Print this Article


ධම්ම චක්කප්පවත්තන සූත්‍රය තුන් ලොවක් සැනසූ ප්‍රඥාලෝකය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අයං බො සා භික්ඛවෙ මජ්ක්‍ධිම පටිපදා තථාගතෙන
අභිසම්බුද්ධා චක්ඛුකරණී, ඤාණකරණී,
උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය, නිබ්බාණාය සංවත්තති.

පින්වත්නි.......

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙයට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර මනුලොව පහළවූ දීපංකරනම් බුදුරජාණන්වහන්සේගේ හමුවේදී ලබාගත් නියත විවරණයෙන් ඒකාන්තයෙන් “මමද මතු කලෙක ලොව්තුරා බුදුබව ලබා අනන්ත සත්වයන් සසර දුකින් මුදවන්නෙමියි තිර සර අදිටනින් සූවිසි විවරණ ලබා දානාදී සමතිස් පෙරුම්දම් පුරා දඹදිව ගයා ප්‍රදේශයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස වැඩසිට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට ලොව්තුරා බුද්ධත්වයට පත්වී වදාළ සේක.

මෙසේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුදු බව ලබා අනුක‍්‍රමයෙන් සත්සතිය මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් බරණැස ඉසිපතනාරාමයේදී පස්වග මහණුන් වහන්සේලාට ඇසළ පුරපසළොස්වක් පෝදින

“ද්වීමෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන නසෙව්තබ්බා” ආදීනයින් දම්සක් පැවතුම් සූත්‍රයෙන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ සේක. මෙම සූත්‍ර දේශනාවෙන් ප්‍රධාන කාරණා කීපයක් දැක්වේ.

1. සේවනය නොකළ යුතු අන්ත දෙක

2. මධ්‍යම ප්‍රතිපදාව

3. චතුරාර්ය සත්‍ය ධර්ම ද්වාදසාකාරයකින් අවබෝධ කිරීම

4. අඤ්ඤා කොණ්ඩඤ්ඤ හිමියන් සෝවාන් වීම

5. අකනිටා බඹලොව දක්වා ධර්මාලෝකය විහිදීම

බුද්ධ කාලීන ජන සමාජය තුළ විමුක්තිය පිළිබඳ අදහසක් පැවති නමුත් විමුක්ති මාර්ගය පිළිබඳ සත්‍ය අවබෝධයක් නොවීය. එහෙත් සත්වයාගේ ජාති ජරා මරණ, දී දුක් වේදනා තුරන් කිරීම හා විමුක්ති සුවය ලබාගැනීමේ උපායමාර්ග පිළිබඳව විශ්වය දක්වා සිතීමේ හා ක්‍රියා කිරීමේ ඤාණ ශක්තියක් පැවතින.

ජාති ජරා මරණාදී අනන්ත දුක් වේදනාවන්ගේ මිදීම සඳහා උපරිම වශයෙන් ශරීරයට දුක් වේදනා දීම සංඛ්‍යාත අත්තකිලමථානුයෝගය හා ශරීරයට අධික සැප වේදනා දීම නම් වූ කාමසුඛල්ලිකානු යෝගය යන අන්ත දෙකේම සාවද්‍ය බව, හීන බව, අනර්ථකාරී බව අප බෝසතාණන් වහන්සේ ගිහි ජීවිතයේදී හා තවුස්දම් පුරන සමයේදී හොඳින් අවබෝධ කරගෙන මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමේ කුඩා කල පුරුදු කල ආනාපාන සති භාවනාව පාදක කරගෙන උතුම් ලොව්තුරා බුදු බවට පත් වූ අයුරු බෝධිරාජ සූත්‍රය, මහාසීහනාද සූත්‍රය, අරියපරියේසන සූත්‍රය ආදී සූත්‍ර දේශනාවල සඳහන් වන්නේය.

දුක, සැප යනු සත්වයා විසින් සම්මතයෙන් පිළිගත් සංකල්ප දෙකක් පමණි. තීපරිනාම ධර්මයන් අතර ප්‍රධානව පවත්නා දැනෙන මෙම චෛතසික දෙක නිසාම මිනිසාට විවිධ ගුණාංග ඇතිවන අතර දුක් වේදනාව නැතිකොට සැපවේදනාව පමණක් සොයා යෑමේ ප්‍රවණතාවයක් පවතී. අප බුදුරජාණන් වහන්සේ පමණක් සදාකාලික සුවයක් ලැබීමේ මාර්ගයක් සොයාගත් සේක. එය නම් මධ්‍යම ප්‍රතිපදාවයි.මෙම මධ්‍යම ප්‍රතිපදාව වූ කලී ‘චක්ඛුකරණී, ප්‍රඥා ඇස විශුද්ධ කරන්නීය. ඤාණකරණී, නුවණ ඇති කරන්නීය. උපසමාය රාගාදී කෙලෙස් ශමණය කරන්නීය, අභිඤ්ඤාය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නීය. සම්බෝධාය, සම්‍යක් සම්බෝධිය ලබාදෙන්නීය. නිබ්බාණය උපධිශේෂ නිර්වාණය ලබාදෙන්නීය. මෙම මධ්‍ය ප්‍රතිපදාව සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවන්ට සංයුක්ත වන අතර සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග අටෙන් පරිමිත නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය යැයි අන්වර්ථ වන්නේය.

අප බුදුරජාණන් වහන්සේ අති දීර්ඝ කාලයක් පුරාවට සමාජය සමඟ පරිසරය සමඟ ගැටෙමින් අවබෝධ කරගත් මෙම මධ්‍යම ප්‍රතිපදාව ලෞකික ජීවිතය යහමග යොදාගැනීමට ද සංසාරික ජීවිතය සැපවත් කර ගැනීමටද සසරින් එතරව නිවන් සුව ලැබීමට ද හේතු වාසනා වන්නේය.

ආත්මවාදය නිසා කාමසුඛල්ලිකානු යෝග අන්තයට වැටෙන අතර මිථ්‍යා දෘෂ්ටිය නිසා අත්තකිලමථානුයෝග අන්තයට වැටෙන අතර මධ්‍යම ප්‍රතිපදාවෙන් එවන් කෲර ප්‍රතිපත්තීන්ගෙන් බැහැරව සිත කය සරලවන්නේ ය.

ලෝකය තුළ ක්‍රියාත්මක වන සම්මුති සත්‍ය පෘථග්ජනයාගේ ආකල්ප හා විකල්ප අනුව වෙනස් වන්නේය. එහෙත් ලෝකයේ පැවැත්ම අනුව තාවකාලික සත්‍යයක් ලෙස නීතියට, න්‍යායට, සිද්ධාන්තයට එකඟවන අතර විපරිනාම ධර්ම සමඟ කලින් කලට පැවතී නැතිවී යන්නේය.අප බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මය විශ්වයේ සැමතැනම සෑම සත්වයාටම පොදු ධර්මතා බැවින් එය පරමාර්ථ සත්‍යනම් වන්නේ ය. භාරතීය වෛදික මුනිවරුන් මෙම පරමාර්ථ සත්‍ය පිළිබඳ ගවේෂණයක යෙදුනද දුක්ඛ නිරෝධ සත්‍ය පිළිබඳ තියුණු බුද්ධියක් නොවීය. මධ්‍යම ප්‍රතිපදාවෙන් අවබෝධ කරගත් මෙම පරමාර්ථ සත්‍ය හෙවත් චතුරාර්ය සත්‍ය ධර්මය අප බුදුරදුන්ට ප්‍රථමයෙන් අවබෝධ කරගත් කෙනෙක් නොවීය.

පුබ්බෙ අනනුස්සුකේසුධම්මෙසු” යනුවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය දක්වන දම්සක් පැවතුම් සූත්‍රයේ දොළොස් තැනක දේශනා කොට ඇත.

1. දුක්ඛ සත්‍ය - සත්‍යඤාණ, කෘත්‍යඤාණ, කෘතඤාණ
2. සමුදය සත්‍ය - සත්‍යඤාණ, කෘත්‍යඤාණ, කෘතඤාණ
3. නිරෝධ සත්‍ය - සත්‍යඤාණ, කෘත්‍යඤාණ, කෘතඤාණ
4. මාර්ග සත්‍ය - සත්‍යඤාණ, කෘත්‍යඤාණ, කෘතඤාණ

මෙම චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ ත්‍රිපරිවෘත්තයක් හෙවත් ත්‍රිවිධාකාර ඤාණයක් අප බුදුරජාණන් වහන්සේට ලැබීමේ මහා භාග්‍ය උදාවූයේ පෙර සසරදී පුරන ලද දසපෙරුම් දම්බලයෙනි. දුක්ඛාර්ය සත්‍ය පිරිසිඳ දැනීමද සමුදයාර්ය සත්‍ය ප්‍රහීණ කිරීමද, නිරෝධාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ කිරීමද මාර්ග සත්‍ය භාවිතයද වශයෙන් ආර්යඤාණය පහළවිය.

අප බුදුරජාණන් වහන්සේ මෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරනවිට පස්වග මහණුන් වහන්සේලාගෙන් වැඩිමහලු කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ කෙළ දහසක් කෙලෙසුන් නසා දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝවාන් ඵලයට පැමිණීමෙන් සම්බුද්ධ ශාසනයේ ප්‍රථම ආර්ය ශ්‍රාවකයන් වහන්සේ බවට පත්වූ සේක.

“ඉමස්මිංච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤාමානෙ ආයස්මතො
කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි
යංකිංචි සමුදය ධම්මං සබ්බං තං නිරොධ ධම්මන්ති

මෙම සූත්‍ර ධර්මය වදාළ කල්හි ආයුස්මත් කොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේට රාගාදී රජස් නැති කෙලෙස් මල රහිතවූ දහම් ඇස පහළ විය.

යංකිංචි සමූදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මන්ති. යම් හේතුවක් නිසා ඇතිවන යම් ධර්මයක් වේ නම් ඒ සියල්ල විනාශ වන්නේය. මෙම න්‍යාය ප්‍රත්‍යක්ෂයෙන් දන්නේ සෝවාන් ආදී මාර්ගඤාණය ලැබු උත්තමයන් පමණි. මෙම විශ්ව සත්‍ය ධර්මය කාම, රූප, අරූප ආදී සෑම භවයකම සිදුවන අතර එයින් තෙරපෙන සත්ත්වයන්ට දුක් බව දැනි දැනීවුවද එයම සැපයක් යයි පරිකල්පනය කරන තාක් යළි යළි දුක් වේදනාවම ඇතිවන්නේය.

ජාති, ජරා, ව්‍යාධි, මරණාදී එක් ජීවිතයකදීම ඇතිවන දුක් වේදනා අනන්තවන අතර සත්වයකු භවයේ කෙළලක්ෂ ගණන් ආත්මවලදී විඳින දුක් වේදනා කෙසේ නම් ප්‍රමාණ කරන්නද? දුක ඇතිවීමේ හේතුව තණ්හාව වුවද පුහුදුන් සත්වයා පිහිට පතන්නේද තණ්හාව මූලික කරගත් ජීවිතමයි. එහෙත් මධ්‍යම ප්‍රතිපදාවට පිළිපන් තැනැත්තා ක්‍රමක්‍රමයෙන් තණ්හාව තුනීකරගැනීමට සිල විසුද්ධි, චිත්ත විසුද්ධි ආදී සප්ත විශුද්ධි මාර්ගය ඇති කරගන්නේය.

අප බුදුරජාණන් වහන්සේ මෙම උතුම් ධර්ම දේශනාව පවත්වනවිට භූමාටු දෙවියෝ සොම්නසින් සාධුකාර දුන්හ. පිළිවෙලින් අකනිටා බඹලොව දක්වා දෙවියෝ හා බ්‍රහ්මයෝ සාධුකාර දුන්හ. මෙසේ එම ඇසළ පුරපසළොස්වක් පෝදින දසම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අසා දැන අසංඛ්‍යයක් දෙවියෝ සෝවාන් ඵලයට පත්වූහ. අසංඛ්‍යයක් සකෘදාගාමී ඵලයට ද, අසංඛ්‍යයක් අනාගාමී ඵලයටද පත්වූහ. අටළොස් කෙළක් බ්‍රහ්මයෝ මාර්ගාවබෝධය ලබා නිවණින් සැනසුනහ.

බුද්ධරත්නය, ධම්මරත්නය, සංඝරත්නය සම්පූර්ණවූ ඇසළ පුර පසළොස්වක් පෝදිනය විශ්වයේ සමස්ත සත්ව ප්‍රජාවටම එකසේ භාග්‍යවන්ත දිනයක් වන්නේය. අවිද්‍යාන්ධකාරයෙන් මග නොමග නොදැන සසර මංමුලාවූ අපමණ සත්වයන්ට ප්‍රඥාලෝකය දල්වා නියම මග පෙන්වූ උතුම් දිනයයි. අසත්‍ය ලෝකයේ සත්‍ය ධර්මය ස්ථාපිත කළ දිනයයි.

මෙතෙක් මානව පරපුර චින්තන වශයෙන් පැමිණි ගමන් මග වෙනස් කොට ආධ්‍යාත්මික විද්‍යාවේ උපරිම තලයට පා තබන්නට එමෙන්ම විශ්ව චින්තනයක් ඉක්මවා සියලු බන්ධනයන්ගෙන් මිදී සදාකාලික සැපතවූ නිර්වාණාවබෝධයට මාර්ගය සැලසුනේය.

බරණැස ඉසිපතනාරාමයෙන් විහිදුනු ප්‍රඥාලෝකය නගරයෙන් නගරයට, ගම් නියම්ගම් රාජධානි වශයෙන් කෝටි සංඛ්‍යාත ජනතාවගේ ප්‍රසන්න හදවත් තුළින් මනුලොව පමණක් නොව දෙව්ලොව, බඹලොව දක්වා විහිදෙන්නට මෙම චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇති අළුත් බව හා අසිරිමත් බව හේතුභූත විය. ආත්ම වාදය වැනි අදහස්වලින් හෝ තර්කවාදයෙන් හෝ දිව්‍යාත්ම බලයකින් මතුවට අවිනිශ්චිත අපේක්ෂාවන්ගෙන් හෝ බුදු දහම අවබෝධ කළ නොහැක්කේමය.බාහිර බලවේගයන්ට යටත් නොවී නිදහස්ව, නිරවුල්ව ස්වයං චින්තනයෙන් මෙම උතුම් ධර්මය දැනගෙන එයින් පරම සුන්දරවූ නිවන් සුව ලබාගත යුතුවන්නේය.ඔබ සැමට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

සැමට තෙරුවණ් සරණයි.