Print this Article


පූජාච පූජනීයානං

බේරතුඩුවේ ඤාණවිසුද්ධි නාහිමි

ගාල්ල වැලිවත්ත විජයානන්ද පිරිවෙන් මහා විහාරාධිපති බේරතුඩුවේ ඤාණවිසුද්ධි නාහිමිපාණන් සුපේෂල ශික්‍ෂාකාමී ප්‍රව්‍රජ්‍යා ගුණාංග වලින් පරිපූර්ණ වූ මහා තෙරනමකි. එමෙන්ම පාණ්ඩිත්‍යය මාර්ගෝපදේශකත්වය, සංවිධානමය කළමනාකරණය, මධ්‍යස්ථ ගුණය, දයාව හා කරුණාව ආදී මිනිස්දම් වලින් විශිෂ්ටත්වයට පත්ව සිටින යතිවරයෙකි. ගාලු නගරයේ සිට පියමං කීපයකින් යා හැකි විජයානන්ද පිරිවෙන් මහා විහාරය 1851 සැප්. 17 දා සසුනට විවර වූ බව මෙම ඓතිහාසික ස්ථානයේ ලේඛනගත තොරතුරුවලින් පසක් වෙයි. එදා සිරිලක බෞද්ධ ප්‍රබෝධයේ කේන්ද්‍රීය ජවය පිහිටියේ වැලිවත්ත විජයානන්ද මහා විහාරයම යැ පුණ්‍ය භූමිය තුළය. එහි නිර්මාතෘවරු සහ රාමඤ්ඤ නිකායේ ප්‍රථම උපසම්පදාව ආරම්භ කිරීමේ පුරෝගාමීහු වන්නේ අඹගහවත්තේ සරණංකර සහ පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද මාහිමිපාණන් වහන්සේලාය. ඕල්කට්තුමන් බුදුසමය වැළඳ ගත්තේ ද ගාල්ලේ වැලිවත්ත විජයානන්ද මහා විහාරයෙන් වීම සුවිශේෂ සිදුවීමක් ලෙස සැලකේ. ශ්‍රී ලංකාවේ දහම් අධ්‍යාපනයට මුල් වූ ඉරුදින දහම් පාසල් සේවයට පළමු පියවර තැබුවේ ද ගාල්ලේ මෙම ස්ථානයෙන් වීම අද ද බොහෝ දෙනා සමරති. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය බිහිවීමෙන් ඇතිවූ ජාතික ආගමික සහ ශාසනික පුනරුදයට පදනම වූයේ ද මෙම ඓතිහාසික බිම් පෙදෙසය.

අක්මීමන ධම්මාරාම හිමිපාණන්ගේ ඇවෑමෙන් මාවැල්ලේ අරියකිත්ති හිමිපාණන් විහාරාධිපතිත්වය දරමින් සිදු කළ දීර්ඝ කාලීන ආගමික මෙහෙවර අවසන් වූයේ 1951 වර්ෂයේදී තත් විහාරයේ අධිපති ධුරයට පණ්ඩිත ගාල්ලේ ශ්‍රී ඤාණෝභාෂ නාහිමිපාණන් පත් වීමෙනි. 1993 වර්ෂයේ දී උන්වහන්සේගේ අපවත්වීමෙන් විහාරාධිපතිත්වයට පත් වූයේ බේරතුඩුවේ ඤාණවිසුද්ධි නාහිමිපාණන් වහන්සේය.

ගාලු නගරය මධ්‍යයෙහි පිහිටි විජයානන්ද මහාවිහාර බොදු දනන්ට අධ්‍යාපන තක්‍ෂලාවක් බවට පත් කිරීමෙහි පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනු ලැබුවේ ඤාණවිසුද්ධි මාහිමිපාණන් වහන්සේ විසිනි. මන්ද ස්වකීය ආචාර්යෝත්තමයන් වහන්සේගේ පූර්වයෙහි වූ ආභාෂයද ස්වකීය සහෝදර භික්‍ෂූන් වහන්සේලා තුළ පැවති යහගුණ සම්බන්ධය මෙන්ම සමගි දාමයද සසුන්කෙත අර්ථවත් කිරීමට උන්වහන්සේ ලැබූ ආශිර්වාදයකි.

විජයානන්ද මහා විහාරයේ ගොඩනැඟිලි සංකීර්ණය පුනරුත්ථාපනය කොට දහම් පහස ලබන්නට විවර කරදීම, විහාරස්ථ කෞතුකාගාරය, පුස්තකාලය සහ පිරිවෙන සංවර්ධනය හා අදියර වශයෙන් වැඩිදියුණු කිරීම ඇතුළු සංවර්ධන ක්‍රියාවලි රැසක් නාහිමිපාණන් වහන්සේ විසින් සිදු කරන ලදී. ඊට අමතරව අවට විහාරස්ථාන සමඟ සමීප සබඳතාවක් ගොඩනඟමින් ඒවායේ විවිධ වූ සමාජ ආගමික තල සංවර්ධනයට ද, ප්‍රදේශයේ පොදු සමිති සමාගම් මෙන්ම රාජ්‍ය නොවන ආයතනවල වැඩිදියුණුවට ද අනුශාසනා උපදෙස් ලබාදෙමින් නිරතුරුවම සිදු කළා වූ සේවාව අමතක කළ යුතු නොහේ. ගාලු නගරයේ වෙසෙන සියලු ජාතීන් අතර සමඟිය සමාදානය සුහදතාව සහ සහජීවනය වෙනුවෙන් මාහිමිපාණන් වහන්සේ විවිධ වූ ආගමික සාමාජික සේවාවන් රැසක්ම ඉටු කළහ.

1939 ජූලි මස 13 වැනිදා හික්කඩුවේ බේරතුඩුව ග්‍රාමයේ විසූ ගම්මැද්දගොඩ ලියනගේ සියදෝරිස් අප්පුහාමි හා ගොඩමුණ විතානගේ සිසිලියාහාමි යුවළට දාව උපන් අප නාහිමිපාණන් එකුන් දහහත් වසරක් පිරුනු දා සසුනට අරුණාලෝකයක් ලබාදෙමින් උතුම් වූ පැවිදි බව ලැබූහ.

පනස් නව වසරක සසුන් දිවි මඟෙහිදී නාහිමිපාණෝ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය පේරාදෙණිය සරසවියෙන්ද, අනතුරුව ශාස්ත්‍රපති උපාධිය ඇතුළු පශ්චාත් උපාධි කීපයක්ම ලබා ගත් අතර පිරිවෙන් අධ්‍යාපනය සපුරමින් පණ්ඩිත හා ත්‍රිපිටක ධර්ම උපාධි ඉහළ අයුරින් සමර්ථය ලබා ස්වකීය නැණ ගුණය ප්‍රබුද්ධ කළහ.

උපාධි පුහුණු ගුරුවරයකු වශයෙන් සිසුන් දහස් ගණනකට සිප්සතර හා මඟ පෙන්වීම ලබා දෙමින් ඉටු කළ අධ්‍යාපනික හා ශාස්ත්‍රීය සේවය අති විශාලය. විශ්‍රාමික දිවියට පිවිසෙන අවස්ථාව වන විට ගාල්ලේ ඕල්කට් මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා විය.

උන්වහන්සේ සිය 74 වැනි ජන්ම දිනයේදී දඹදිව සැවැත්නුවර ජේතවනාරාම මහා විහාරයේදී වස් වසාලීම පිණිස ශ්‍රී ලංකාවෙන් පිටත්ව සිව්මසක් එහි ගත කරමින් ස්වකීය දහම් මඟ අරුත්බර කිරීමට නොමද අදිටනක යෙදීම ම නිහතමානිත්වය, ශාසනික කැපවීම සහ ධර්ම චර්යාවේම ගතකිරීම මෙහිලා සුවිසෙස්ව සඳහන් කළ යුතුමය. නාහිමිපාණන් වහන්සේගේ සහෝදර හා ශිෂ්‍ය භික්‍ෂු පරපුර විසින් දායකකාරකාදින්ගේ සහයෝගිතාවය ඇතිව ‘නාහිමි ගුණ වරුණ’ මැයෙන් 75 වන ජන්ම සමරුව නිමිත්තෙන් සංවිධානය කෙරෙන මහා පින්කම් මාලාවක් ජූලි මස 12 සහ 13 දිනයන්හිදි ගාල්ල වැලිවත්ත විජයානන්ද පිරුවෙනේ දී පැවැත්වේ. එහිදී අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ට ප්‍රජා සත්කාරක සේවාවන්ද, ආර්ථික, සමාජ පිළිසරණ වැඩසටහනක්ද දියත් වනු ඇත.

දාන, ශීල, භාවනා ආගමික කටයුතු ප්‍රමුඛ කරගත් මෙකී පින්කම් මාලාවට භික්‍ෂූන් වහන්සේලා හැත්තෑපස් නමක් විෂයෙහි මහා දානමය පින්කමක්ද, දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් බෝධිපූජා හා සෙත්පැතීමේ පූජාවක්ද සංවිධානය කෙරේ.


වැලිවැව සුජාත හිමි

බුදුදහම අනුව දානයේ ප්‍රභේද තුනකි. ධර්ම දානය, අභය දානය හා ආමිෂ දානයයි. මෙයින් අභය දානය යනු ජීවත්වීමේ නිදහස ලබාදීමයි. පන්සිල් සුරැකීම තුළින්ද අභය දානය රැකේ. එහෙත් අභය දානය යන්න බොහෝ දුරට වෙසක් හා පොසොන් පොහොය පවතින කාල වකවානුවල බෙහෙවින් අසන්නට ලැබෙන වචනයකි. ඒ මරණයට කැපවී සිටින විවිධ වර්ගයේ සතුන් ඉන් මුදා ගැනීමයි. මේ අතුරින් මරණයට කැපවූ ගවයින් නිදහස් කිරීමට විශේෂත්වයක් හිමි වේ. එසේ වසරකට එක්වරක් හෝ එවැන්නක් වසරක් පුරා සතියකට ගවයින් පස් දෙනෙකු බැගින් නිදහස් කිරීමට හෙවත් අභය දානය දීමට ඉදිරිපත්වී සිටින භික්‍ෂූන් වහන්සේ නමක් ගැන ගාල්ල දිස්ත්‍රික්කයේ තල්ගස්වල ප්‍රදේශයෙන් වාර්තා වේ.තල්ගස්වල නව නගරයේ බෞද්ධ මධ්‍යස්ථානයේ ශාස්ත්‍රපති වැලිවැව සුජාත ස්වාමීන් වහන්සේ ඒ උතුම් සද්කාර්යය සිදුකරනු ලබන බුද්ධ පුත්‍රයාණන් වහන්සේය. උන්වහන්සේ උපන්ගම හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැලිවැවය. වැලිගම විහාරස්ථානයක පැවිදි වී විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබ ගුරුපත්වීමක් ලැබීම නිසා මාපලගම ප්‍රදේශයට පැමිණේ. ගා/මාපලගම සිරිසුනන්ද මහා විද්‍යාලයට ලැබුණු මුල් පත්වීම අනුව ගෝනලගොඩ ශ්‍රී තිලකාරාමයේ නේවාසික වේ. ඒ අතරතුර ස්ථිර භික්‍ෂූන් වහන්සේ නමක් නොවූ තල්ගස්වල බෞද්ධ මධ්‍යස්ථානයේ නේවාසික වන ලෙස ලැබුණු ආරාධනාව මත එහි නේවාසිකව ගත කිරීමට අවස්ථාව හිමිවේ.මේ කාලය තුළ නාගොඩ තල්ගස්වල බදාදා සතිපොළෙහි ගවමස් විකුණන බව ආරංචි වී බෞද්ධයින් ඉන් වළක්වා ගැනීම සඳහා කොතෙකුත් ධර්ම දේශනා කරන්නට ඇත. එහෙත් එහි වෙනසක් නොවීය. නාගොඩ ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයට ද මේ ගැන දන්වා ගවමස් අලෙවිසැල තල්ගස්වල සතිපොළෙන් ඉවත් කරන ලෙස ප්‍රාදේශීය සභාවට ගොස් සභාව දැනුවත් කළහ. ඒ අතරතුර 2014 වසර තුළ තල්ගස්වල බදාදා සතිපොළෙහි මස් අලෙවිසැල පවත්වාගෙනයාම සඳහා ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවන ලදී. වැලිවැව සුජාත හිමියෝද අනෙකුත් තරඟකාරී ටෙන්ඩර්කරුවන් කිසිසේත් බලාපොරොත්තු නොවූ වැඩිමුදලක් ටෙන්ඩරයට ඉදිරිපත් කළහ. ඒ අනුව රුපියල් තුන්ලක්‍ෂ විසිපන් දහසකට ටෙන්ඩරය ලබාගත්හ. එය ගත්තේ මස් විකිණීමට නොව මස් අලෙවිසැල වසාදැමීමටය.ගවයින් පස්දෙනෙකුගේ මස් විකුණන ලද මස් අලෙවිසැල වසාදමා ඇත. ඒ අනුව ජනවාරි මස 01 වෙනි දින (බදාදා) මස්කඩය කිරිවලින් සෝදා සෙත් පිරිත් දේශනා මධ්‍යයේ කිරි උතුරවා විශාල පිරිසක් මධ්‍යයේ ආශිර්වාද කරන ලදී. ඉන්පසු එම අලෙවිසැල වසාදමා තෙමසක් සම්පූර්ණ වූ පසුගිය මාර්තු 05 වෙනි දින ඒ වන විට ගවයින් 60 දෙනෙකුට අභය දානය ලබාදීම නිමිත්තෙන් හා එතෙක් මරණයට පත්වූ අතිවිශාල ගවයින් සංඛ්‍යාවකට පින් අනුමෝදන් කිරීම නිමිත්තෙන් කිරි අම්මලා පිරිසක් කැඳවා එම අලෙවිසැල තුළම කිරිදානයක් පිරිනැමූහ. ඊට අමතරව එදින රැස්ව සිටි පිරිසට හා බදාදා සතිපොළට පැමිණ සිටි පාරිභෝගිකයින්ට ද කිරිබත්වලින් සංග්‍රහ කරන ලදී.

රුපියල් තුන්ලක්‍ෂ විසිපන්දහසකට 2014 වසර සඳහා මස් අලෙවිසැල පවත්වාගෙන යාම සඳහා ඩෙන්ඩරය ලබාගත් වැලිවැව සුජාත හිමියන්ට අභියෝගවලට හා විවිධ බලපෑම්වලට මුහුණදීමට සිදුවිය. ප්‍රධාන අභියෝගය වූයේ ප්‍රාදේශීය සභාවෙන් ලැබුණු ලිපිය අනුව ටෙන්ඩර් මුදලින් සියයට විසිපහක් වන රුපියල් 81250/- ක මුදල 2013.10.15 වෙනි දිනට පෙර සභාවට ගෙවීමය. මාස කිහිපයක උන්වහන්සේගේ පඩියට අමතරව නොයෙකුත් පරිත්‍යාගශීලීන්ගෙන්, පාසල් ළමුන්ගෙන්, දහම් පාසල් ළමුන්ගෙන් මුදල් ලැබූහෙයින් ඒ පළමු අභියෝගය ජය ගත්හ. දෙවෙනි අභියෝගය වූයේ වැට් බද්ද සමඟ මාසිකව රු. 30000/- කට ආසන්න මුදල මාසිකව සභාවට ගෙවීමය. එයටද පිළිතුරක් ලැබුනේ අහම්බෙනි. ගවයින්ට අභයදානය ලබාදීම සඳහා හාමුදුරු නමක් ගවමස් කඩයක ටෙන්ඩරය ලබාගැනීමේ පුවත විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් පළවීම තුළින් එය දුටු ‘වෙන්ඩෝල් ලංකා සමාගමේ’ අධිපතිතුමා මාසිකව එම මුදල ගෙවීමට එකඟවී ඇත. ‘ධමෙමා හවේ රක්ඛති ධම්මචාරී’ යන බුදු වදන සනාථ කරමින් දැන් උන්වහන්සේ ඒ සියල්ල ජයගෙන ඇති අතර ප්‍රදේශවාසී සැමගේ පමණක් නොව අතිගරු ජනාධිපතිතුමාගේ ද ප්‍රශංසාවට ලක්ව ඇත.හම්බන්තොට දිස්ත්‍රික්කයේ ‘වැලිවැව‘ ග්‍රාමයේ රාජපක්‍ෂ ගුණසේකර ධනපාල හා සෙනරත් රත්නායක කරුණාවතී දෙමහල්ලන්ගේ දරුවන් නව (09) දෙනා අතර පවුලේ හත්වෙනියා ලෙස මීගහජදුර ග්‍රාමීය රෝහලේ දී 1974 ජූනි මස 01 වෙනි දින උන්වහන්සේ උපත ලබා ඇත. රාජපක්‍ෂ ගුණසේකර දයානන්ද නම් වූ හෙතෙම වැලිවැව කනිටු විදුහල තුළින් මූලික අධ්‍යාපනය ලබමින් සිටින අතරතුර දී වයස අවුරුදු 19 දී වැලිගම පොල්වත්තේ ගංගාරාම විහාරාධිපති දෙනිපිටියේ විමලසාර නාහිමියන්ගේ ශිෂ්‍යවරයෙකු ලෙස පැවිදි දිවියට පත්වූහ. මිදිගම සිරිසුමන පිරිවෙන තුළින් මූලික පිරිවෙන් අධ්‍යාපනයත් පානදුර පින්වත්තේ සද්ධම්මාකාර පිරිවෙන තුළින් උසස් අධ්‍යාපනයත් ලැබ රුහුණ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව උපාධිය ලද උන්වහන්සේ 1995 ජූලි 25 වෙනි දින මහනුවර මල්වතු විහාරයේ දී උපසම්පදාවට පත්වූහ.වීරකැටිය පිරිවෙනේ හා පැළෑණේ ශ්‍රී වජිරඤාණ පිරිවෙනෙහි පිරිවෙන් ගුරුවරයෙකු ලෙසත්, මැදගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක ලෙසත් සේවය කළ උන්වහන්සේ රජයේ උපාධි ගුරුපත්වීමක් ලැබ 2008 ජූනි 01 වෙනි දින ගා/මාපලගම සිරිසුනන්ද මහා විද්‍යාලයෙන් ගුරු සේවයට එක් වුහ.