Print this Article


මඟ ඵල ලැබීමට කාල නියමයක් වේද?

මෙකල බොහෝ දෙනෙක් ධර්ම ශ්‍රවණාදි පින්කම්කොට මේ ගෞතම සම්බුදු සසුන තුළම මාර්ගඵලාවබෝධය ප්‍රාර්ථනා කරති. එතැනින් නොනැවතී භාවනාදිය සිදුකරමින් ප්‍රායෝගීකවම තම ප්‍රාර්ථනය සපුරාගන්නට වෙහෙස වෙති.

මෙතැනදි අතිශය වැදගත් වන්නේ නිවැරැදි ගුරු ආශ්‍රයයි. ප්‍රාර්ථනාව කෙතරම් උසස් වුවද වැරැදි මග පෙන්වීමකින්, බලාපොරොත්තු වන ඉලක්කය සපුරාගත හැකි වේද? අනෙක් අතට, මෙකල මාර්ගඵලාධිගමය කළ නොහැකි බවටද ඇතැම් පිරිස් තුළ මතයක් පවතී. එහෙත් බුද්ධ දේශනාව වන්නේ, භික්ෂුන් මනාකොට ප්‍රතිපත්ති පුරන්නේ නම් ලෝකය රහතුන්ගෙන් හිස්වන්නේ නැත යන්නයි.

“ඉමේ ච සුභද්ද භික්ඛු සම්මා විහරෙය්‍යුං න සුඤ්ඤෝ ලෝකෝ අරහන්තේසි අස්ස”

මේ දේශනාවට අනුව, භික්ෂුන් මනා කොට ප්‍රතිපත්ති ධර්මයෙහි යෙදී වාසය කරනවා නම් ලෝකය රහතුන්ගෙන් හිස්වන්නේ නැත. ධර්මයට අනුව පිළිපදිනවා නම් රහත්විය හැකිය. වැසි වැස්සොත් ගඟ පිරෙයි. එමෙන් ප්‍රතිපත්ති පිරුවොත් මාර්ගඵල ලැබෙයි. ධර්මාවබෝධය සඳහා කාලයක් වෙන්කර නැති බව මෙනයින් අපට වටහාගත හැකිය. එහෙත් අටුවාචාරින් වහන්සේ මෙවැනි කාල නියමයක් දක්වා තිබෙන බව සඳහන් කළ හැකිය. අටුවාවලද මේ කරුණ දෙවිදියකට දක්වා ඇත.

මනෝරථපූරණි අටුවාවට අනුව, බුදුසසුන පවතින කාලය වසර පන්දහසක් වශයෙන් දක්වමින් ඉන් වසර දහසක් සිව් පිළිසිඹියාපත් රහතුන් වශයෙන්ද, ඊළඟ දහස ශූෂ්ක විදර්ශක රහතුන්ගේ වශයෙන් ද, දහසක් අනාගාමින්ගේ වශයෙන්ද සකදාගාමින්ගේ වශයෙන් ඊළඟ දහසද, ඊළඟ දහස සෝතාපන්නයන්ගේ වශයෙන්ද බෙදීමක් පෙන්වා දී ඇත. දීඝ නිකාය අටුවාවෙහි මෙයට වඩා කුඩා වෙනසක් සහිතව පෙන්වා දෙන අතර එහි දැක්වෙන ආකාරයට පළමු වසර දහස සිව්පිළිසිඹියාපත් රහතුන්ගේ වශයෙන්ද ඊළඟ දහස ෂට් අභිඤ්ඤා රහතුන්ගේ වශයෙන්ද දක්වා ඇත. එසේම ත්‍රිවිද්‍යා රහතුන්ගේ වශයෙන් වසර දහසක්ද ශූෂ්ක විදර්ශක රහතුන්ගේ වශයෙන් තවත් වසර දහසක්ද ඊළඟ වර්ෂ දහස පෘථග්ජන භික්ෂුන්ගේ වශයෙන්ද බෙදා දක්වා ඇත. මේ ඉදිරිපත් කිරීම් දෙක සලකා බැලූ විට, මනෝරථ පූරණි අටුවාවට අනුව මේ කාලයේ අනාගාමි විය හැකිය. දීඝනිකාය අටුවාවට අනුව මේ කාලයේ ත්‍රිවිද්‍යාවට පත්වීමට හැකියාව තිබේ. එබැවින් අටුවා මතවලට අනුව වුවත් මේ කාලයේ රහත්වීමට හෝ අනාගාමිවීමට හැකියාව තිබෙන බව කිව යුතුය.

එසේනම් මේ කරුණු සලකා බලන විට මෙකල මාර්ගඵලාධිගමය නොකළ හැකි බවට ඉදිරිපත් වන අදහස් වල පදනමක් නැති බව හොඳාකාරවම පෙනෙන්නට තිබේ. මඟඵල නොලැබිය හැකිනම් වරද ඇත්තේ ධර්මයෙහි නොව අපගේය. මාර්ගඵල අවබෝධ කිරීමට ප්‍රතිපත්ති පිරූ කල්හි එය වැරැදී ගියහොත් සතර අපා දුකින් මිදීමේ වරප්‍රසාදයවත් ලැබේ. එය ඉමහත් ලාභයකි.

ශීලයක්, භාවනාවක් සම්පූර්ණ නොකොට හුදෙක් ධර්ම ශ්‍රවණය කිරීමෙන් පමණක්ම සෝවාන් ආදි මාර්ගඵලයනට පත්වීමට බලාපොරොත්තු වන පිරිස් ද මෙකල සිටිති. එය කොතරම් දුරට සාර්ථක ප්‍රතිඵලයක් ලබාගත හැකි අදහසක්ද යන්න විමසා බැලීම කාලිනය. මෙහිදී අප අවධානය යොමු කළ යුතු වන්නේ බුද්ධ ශාසනයේ මාර්ගඵලාවබෝධය ලබන පුද්ගලයන් වශයෙන් දක්වා තිබෙන සතරදෙනා ගැනය. මෙහිදී උග්ඝටිතඤ්ඤු වශයෙන් පුද්ගලයකු දක්වා තිබේ. හොඳින් මේරූ නෙළුම් කැකුළ හිරු රැස් වදින කල්හි පිබිදෙන්නාක් මෙන් ධර්ම දේශනාව ආරම්භයේදීම මඟඵල ලබන පුද්ගලයා මෙනමින් හැඳීන්වේ. මෙහිදී බුදුරදුන් ප්‍රධාන වන අතර ශ්‍රාවකයන් දහම් දෙසූ කල්හිද සැණෙකින් ධර්මාවබෝධය ලැබේ.

විපඤ්චිතඤ්ඤු යනු ධර්ම දේශනාව අවසානයේ මාර්ගඵල ලබන පුද්ගලයා හඳුන්වන නාමයයි. මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවසානයේ තිස් දහසක් භික්ෂුන් වහන්සේ රහත් වීමද මෙයට නිදසුනකි. එහෙත් මෙකල මෙම දෙවර්ගයටම අයත් පුද්ගලයන් දක්නට නොමැත. මෙකල දක්නට ලැබෙන්නේ ඤෙය්‍ය පුද්ගලයන්ය. එනම් දහම් අසා කර්මස්ථාන ඉගෙන සද්පුරුෂ ආශ්‍රය ලබා භාවනා කොට මාර්ගඵල ලබන තැනැත්තන්ය. මෙබඳු අයට ක්‍රමයෙන් ප්‍රතිපත්ති සම්පූර්ණ කිරීමෙන් මාර්ගඵලාවබෝධය ලැබීමේ හැකියාව ඇත. අනෙක් පුද්ගලයන් කොටස වන්නේ පදපරම නම් කොට්ඨාසයයි. එනම් මේ ජීවිතයේදී මඟඵල ලැබිය නොහැකි පුද්ගලයන්ය. කෙතෙක් භාවනා කළත් ඔහුට නුවණ වැඩිදියුණු කළ නොහැකිය.

අලෝභ අද්වේෂ අමෝහ යන කුශල හේතුන්ගෙන් යුක්ත වූ ප්‍රතිසන්ධි සිතකින් උපත ලැබූ අය ත්‍රිහේතුක පුද්ගලයන්ය. ඔවුන් මාර්ගඵලාවබෝධය ලැබීමේ හැකියාවෙන් යුක්ත වුවද පශ්චිමභවික පුද්ගලයන් මෙන් ඔවුන් ස්ථිරවශයෙන්ම මාර්ගඵල ලබන බවට සහතික විය නොහැකිය. අජාසත් රජු, මහධන සිටාණන් වැනි අයට මාර්ගඵල ලැබීමේ වාසනාව තිබුණේ ය. එහෙත් පාප මිත්‍ර සේවනය, කළ යුතු දේ නොකිරීම ආදි හේතූන් නිසා ලබන්නට තිබූ මාර්ගඵලවලින් පිරිහී ගියේ ය. මෙකල ද ත්‍රිහේතුක පුද්ගලයන් ඕනෑතරම් අප අතරෙහි සිටිය හැකියි. මේ අනුව අප වටහාගත යුතු කරුණ වන්නේ සද්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය ලබමින් යෝනිසෝමනසිකාරයෙන් යුතුව ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදිය යුතු බවය. සෝවාන් ආදි මාර්ගඵල ලැබීමට මේකරුණු සම්පූර්ණ විය යුතු අතර මෙකල නිවැරැදි ගුරු ආශ්‍රය ලැබීම පිළිබඳ ද විශාල කතිකාවක් ගොඩ නැඟී තිබේ.

යහපත් මඟපෙන්වීමක් ලබාගැනීමේදී විශේෂයෙන් තමන් බුද්ධිමත් විය යුතුය. ධර්මාවබෝධය කිරීමට සියලු අංගෝපාංග සම්පූර්ණ වුවත් මඟ වරද්දාගතහොත් එය වැළැකී යනු ඇත. භාවනා කර්මස්ථාන දීමට කර්මස්ථානාචාර්යවරයකු වීමට සුදුසුකම් තිබිය යුතුය. ධර්මය පිළිබඳ හොඳ දැනුමක් අවශ්‍යය. ප්‍රායෝගික වශයෙන් භාවනා පළපුරුද්ද, යෝගින් ඇසුරුකොට අත්දැකීම් ලැබීම, ඉවසීම, පරාර්ථකාමි බව, අවංක බව, භාවනාව මුදල් උපයන මාර්ගයක් බවට පත්කර නොගැනීම ආදි සුදුසුකම් තිබිය යුතුය. යන්තම් භාවනාවක් කටගාගෙන භාවනා ගුරුවරයකු වීම අනතුරුදායකය. වැරැදි මාර්ගයේ ගොස් භාවනාව ඇට්ටකුණාකරගත් පසු එයට පිළියම් කිරීම පහසු නැත. මෙය මාර්ගඵලාවබෝධයට බාධාවකි. මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතු වන්නේ භාවනා උගන්වන ගුරුවරයා භාවනා කරවන කෙනකු නොව භාවනා කරන කෙනකු විය යුතු බවයි.

අධිගමලාභයක් අපේක්ෂාවෙන් භාවනා වඩන අය තමන් විශේෂ ඵලයකට පත් නොවී මාර්ගඵල ලැබුවායැ’යි රැවටෙන අවස්ථාද තිබේ. මඟඵල ලැබීම සඳහා සප්ත විශුද්ධින් සම්පූර්ණ කිරීම සිදුවිය යුතුය. ශීල විශුද්ධියෙන් පටන්ගෙන දිට්ඨි විශුද්ධි, කංකාවිතරණ විශුද්ධි, මග්ගාමග්ග ඥාන දස්සන විශුද්ධි යනාදි විශුද්ධින් සම්පූර්ණ කරමින් ප්‍රතිපදා ඥාන දස්සන විශුද්ධිය කරා ළඟා විය යුතු අතර අන්තිම කෙළවර වන්නේ සංස්කාර උපේක්ෂා ඥානයයි. වුට්ඨානගාමිණි හෙවත් මුදුන් පැමිණි විදර්ශනාව යනුවෙන් එය හැඳින්වේ. ලෞකික තත්ත්වයෙන් ලෝකෝ- ත්තර පැත්තට පත්වීම සිදුවන්නේ එහිදීය.

නිවන අරමුණු කරගත් ලෝකෝත්තර චිත්ත පරම්පරාවක් පහළවීම එහිදී සිදු වේ. එනම් මාර්ගඥානයක් පහළ වීමයි. එහෙත් ඇතැම් අය තමාට මාර්ග ඥානයක් පහළ වූවායි සිතා රැවටෙන්නටත් ඉඩ තිබේ. මෙසේ රැවටීමට එක් හේතුවක් වන්නේ ථින මිද්ධයයි. ශ්‍රද්ධා අධික හෝ සමාධිය අධික වීම හෝ නිසාත් මෙවැන්නක් සිදුවීමට ඉඩ ඇත. සමහරුන්ට භාවනා වඩන විට සිතේ කයේ සැහැල්ලු ශාන්ත බව එනම් පස්සද්ධිය අධික වීම නිසාත් ආලෝක සංඥා පෙනී යෑම ආදිය නිසාත් තමා මඟ ඵල ලබා ඇතැයි සිතා රැවටීමට හැකියාව ඇත.

එහෙත් නියම ලෙස විදර්ශනාව දියුණු වී තිබේ නම් සිදුවන්නේ නිවන අරමුණු කරගෙන මාර්ගඥානය පහළ වීමයි. ඉන්පසු මාර්ගය, ඵලය හා නිවන යන මේ තුන නැවත සලකා බැලීම සිදුකරයි.

මෙසේ සෝවාන් ආදි මාර්ගඵලයනට පත් වූ සිතේ ස්වභාව වන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ කියා නිම කළ නොහැකි ශ්‍රද්ධාවක් ජනිතවීමයි. හිසේ තිබූ බරක් බිම තැබුවාක් මෙන් පුදුමාකාර සැහැල්ලුවක් උපදී.

මේ ආකාරයෙන් මාර්ගඵල ලැබීම මෙකල සිදුවිය හැකි නම්, මාර්ගඵල අපේක්ෂාවෙන් බවුන් වඩන යෝගාවචරයන්ද සිටී නම් එසේ මඟ ඵල ලැබූ ආර්ය ශ්‍රාවකයන්ද විසිය හැකිය. එහෙත් එබඳු උතුමන් හැඳිනගන්නේ කෙසේද යන්න බොහෝ දෙනා තුළ මතුවන ගැටලුවකි. සත්‍ය නම් එවැනි උතුම් තත්ත්වයකට පත්වූවකු තමන් ලද අධිගමලාභය හෙළි නොකරන නිසා එවැනි උතුමකු හැඳීනගැනීමට ක්‍රමයක් නොමැති වීමයි. මාර්ගඵලයනට පත් වූවකු තමන් එවැනි විශේෂ තත්ත්වයක් ලබා ඇතැයි හෙළි කළහොත් දායක දායිකාවෝ නොයෙක් ලාභ සත්කාර පිරිනමති. ඒ ආකාරයෙන් දිවිපැවැත්ම ආර්ය ශ්‍රාවකයකුට කැප නොවන අතර එය අයත්වන්නේ මිථ්‍යාජිවයටයි. එබැවින් ඔවුහු තමන්ගේ ගුණ නොකියති. අනෙක් අතට, තමන් එසේ පැවසුවහොත් සමහරු නොයෙක් ආකාරයෙන් මැනීම් කරන්නට ගොස් පව් සිදුකර ගනිති. මෙයට ඉඩ නොතබනු සඳහාත් අධිගම අල්පේච්ඡතාවෙන් යුතු උතුම් අය තමන් ලත් මඟ ඵල හෙළි නොකරති. තමන්ගේ ගුණ හෙළි කිරීම එක් අතෙකින් මානය නිසාද සිදුවේ.

රහතන් වහන්සේ මානය සම්පූර්ණයෙන් ප්‍රහීණ කළ උත්තමයෙකි. සෝවාන් මඟ ඵල ලැබූවකු වුවද මහත් ගුණස්කන්ධයකට හිමිකම් කියන අතර තමන්ගේ ගුණ ප්‍රදර්ශනය කිරීමේ මාන්නාධික චේතනා ඔවුන් තුළ නොමැත. එබැවින් කිසිවකු තමන් ලද මඟ ඵල මේ යැයි ප්‍රසිද්ධියේ පවසන්නේ නම් ඒ පිළිබඳ යථාවබෝධයෙන් බලා කරුණු වටහා ගැනීමේ බුද්ධිය අපට තිබිය යුතුය.