Print this Article


ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ උපසම්පදා මහෝත්සවය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ උපසම්පදා මහෝත්සවය

රද්දොළුව ශ්‍රී සුබෝධාරාමාසන්න අත්තනගලු නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී


සම්බුදු සසුනෙහි අතිඋතුම් පුණ්‍ය කර්මයක්

නෛ්‍ය¡ාණික වූ සර්වඥ ශාසනයට ඇතුළත්ව බුද්ධ ශ්‍රාවකයකු බවට පත්වන සැදැහැවත් කුලපුත්‍රයකුට ලෞකික වශයෙන් ලැබිය හැකි උතුම්ම සම්පත අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයයි. එම ශීලය සමාදන්වන පුද්ගලයා අනතුරුව සම්බුදු සසුනේ බර දරන භික්‍ෂුවක් බවට පත් වේ. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කිරීමේ දී බොහෝ විට ‘භික්‍ඛවේ – මහණෙනි” කියා දේශනාව ආරම්භ කරන්නේ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක උපාසිකා යන සිව් පිරිස අතරින් භික්‍ෂූන් වහන්සේම ප්‍රධාන වන බැවිනි. තවද ඒ තුළින් භික්‍ෂූන් වහන්සේගේ උත්තරීතරත්වයද පිළිබිඹු වේ.

වර්ෂ 2558 ක් බුද්ධශාසනය ආරක්‍ෂා කර ගත්තේ භික්‍ෂූන් වහන්සේ විසිනි. වත්මන් සමාජය වන විට භික්‍ෂූන් වහන්සේලාගේ හිඟයක් උත්ගතව පවතී. ඉන්ද උපසපන් භික්‍ෂූන් වහන්සේගේ ශීඝ්‍ර හිඟයක් මතුව ඇත. අතීතයේ මෙන්ම අනාගතයේ ද ශාසනික වගකීම පැවරී ඇත්තේ භික්‍ෂූන් වහන්සේටමය. සාමණේර භික්‍ෂූන් වහන්සේලා අතරින් සුදුසුකම් ලත් පිරිස අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවීම තත් සමාජයට මහත් ආලෝකයකි. මේ බව මැනවින් අවබෝධකරගත් ලාංකික බෞද්ධ ජනතාව උපසම්පදා විනය කර්මය පිළිබඳ බලවත් උනන්දුවක්, ප්‍රසාදයක් දක්වයි. එයට තවත් හේතුවක් නම් උපසම්පදා විනය කර්මය යනු බුද්ධශාසනයෙහි ඇති අති උතුම් පුණ්‍ය කර්මයක් වීමත්, එයට සහාය දැක්වීමෙන් සසර දුක් නිමකර උතුම් නිවන්සුව ලබා ගැනීමට හැකිවීමත් පිළිබඳව බෞද්ධයන් තුළ පවත්නා දැඩි විශ්වාසය හා පිළිගැනීමත් ය.

අපේ අමරපුර පාර්ශ්වය ආරම්භ වී වර්ෂ 204ක් පමණ සම්පූර්ණ වී ඇත. මෙම වර්ෂයෙහි ද උපසම්පදා විනය කර්මය රද්දොළුවේ ශ්‍රී සුබෝධාරාමය කේන්ද්‍ර කරගෙන පැවැත්විය යුතුයයි තීරණය කළේ රද්දොළුව ශ්‍රී සුබෝධාරාමය හා රද්දොළුව අභිනවාරාමය යන උභය විහාරාධිපති රද්දොළුවේ අමරවංස නායක මහා ස්ථවිර පාදයන් වහන්සේගේ හා ශ්‍රී සුබෝධාරාමයේ විහාරාධිකාරී රද්දොළුවේ විමලවංස නායක ස්ථවිර පාදයන් වහන්සේගේ කාරුණික ආරාධනය නිසාය.

එම නායක ස්ථවිරයන් වහන්සේලා දෙනමම අප අමරපුර නිකායේ අමරපුර පාර්ශ්වයේ අභිවෘද්ධිය හ සංවර්ධනය සඳහා බෙහෙවින්ම කැප වී කටයුතු කරති. එසේම අප අමරපුර නිකායේ පාලක ශ්‍රී සුමංගල කාරක සංඝ සභාවේ සාමාජිකයන් වහන්සේලා දෙනමක් ද වූ මෙම නායක ස්ථවිරයන් වහන්සේලාගේ අනුශාසනා පරිදි සුබෝධාරාමය අසල අත්තනගලු නදියෙහි දිවංගත වෙළෙඳ, වාණිජ, පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මැතිතුමන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරවන්නට යෙදුණු උදකුක්ඛේප සීමා මාලකයේ දී ජූලි මස 05 වෙනි සෙනසුරාදා දින මෙම උතුම් පුණ්‍ය කර්මය සිදු කිරීමට කටයුතු සංවිධානය කොට ඇත.


අතිමහත් ගෞරවයකි

සීලය අතිශය උතුම් ප්‍රතිපදාවයි. එය පංච සීලය, අට සීලය, දස සීලය, සාමණේර දස සීලය, උපසම්පදා සීලය ආදී වශයෙන් ක්‍රමයෙන් උසස් බවට පත්වන ප්‍රතිපදා න්‍යාය ක්‍රමයකි. මෙකී සියලු සීලයන්ට ම වඩා යම්කිසි භික්‍ෂු නමක් නිසි පරිදි උපසම්පදා සීලය රැකගනු ලැබුවහොත්, උන්වහන්සේගේ වටිනාකම කියා නිම නොකළ හැකි තරම්ය. ඒ නිසාම උන්වහන්සේට ලැබෙන නිරාමිස පී‍්‍රතිය ද පමණ කළ හැකි නොවේ. ඒ අනුව ථේරවාදී රට රාජ්‍යවල භික්‍ෂූන් වහන්සේලා බුදුරදුන් දවස සිට ම අද දක්වාම මේ උපසම්පදා සීලයට දක්වනු ලබන්නේ අතිමහත් ගෞරවයකි. මෙම සීලය රැකගත් භික්‍ෂුව මෙලොවත් අපමණ අනුසස් ලබා උන්වහන්සේට සලකනු ලබන දායක දායිකාවන්ට අපමණ කුසල් ද රැස් කර ගැනීමට අවස්ථාව ලබා දෙනවා පමණක් නොව, සසර වසන තුරු - නිවන් දකින තුරු සතර අපායට නොවැටෙන, මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ලෝකවලම උපත ලබා පැතුම් පරිදි නිවන් ලබන්නට ද හැකි ය.

කොටුගොඩ, රද්දොළුව සුබෝධාරාම මහා විහාරාසන්න අත්තනගලු ඔයෙහි පිහිටි උදකුක්ඛේප සීමා මාලකයේ දී, අතිපූජ්‍ය අම්බලන්ගොඩ ශ්‍රී සුමංගල මහනාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන්, විහාරාධිපති පූජ්‍යපාද රද්දොළුවේ අමරවංස නාහිමි සහ අමරපුර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ප්‍රවීණාචාර්ය, රද්දොළුවේ විමලවංස නායක ස්ථවිර පාදයන්ගේ අනුශාසනා පරිදි මෙවර ද අතිශය උසස් ආකාරයෙන් ජූලි 05 වැනි දින සිට වාර්ෂික උපසම්පදාව පැවැත්වීමට නියමිතය.

මේ අතර ජා - ඇල, උදම්මිට මුතුමුනි විමලදාස සිල්වා මුදලාලි මහත්මයාට පින් පිණිස මේ උපසම්පදා විනය කර්මයට ප්‍රයෝජනවත් ගොඩනැගිලි ඉදිකිරීම පිණිස පුතණුවන් වූ නිමල්සිරි ද සිල්වා සහ එම නෝනා මහත්මිය විසින් අක්කර තුනහමාරක පමණ භූමි භාගයක්ද සඟසතු කොට පූජා කිරීම ශාසන චිරස්ථිතියට මහඟු අනුබලයක් ද වන්නේ ය.


භික්‍ෂුත්වය තහවුරු කෙරෙන විනය කර්මය

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා භික්‍ෂූන් වහන්සේගේ චිර පැවැත්ම තහවුරු විය යුතුය. භික්‍ෂුවගේ පරිපූර්ණත්වය සඳහා අධිශීල සංඛ්‍යාත උපසම්පදා විනයකර්ම ශාසනික ප්‍රතිපදාවේ උත්කෘෂ්ටම අංගය වේ. බුදුරජාණන් වහන්සේ ධරමාන අවධියේ මෙන්ම වර්තමානයේ ද විවිධ වෙනස්කම් වලින් යුක්තව මෙම විනයකර්ම සිදුකරනු ලැබේ. බුද්ධ කාලයේ ඒහි භික්‍ෂු උපසම්පදාව, තිසරණ උපසම්පදාව වැනි ක්‍රම භාවිතා විය. මේවා බුදුකෙනෙකුන් හමුවේ පමණක්ම ලැබිය හැකි උපසම්පදා ක්‍රම විය. එහෙත් ඒවා කාලානුරූපීව වෙනස් වෙමින් ඉදිරියට ගලාගෙන ආ බවක් පැහැදිලිව පෙනේ. අද වන විට භාවිතා වනුයේ ඤත්ති චතුත්ථකම්ම උපසම්පදාවයි. සාමණේර භික්‍ෂුවකට නිවැරදි ශාසනික උරුමය තහවුරු කරනුයේ මෙම අධිශීල සංඛ්‍යාත උපසම්පදා විනයකර්ම තුළිනි. සීමාමාලකයක් තුළ එක්රැස් වූ ව්‍යක්ත, ප්‍රතිබල භික්‍ෂූන් වහන්සේලා සමූහයකගෙන් තත් සඟමුලුව සමන්විත වන අතර, ඉන් තෙනමක් කර්ම වාක්‍යය තෙවරක් හඬනඟා පැවසීමෙන් උපසපන් තත්ත්වයට පත් වූ බව සැළකේ. සාමණේර තත්ත්වයෙන් ඉහළට ඔසවා තබන මෙම විනය කර්ම බුද්ධ ආඥාව නොසිෙඳන සේ විනයවත් බුද්ධශ්‍රාවකයකු තනන්නට, අධිශීල සංඛ්‍යාත උපසපන් ශීලයෙහි භික්‍ෂූන් වහන්සේ තබන්නට සිදුකෙරෙන විනය කර්ම පද්ධතියක් ලෙස මෙම ක්‍රියාදාමය හඳුනාගත හැක.

තෛ‍්‍රනිකායික මහාසංඝයා මේ මහඟු විනයකර්ම සෑම වසරකම අති උත්කර්ෂවත් අන්දමින් ලක්දිව විවිධ ප්‍රදේශ වලදී ඇසළ පුර පසළොස්වක පොහෝදිනට පෙර සිදුකරනු ලැබේ. අමරපුර නිකායේ අමරපුර පාර්ශ්වයේ වාර්ෂික උපසම්පදා මහෝත්සවයද වාර්ෂිකව උත්සවකාරයෙන් සිදුකරනු දැකගත හැක. වසර ගණනාවක් මුළුල්ලේ රද්දොළුව ශ්‍රී සුබෝධාරාම පුරාණ මහා විහාරස්ථ යාබද අත්තනගලු නදියේ පිහිටි උදකුක්ඛේප සීමාමාලකයේ දී මෙම මහඟු පුණ්‍යකර්මය සිදු කෙරිණි.

මෙම වසරේ ද මේ මහා පුණ්‍යොත්සවය සංවිධානය කිරීමට රද්දොළුවේ ශ්‍රී සුබෝධාරාම මහා විහාරය, රද්දොළුවේ අභිනවාරාම විහාරය යන උභය විහාරාධිපති රද්දොළුවේ අමරවංස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත්, රද්දොළුවේ ශ්‍රී සුබෝධාරාම විහාරාධිකාරී අමරපුර නිකායේ අමරපුර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී රද්දොළුවේ විමලවංස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත් තත් විහාරස්ථානය පෙරටු කරගත් දායක සභාව, කුලඟන සමිතිය ඇතුළු සිව්දිග විසිරීගිය සැදැහැති දායක දායිකාවන් භාරගෙන ඇත.


අමරපුර පාර්ශ්වයේ වාර්ෂික උපසම්පදාව

අමරපුර පාර්ශවයේ වාර්ෂික උපසම්පදාව 2005 වසරේ සිට මේ දක්වා සිදුකරනු ලබන්නේ රද්දොළුව ශ්‍රී සුබෝධාරාම මහා විහාරාසන්න අත්තනගලු ඔය උදකුඛෙප සීමාමාලකයේ දීය. අප විහාරස්ථානයේ දායක සභාව, කුලඟන සමිතිය හා තරුණ පිරිස එකමුතුව මහත් උනන්දුවකින් හා ශාසනික හැඟීමකින් උපසම්පදා උත්සවය සිදු කිරීම සඳහා සතර දිගින් වැඩම කරවන මහා සංඝරත්නයට හා සැදැහැවත් පින්වතුන්ට දානමානාදී සියලු පහසුකම් සැලසීම අප පාර්ශවයේ අතිපූජ්‍ය අග්ග මහා පණ්ඩිත අම්බලන්ගොඩ ශ්‍රී සුමංගල මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ ශ්‍රී සුමංගල කාරක සංඝ සභාවේ ප්‍රසාදයට හේතු වී ඇත.

මෙම උපසම්පදා විනය කර්මය සාර්ථකව සිදුකර ගැනීමට හැකිවී තිබෙන්නේ දිවංගත ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මැතිතුමා විසින් අත්තනගලුඔයෙහි සාදා දෙන ලද සීමාමාලකය නිසා මහා සංඝරත්නයට කිසිදු අපහසුවකින් තොරව මෙම උතුම් විනය කර්මය සිදු කිරීමට හැකිවී තිබීම ගැන එතුමාට පින්දෙමින් සිහිපත් කරමි.

මේහැර මෙම සීමාමාලකය දෙපසින්ම අක්කර දෙකක ඉඩම් ප්‍රමාණයක් උදම්විට පදිංචි මුතුමුණි නිමල්සිරි සිල්වා මහතා සහ එම මහත්මිය ඇතුළු දරු පිරිස පරලොව සැපත් උදම්විට ව්‍යාපාරික සද්ගුණවත් මුතුමුණි විමලදාස සිල්වා පියාණන්ට සහ මෑණියන් වන වෙද අමරාවතී සිල්වා මහත්මියට පින් පිණිස පූජා කිරීමෙන් පුණ්‍ය භූමියක් බවට පත්ව ඇත.

2014 ජූලි 06 වන දින ශුභ නැකතින් මෙම සීමා මාලකයෙහි වම් ඉවුරෙහි අක්කරයක පමණ පූජා කරන ලද භූමියෙහි විමලදාස මුදලාලි මහතාගේ නමින් විමල විහාරය නමින් නව විහාරස්ථානයක් ආරම්භ කිරීම නිසා විශේෂයෙන් මිපාත සැදැහැවත් ජනතාවට සෙත සැලසෙනු ඇත. මෙහි අභිනවයෙන් ඉදිකරන ලද නව සංඝාවාසය ළඟදී විවෘත කරන අතර චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිකිරිමට සැලසුම් කර ඇත.

මේ අනුව රද්දොළුව ශ්‍රී සුබෝධාරාමය කේන්ද්‍රකරගෙන විශාල ශාසනික සේවයක් ප්‍රදේශයටම සිදුවෙන අතර වාර්ෂිකව සසුන් කෙත හොබවන උපසපන් භික්‍ෂූන් රැසක් බිහිකරන පුණ්‍ය භූමියක් බවට පත්ව ඇත.

මෙම සියලු කාර්යයන්හිදි කවදත් අපට සහාය දෙන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිනියද, බස්නාහිර පළාත් සභාවේ ලලිත් වනිගරත්න, ආනන්ද හරිස්චන්ද්‍ර ලලන්ත ගුණසේකර මැතිතුමන්ලාද කටුනායක සීදුව නගර සභාවේ සභාපති ඩිනාල් පෙරේරා මැතිතුමා ද කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණී ලීලානන්ද මැතිතුමා ද එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී රවින්ද්‍ර රූපතුංග මැතිතුමා ද මෙවරත් ලබාදෙන සහයෝගය ගැන කෘතඥතා පූර්වකව සිහිපත් කරමි. මේහැර සතොස සභාපති නලින් ප්‍රනාන්දු මහතා සුවිශේෂ කාර්යය භාරයක් මේවෙනුවෙන් ඉටුකරමින් සිටියි.