UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුක්ඛ ආර්ය සත්‍යය


සත්වයාගේ හටගැනීම ලෙස සළකන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ස්ඵර්ශ ආයතනයන්ගේ පහළවීම ය. ජීවත්වීම යනු මේ ස්ඵර්ශ ආයතනයන්ගේ පැවැත්මය. මරණය යනු මෙම ස්පර්ශ ආයතනයන්ගේ නැතිවීමය. ඒ අනුව ස්පර්ශ ආයතනයන්ගේ ඇතිවීම, පැවතීම, නැතිවීම තුළ රඳාපවතින සත්ත්වයාට දුක් නොවේ’යැයි පැවසිය නොහැක. මක්නිසා ද ස්ඵර්ශ ආයතනයන් තුළ දුක රඳා පවතින නිසාය

ලොව පහළ වූ ශාස්තෘන් අතුරෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ වනුයේ අකාලික දහමක් දේශනා කළ නිසාය. චතුරාර්ය සත්‍ය, ත්‍රිලක්ෂණය, පටිච්චසමුප්පාදය, කර්මය, පුනර්භවය වැනි ගැඹුරු ධර්ම සිද්ධාන්තයන් තුළින් උන්වහන්සේ පැහැදිලි කරන ලද්දේ පුද්ගලයා සසරෙහි ඇදබැඳ ගන්නා ආකාරයත් ඉන් මිදී නිර්වාණාවබෝධය ලබාගන්නා ආකාරයත්ය. මෙයින් බුදු දහමේ සාරය ලෙස සැළකෙන චතුරාර්ය සත්‍යය උන්වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවේ දී ම එනම් දම්සක් පැවතුම් සූත්‍රය තුළින් පළමුව ලොවට දේශනා කරන ලදහ. චතු+ආර්ය+සච්ච යනු උතුම් සත්‍යය හතර යන්නයි.

එනම් දුක්ඛාර්ය සත්‍යයය, දුක්ඛ සමුදයාර්යය සත්‍යය, දුක්ඛ නිරෝධාර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යය, මෙම ලිපියෙන් අදහස් කරනුයේ දුක්ඛ සත්‍ය පිළිබඳව පෙළ දහම ඇසුරෙන් සරල විග්‍රහයක් ඉදිරිපත් කිරීමයි. දුකෙහි විරුද්ධාර්ථ පදය සැපය යන්නයි. සැප විඳීමට පුුහුදුන් මිනිසුන් තුළ ඇත්තේ අපරිමිත ආශාවකි. ලොව ජීවත්වන සෑම පුද්ගලයෙකුම සැප විඳීම සඳහා දුක් සහගත දේවල් ළඟා කරගනී. මක්නිසාද ? දුක පිරිසිඳ දකින නුවණක් පුහුදුන් සත්වයාට නොමැති නිසාවෙන්ය. බුදුන් වහන්සේලා ලොව පහළ වන්නේ මේ දුක් සහගත ස්වභාවයෙන් සත්වයා මුදවාලන්නට ය. බුදුරජාණන් වහන්සේලාගේ ලොව පහළ වීම දුර්ලභ ලෙස දේශනා කොට වදාරන ලද්දේ එනිසාවෙනි. (දුල්ලභො බුද්ධුත්පාදෝ ලෝකස්මිං)

සත්වයාගේ හටගැනීම ලෙස සළකන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ස්ඵර්ශ ආයතනයන්ගේ පහළවීම ය. ජීවත්වීම යනු මේ ස්ඵර්ශ ආයතනයන්ගේ පැවැත්මය. මරණය යනු මෙම ස්පර්ශ ආයතනයන්ගේ නැතිවීමය. ඒ අනුව ස්පර්ශ ආයතනයන්ගේ ඇතිවීම, පැවතීම, නැතිවීම තුළ රඳාපවතින සත්ත්වයාට දුක් නොවේ’යැයි පැවසිය නොහැක. මක්නිසා ද ස්ඵර්ශ ආයතනයන් තුළ දුක රඳා පවතින නිසාය. බුදුන් වහන්සේ වරෙක භික්ෂූන්ට දේශනා කරන්නේ “මහණෙනි, මේ ස්පර්ශ ආයතන හම නැති එළදෙනක් දේ සළකන ලෙසය.” හම නැති එළදෙන කිනම් හෝ ඉරියව්වකින් සිටියත් ඌට මහ වේදනාවක් ඇති වේ. එසේම මේ ස්පර්ශ ආයතනයන්ගේ පැවැත්මම දුකක් ලෙස උන්වහන්සේ දේශනා කොට ඇත. එයට හේතු සමුදායක් ද පවතින්නේ ය. යම් කුෂ්ඨ රෝගියෙක් කැසීම තුළත් සැපයක් බලාපොරොත්තු වේ නම් ඔහුට එයම මහ දුකක් වේ. එයින් වන්නේ රෝගය තවතවත් උත්සන්න වීම පමණි. ඒ නිසාවෙන්ම අප සැප යැයි කියන සෑම දෙයක්ම දුක් සහගත ස්වභාවයෙන් යුක්ත යැයි උන්වහන්සේගේ දේශනාවන්හි දක්නට ලැබේ.

බුදුන්වහන්සේ අවබෝධ කරගත්තේ ලෙඩවෙන, මහලුවෙන, මැරෙන, නින්දා අපහාස ලැබෙන මැසි මදුරු, අව්වැසි ආදීන්ගෙන් දුක් විඳින කයක් හදාගෙන එබඳු කයට ලැබෙන මේ සැපය සැපයක් නොවන ලෙසය. වරෙක බුදුන් වහන්සේ අනඳ හිමියන්ට පවසන්නේ “දුක්ඛෙ ලෝකෝ පතිට්ඨිතො” ලෝකය දුකමත රඳා පවතින බවයි. ඒ බව උන්වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රයේ දී ගැඹුරුව දේශනා කොට ඇත. එම විග්‍රහයට අනුව “ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං, ජාතිපි දුක්ඛා, “මහණෙනි, ඉපදීම, ජරාවට පත්වීම, ලෙඩවීම, මරණයට පත්වීම, අප්‍රිය පුද්ගලයන්ගේ එක්වීම, පි‍්‍රය පුද්ගලයන්ගේ වෙන්වීම, තමන් කැමති කැමති දෑ නොලැබීම හා සහමුලින්ම පඤ්චස්ඛන්ධයම දුකක් ලෙසය. මේ වනාහි දුක්ඛ ආර්ය සත්‍යයයි.” මෙහි අර්ථ විග්‍රහ කිරීමේ දී කොටස් තුනක් යටතේ කරුණු අවබෝධ කරගත හැකිය. දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ, සංඛාර දුක්ඛ,දුක්ඛ දුක්ඛ යනු මෙලොව දී ඇතිවන කායික හා මානසික වේදනාවන්ය. විපරිණාම දුක්ඛ ලෙස අර්ථ දක්වන්නේ සංස්කාරයන්ගෙන් හටගත් සියලු සජීවී හා අජීවී වස්තුන්ගේ වෙනස්වීම නිසා ඇතිවන දුක් සහගත ස්වභාවයයි. සංඛාර දුක යනු එක් රැස් කරලීම තුළින් ලබනා දුකකි.

බුදුන් වහන්සේ සරලව දුක විග්‍රහ කොට උන්වහන්සේ පඤ්චස්කන්ධයම මහා දුකක් ලෙස අවසානයට පෙන්වා දෙයි. මෙහි දී දත යුත්තේ පඤ්චස්කන්ධ කෙසේ නම් සත්වයාට දුකක් වන්නේ ද යන්නය. සතර මහා භූතයන්ගේ එකතුව වූ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්ඛන්ධ පහ සත්ව යන සම්මුතිය ලෙස බුදුන් වහන්සේ පෙන්වා දෙයි. ඇස, කන, නාසයය, දිව, ශරීරය යන පඤ්ච ඉන්ද්‍රියන් තුළින් ලබා ගන්නා අරමුණු හේතුවෙන් ඉහත දක්වන ලද ස්කන්ධයන් ආස්‍රවයන් දක්වා වර්ධනය වීම සිදුවන අතර “චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තාග්ගාහී හෝතී” ආදී ලෙසින් ඉන්ද්‍රිය සංවරය ඇතිකොට ගත යුත්තේ යැයි දක්වා ඇත. පුහුදුන් සත්වයා තුළ ඇත්තේ මේ සියලු දේ මමය, මගේය ආදී ලෙසින් ආත්මීය වශයෙන් අල්ලා ගැනීමය. එය දහමේ විස්තර වන්නේ උපාදානය ලෙසය. උන් වහන්සේ සංයුත්ත නිකායේ ‍ෙඒණපිණ්ඩූපම සූත්‍රයේ දී

“‍ෙඒණපිණ්ඩූපමා රූපා - වේදනා බුබ්බුලූපමා
මරිචි තුපමා සංඥා - සංඛා කදලූපමා
මායුපමඤ් ව විඤ්ඤාණං - දීපිතාදිච්ච බන්ධුතා”

යනුවෙන් දේශනා කරන්නේ රූපය පෙණ පිඬක් ලෙස ගත යුතු අතර වේදනාව දිය බුබුලක් හා සමානව ද සංඥාව මිරිඟුවක් මෙන් ද සංස්කාරයෝ කෙසෙල් කඳක් වැනි යැයි ද විඤ්ඤාණය මායාවක් ලෙස ද ප්‍රත්‍යක්ෂ කටයුතු බවයි.

මෙහි දී පුහුදුන් මනසට ප්‍රත්‍යක්ෂ නොවුව ද ධර්මය කෙරෙහි අවබෝධයෙන්ම මේ උපමාවන් දතයුතු බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. සැකෙවින් කියතොත් මෙයින් කියැවෙන්නේ අවබෝධාත්මකව පඤ්චස්කන්ධයදෙස බැලිය යුතු බවයි. එනම් “යදනිච්චං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා යදනත්තා තං නේතං මම” “ලෙසින් ත්‍රිලක්ෂණයට අනුව යමක් අනිත්‍ය වේද එය දුක් පිණිස පවතින්නේ ය. යමක් දුක් පිණිස පවතින්නේ ද එය අනාත්ම ස්වභාවයෙන් යුක්ත වේ. එසේ නම් මම ය මාගේය කියා ගතයුතු කිසිවක් නැත්තේය.” ආදී වශයෙන් අවබෝධ කර ගැනීමයි.

පුහුදුන් මිනිසුන් දුක නැති කිරීමට උත්සාහ කරන්නේ දුක් සහගත දේවල් තුළම ගැලී සිටීමෙනි. උපන් සැම කෙනෙක්ම වෙහෙස වන්නේ සැප විඳීමටය. නමුත් මෙම සැපයම දුකක් ලෙස පිරිසිඳ දැනීමට නුවණක් පුහුදුන් මනසට නොවේ. සත්වයා ගෙවල් දොරවල්, යාන වාහන ලබාගෙන බලාපොරොත්තු වන්නේ දුක නැති කිරීමට ය. නමුත් මේ හරහා සිදුවන්නේ නැවත නැවත දුකටම පත්වීමකි. බුදුන් වහන්සේ දුක නැතිකිරීම ගැන දේශනා කොට නැත. උන්වහන්සේ දුක ඇති වීමේ හේතුව සිඳලීමට ලෝකයාට උපදෙස් දුන්හ. හේතුඵල දහමමත රඳා පවතින බුදු දහම අනුව දුක ඇතිවීමට හේතුව වනුයේ ක්ලේශන්ය. මෙහි දී දුක අවබෝධ කටයුතු අතර කෙලෙස් ප්‍රහාණයට බුදුන් වහන්සේ උපදෙස් දුන්හ. වරෙක උන්වහන්සේ “දුක්ඛ සත්‍යය” තමන් තුළින්ම දතයුතු බව පෙන්වා දෙන්නේ ද එ නිසාවෙනි.

නිවැරැදි බෞද්ධයන් දුක නැති කිරීම සඳහා ගෙවල් දොරවල් ඉදි කළේ නැත. රැකී රක්ෂා කළේ ද නැත. ඔවුන් ජීවිතය ජීවත් කිරීම සඳහා යුතුකම් ඉටු කිරීම සඳහා ගෙවල් දොරවල් රැකී රක්ෂා කළහ. සසර දුක ඇති කරන නිවන් මඟ අහුරන මේ දුක් සහගත ලෝකය පිළිබඳව බුදුන් වහන්සේගේ ප්‍රත්‍යක්ෂ ඤාණයන් දේශනා කොට වදාළ දුක්ඛාර්ය සත්‍යය සැබවින්ම සාක්ෂාත් කොට දත යුතුය.

 

ඇසළ පසළොස්වක පෝය

ඇසළ පසළොස්වක පෝය ජුලි මස 11 වැනිදා සිකුරාදා අපරභාග 08.31 ට ලබයි. 12 යවැනිදා සෙනසුරාදා අපරභාග 04.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුලි මස 12 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජුලි මස 19 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]