථග්ජන පුද්ගලයා කළකිරෙන්නට අසමත්ය. නොඇලෙන්නට අසමත්ය. මිදෙන්නට අසමත් ය.”

මෙම ධර්ම විස්තරයෙන් හෙළිවන්නේ අභාවිත සිතක් ඇති ධර්මය නොදකින, පුහුණූු නොකරන ලද ඉන්ද්‍රියන් ඇති පෘථග්ජන පුද්ගලයෙකුගේ සාමාන්‍ය ස්වභාවයයි. එනම් මේ සිත, මනස, විඤ්ඤාණය නමින් හඳුන්වන දෙයෙහි කළකිරෙන්නට අසමත් බවයි. එයට හේතුව ලෙස දක්වන්නේ සසරෙහි දීර්ඝ කාලයක් මගේය, මම වෙමි, මේ මාගේ ආත්මය යනුවෙන් සිතින් දැඩිව අල්ලාගෙන සිටීමය. පෘථග්ජන පුද්ගලයෝ මම මගේ යනුවෙන් බඹයක් පමණ වු මේ සිරුර දෙස බලා පැවසුවද හැබෑවටම මම මගේ යනුවෙන් අදහස් වන්නේ සිත මනස විඤ්ඤාණයයි. එකම රූපයකට එක් අයෙක් කැමැතිවෙයි. ඇළුම් කරයි. තවත් අයෙක් අකැමැති වෙයි. පිළිකුල් කරයි. එය එසේ වන්නේ කැමැතිය සහ අකැමැතියි. යනුවෙන් පවසන පුද්ගලයන් දෙදෙනාගේ ඇස්වල හෝ මුහුණෙහි හෝ වචනවල ඇති ගැටලුවක් නිසා නොවේ. එනමුත් ඒ පුද්ගලයන් දෙදෙනා සිතන ආකාරය අනුවය. එසේ නම් එසේ සිතන්නේ කවුද? එසේ සිතන්නේ හෝ සිතිවිලි පහළ කරන්නේ ඔබ අප විසින් මම, යි හඳුන්වන සිත හෝ මනසම හෝ විඤ්ඤාණයයි .

තවත් අවස්ථාවක, එකම පුද්ගලයා විසින් එකම දෙයකට හෝ රූපයකට කැමැති වෙයි. ඇළුම් කරයි. ස්වල්ප වේලාවකින් හෝ පසු අවස්ථාවක එයට අකැමැති වෙයි. පිළිකුල් කරයි. එයට හේතුව කුමක්ද? එම පුද්ගලයාගේ සිත මොහොතින් මොහොත වෙනස්වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. මෙම සිතේ වෙනස්වීම හෝ ඒ ඒ අරමුණු ඔස්සේ සිත වෙනස්කර ගැනීමම දුකට හේතුවකි. සෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ට මූලය සිත සහ සිතිවිලි වෙනස්වීම හෝ වෙනස් කිරීම යනු තාෂ්ණාවෙන් යුතු ආත්ම දෘෂ්ටිය මුල්කරගෙන අරමුණූ සොයාගෙන යාමය. ඒ ඒ අරමුණුවල ඇලීමය. බැඳීමය. ඇළුණු බැඳුනු අරමුණ වෙනස් වන විට සෝකයට පත්වෙයි. වරෙක එම වෙනස්වීම පිළිගන්නට අකැමැතිවෙයි. තවත් අරමුණක ඇලෙයි, බැඳෙයි. එයද අනිත්‍ය ස්වභාවයට පත්වන විට සෝකයට පත්වෙයි. අකැමැති අරමුණේ දී අමනාපයට පත්වෙයි. මේ ලෙස ෂඩ් ඉන්ද්‍රියයන් ඔස්සේ කැමැති අකැමැති ලෙස අරමුණු ගනිමින් හඳුනා ගැනීමක් කරයි. තර්ක කරයි. ඒ මගේ කියමින් පිළිගැනීමට හෝ අකැමැති යයි පවසමින් පිළිකුල් කිරීමටය. කෙසේ වුවද අභාවිත සිත විසින් අවසානයේ තණ්හා , මද, මාන, දෘෂ්ටීන්ගෙන් යුතුව අවසන් කරගනු ලැබේ. තෟෂ්ණාව යනු දුක් විඳින සසරට බැඳීමයි.

තථාගත බුදුරජාණන් වහන්සේ නැවතත් මෙසේ පැහැදිලි කරන සේක. “මහණෙනි, අශ්‍රැවත් පෘථග්ජන පුද්ගලයා විසින් සතර මහා භූතයන්ගෙන් සැදුනු මේ ශරීරය මගේ ආත්මය යැයි සිතුවද සිත එලෙස ගැනීම නොමැනවි. ඒ කුමක් නිසාද?” මහණෙනි, මේ සතර මහා භූතයන්ගෙන් හටගත් ශරීරය එක් අවුරුද්දක් , අවුරුදු දෙකක්, අවුරුදු තුනක්, අවුරුදු හතරක්, අවුරුදු පහක්, දස අවුරුද්දක්, විසි අවුරුද්දක්, තිස් අවුරුද්දක්, සතලිස් අවුරුද්දක්, පනස් අවුරුද්දක්, සිය අවුරුද්දක් හෝ එයටත් වඩා සිටියේද දක්නට ලැබෙයි. එනමුත් මේ සිත, මනස, විඤ්ඤාණය කියනු ලැබේද, ඒ සිත රෑ දවල් දෙකේම අනෙකක්ම උපදී. අනෙකක්ම නිරුද්ධ වෙයි”

මින් අදහස් කරන්නේ කුමක්ද?” අඩුම තරමේ අවුරුද්දක් දෙකක් හෝ සියයක් හෝ සතර මහා භූතයන්ගෙන් සෑදුනු ශරීරය දැකිය හැකිය. අශ්‍රැතවත් පෘථග්ජන අයෙක් විසින් ශරීරයක් වයස සමග වැඩුනද එකම පුද්ගලයෙක් ලෙස ව්‍යවහාරයෙහි පවසයි. එනම් සම්මුතියෙහි හඳුන්වයි. මම,මගේ,අපේ යැයි කතා කරයි නම් කරයි. එනමුත් සිත එසේ නොවේ. මේ සිත නිරන්තරයෙන් උපදී. එමෙන්ම නැතිව යයි. එනම් නිරද්ධ වෙයි. ඇතිවී නැතිව යන සිත අනුව ඊළඟ සිත පහළ වෙයි. ඒ සිත නිරුද්ධව යන විට තවත් සිතක් පහළවෙයි. රූප ,ශබ්ද, ගන්ධ රස, ස්පර්ශ, ධර්ම නම් වු අරමුණු ඔස්සේ චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය , සහ මනෝ විඤ්ඤාණය යනුවෙන් සිත් හට ගෙන නිරුද්ධ වීම විස්තර කළ හැකිය. මේ සිත් මාරුවෙන් මාරුවට හෝ අරමුණු ගන්නා ආකාරය අනුව රෑ දාවල්හිම නිරන්තරව සිදුවෙයි. චිත්ත සන්තතිය, සිතිවිලි පරම්පරා, හො චිත්ත වීථී ලෙස හඳුන්වනු ලබන්නේ මෙම අවස්ථාවන්ය.

බුදුරජාණන් වහන්සේ මෙසේ විස්තර කොට දේශනා කරති. “මහණෙනි, මෙහිදි ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා පටිච්ච සමුප්පාදය, මනාකොට නුවණින් යුතුව මෙනෙහි කෙරේද ඒ මෙසේයි. මේ හේතුව ඇති කල්හි මේ ඵලය වෙයි. මෙය ඇතිවීමෙන් මෙය උපදී. මෙය නැතිකල්හි මෙය නොවෙයි.මේ හේතුව නිරුද්ධ වීමෙන් මේ ඵලය නිරුද්ධ වෙයි.