Print this Article


දේවදූත සූත්‍රය

දේවදූත සූත්‍රය

සසර ජීවිතය තුළ ක්‍රියාවට ප්‍රතික්‍රියා නොඅඩුව ඇත. කුමන ආගමක් දර්ශනයක් විශ්වාස කළද එම සත්‍යයට යටත්විය යුතුය. එයින් ගැලවීමට හෝ වැළකීමට කිසිවෙකුට හෝ නොහැකිය. සූත්‍රය පෙන්වාදෙන්නේ ඔබේ ක්‍රියාවේ වගකීම ඔබ සතු බවත් එහි ඵල විපාක ඔබම භූක්ති විදිය යුතු බවත්ය. එය මව්දෙමාපියන් හෝ වෙනත් කෙනෙකුට පැවරිය නොහැකිය. මිනිසා මෙලොව සිටින කාලසීමාවලට වඩා වැඩි ප්‍රමාණයක් සසර ජීවත්වේ.අඩුකාල සීමාවක අයහපත් ක්‍රියාකාරකම් නිසා වැඩිකාල සීමාවක් සසර දුක්විදීම යහපත් නොවේ.

ඕනෑම ක්‍රියාවක හොඳ හෝ නරක තමන් විසින්ම වින්දනය කළ යුතු බව දේශිත සූත්‍ර අතර දේවදූත සූත්‍රය ප්‍රධානය. සූත්‍රපිටකයේ දේවදූත සූත්‍ර දෙකකි. ඉන් එක් දේශනාවක් අංනි ඇතුළත් අතර ඉහත දේශනාව ම.නිකායේ අන්තර්ගතය. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ දිව්‍යලෝකයෙන් ආරම්භ කර නරකයෙන් අවසන් කිරීමයි. දේවදූතයන් ආශ්‍රය කොටගනිමින් ලෝක යථාර්ථය පැහැදිලි කිරීම මෙම දේශනාවේ අරමුණයි.

ලෝකයෙහි වසන සත්වයන්ගෙන් කොටසක් යහපත් කායකර්ම මෙන්ම වචීකර්ම (යහපත් වචනය) සිදුකිරීමෙන් හා උසස් මනස යහපත්ව යෙදවීම නිසා යහපත් ප්‍රතිඵල ලබා ගනී. එමෙන්ම මරණින් පසු මිනිසුන් අතර උසස් මිනිසෙකු ලෙස උපදී (තේ කායස්ස භේදා පරම්මරණා) එසේ මිනිසත් බව ලැබෙනුයේ සිත කය වචන යන තිදොර මනාව සකසා ගනිමින් කටයුතු කිරීම තුළිනි. එවන් මනුස්ස ප්‍රතිසන්ධිය සඳහා සුදුසුකම් අතර ආර්යයන් හෙවත් උතුම් මිනිසුන්ට අපවාද නොකිරීමත් යහපත් දර්ශනයකින් යුතුව සුළු ලාභය නිසා හෝ මිථ්‍යා දෘෂ්ටික නොවීම ‘අරියාන් අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්ම සමාදානා” අතිශයින්ම වැදගත්ය.

අයහපත් ක්‍රියාකාරකම්, නිසා කය වචන මනස යන තිදොර දූෂ්‍ය වන්නේද එයින් බොහෝ පිරිසකට අයහපතක්ම වේ. එවැනි අයහපත් කාය වාග් මනෝ ක්‍රියාකාරකම් සිදුකළවුන් මරණින් පසු පේ‍්‍රත භවයන් වල උපත ලබති. (පරම්මරණා පෙත්තිවිසයං උපපන්නා) එම උපත සඳහාද උතුම් පුද්ගලයන් අපහාස ගර්හාකිරීම මිථ්‍යාදෘෂ්ටීන්හි පිහිටා බොහෝ නොකටයුතුකම් සිදුකිරීම හේතුවේ.

කාය, වාග්, මනෝ දුශ්චරිත හේතුවෙන් තවත් කොටසක් මරණයෙන් පසු තිරිසන් යෝනියෙහි උපත ලබති. මෙම පිරිස් අතර ඉහත අයහපත් යැයි සම්මත දේ වඩා වැඩි ප්‍රමාණයකින් සිදුකළ පිරිස් මරණයෙන් පසු අපාගතව බොහෝ වධබන්ධනයන්වලට ලක්වේ. “අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නාති”මෙවන් නිරයන්හි විදීමට සිදුවන දුක් ගැහැටයන්ගේ ස්වභාවය ලෞකික භාෂාවකින් කීමට පවා නොහැකි තරම්ය. එතරම් වූ බන්ධනයන්ට ලක්වන අයුරු මෙම සූත්‍ර දේශනාවේදී යම් අවබෝධයක් ලද හැකිය.

නිරයේදී වධබන්ධනයන්ට ලක්වන අයුරුත් වරද කිරීම අනෙකෙකුට පවරා නිදහස් විය නොහැකි බවත් මෙහිදී අවධාරිතය. මනුෂ්‍ය ලෝකයේදී නම් බලවත් භාවය මත තම වරද වෙනකෙකු පිට පැවරිය හැකිය. එහෙත් අපායේදී ඒ තත්ත්වය වෙනස්ය. අපාගත වූවන් අමතා යමරජු මෙම අමිහිරි සත්‍ය පවසන අයුරු සූත්‍රය විස්තර කරයි. පිළිවෙළින් පළමු දේවදූතයා සිට පස්වන දේවදූතයා දක්වා මිනිසාගේ ජීවිතයේ මුල සිට වයසට යාමත් ඉන්පසු මරණයට පත්වීම දක්වාත් ගළපා යථාර්ථය මෙසේ පැහැදලි කරයි.

අපාගත වන සත්වයෝ යමපල්ලන් විසින් එකෙණෙහිම යමරජු වෙත පමුණුවනු ලැබේ. එහිදී යමරජු එක එල්ලේම දඩුවම් නොකොට ඔහුගේ වරදේ ස්වභාවයත් ආදීනවත් දේවදූත” යන අන්වර්ථ නාමය පෙරටුකොට ගෙන පැහැදිලි කරදෙයි. එය එකින් එක මෙසේ විමසා බැලීම සුදුසු වේ.

‘යම රජු මෙසේ ප්‍රශ්න කරයි. එනම් තම මළ මුත්‍රා ගොඩේම කිසිවක් නොතේරෙන පුංචි දරුවන් සිටිනවා නුඹ දැක ඇත්ද? එසේ දැක ඇති මුත් ප්‍රථම දේවදූතයා දැක නැති බව ඔහු පිළිතුරු දෙයි. එසේ දැක තිබියදීත් නුඹ යහපත් දේ නොකළහ. හොඳ නරක වටහා නොගත්තේය. එහෙයින් නුඹ එයට බොහෝ නරක විපාක මෙහිදී විදිය යුතුවේ. ඔබ අපාගත වූයේ වෙන කෙනෙකුන් කරන ලද ක්‍රියාවකට නොව ඔබ විසින් කරගත් ක්‍රියාකාරකම් නිසාවෙනි. මෙයින් පෙනෙනුයේ කර්ම කරන්නා කර්ම වින්දනය කළ යුතු බවය. තවදුරටත් යමරජු ඔහු අමතා මෙසේ සඳහන් කරයි. ඔබ අපාගත වීමට බලපාන ලද පාපකර්මය මව, පියා, බෑණා , පුතා , මිත්‍රයා විසින් සිදුකළ එකක් නොව ඔබ විසින්ම කළ ක්‍රියාවකි. එහෙයින් ඔබම මෙහි විපාක විදිය යුතුමය.

2.ඔබ දෙවැනි දේවදූතයා දුටුයේදැයි පෙර වැරදි කරුවාගෙන්ම යම රජු ප්‍රශ්න කරයි. එයට නැත යැයි පිළිතුරු ලැබෙයි. එවිට යමරජු ප්‍රශ්න කරනුයේ බොහෝ සෙයින් දුර්වල ශරීරය වාරු නැති හැරටිමිටිය තම ආධාරකය බවට පත්කරගත් ලෙඩවී ගිය වෙව්ළමින් ගමන් කරන ස්ත්‍රී පුරුෂ යමෙක් දුටුවේද? එවැනි අය දැක ඇති බව ඔහු පවසයි. එසේ දැක ඇති මුත් ඔබ ඒ ස්වභාවය තේරුම් ගෙන කයින් වචනයෙන් කුසල් නොකළේය. එහි අවාසිය වෙන මව්පිය නෑ හිත මිතුරෙකුට බාරදිය නොහැකි අතර ඔබම එයට විපාක විදිය යුතුවේ.

3.තුන්වන දේවදූතයා ද නුදුටු පෙර චූදිතයාම නැවත යමරජුගේ ප්‍රශ්න කිරීමට ලක්වේ. එහිදී ඔහු පවසනුයේ ඉතාම රෝගී තත්වයන්ට පත්ව තම කටයුතු පවා සිදුකළ නොහැකිව සිටින අය දැක ඇති බවත්ය. තම මළ මුත්‍රා ගොඩේම සිටිමින් කෙනෙකු ඔසවා තැබුවද නැවත ඒ මතට වැටෙන දුක්පීඩාවන්ට පත්ව සිටින බොහෝ අය දැක ඇති බවත් පවසයි. එහෙත් යහපත් දේ කිරීමටය. පමාවීමත් අයහපත් දේ සුලබ වීමත් නිසා ඔහු මෙසේ අපාගත වූ බව පවසන යමරජු මෙහි වගකීම වෙන කිසිවෙකතුට පැවරිය නොහැකි බවත් ඔබම බාරගත යුතු බවත් පවසයි.

4.හතරවන දේවදූතයාද දුටුවේ නැති බව පවසන චූදිතයාගෙන් නැවත යමරජු මෙසේ විචාරයි. එනම් කෙනෙකු මිය ගිය පසු දින දෙකක් තුනක් ගතවීම නිසා ඉදිමී ගිය සැරව ඇති මළකඳන් දැක ඇද්ද එය දැක ඇතිි බව ඔහු පවසයි. එසේ ජීවිතයේ අස්ථිරත්වය දැක දැකත් බොහෝ පාපකර්ම සිදුකළ හෙයින් නුඹම මෙහි විපාක විදිය යුතුය. මෙලෙස පස්වන දේවදුතයා පිළිබඳවද විමසා යමරජු ඔහුට කරුණු පැහැදිළි කිරීම නවතා දමන බව සූත්‍රයෙහි මෙසේ සඳහන් වේ. “යමෝ රාජා පඤ්චමං දේවදූතං සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා තුණ්හි හෝති”

පාපකර්ම නිසා අපාගතවන්නේ විඳින බොහෝ දුක් ගැහැට පිළිබඳ හා එහි ස්වභාවය පිළිබඳවද මෙහි විස්තර වේ. එය පවට මිනිසුන් බිය කිරීම සඳහා බොහෝ සෙයින් හේතුවේ. එම වධබන්ධන කිහිපයක් මෙසේ පෙළගැස්විය හැකිය.

1. රත්වූ යකඩයෙන් අත්වලට පහරදීම
2. රථ යොදා ඇදීම
3. ගිනි පොළොවෙහි ඇවිද්දවීම, පෙරළීම ඇදගෙන යාම
4. පැසෙන ලෝදියෙහි බැස්සවීම, ගිනිකැවීම ,පෙවීම

ආදී බොහෝ කර්කශ දරුණු වධ බන්ධන ලබාදෙයි. එය එසේ වුවත් කර්ම ක්‍ෂය නොවන තෙක් නැවත නැවත වධබන්ධනයන්ට ලක්වේ. කලුරිය කිරීමක් නැත්තේය. එයිනුදු වධබන්ධනයන්හි කෙළවරකට නොපැමිණ යමපල්ලන් විසින් ඔහු මහනිරයට යොමුකරයි. එහි දුක් ගැහැට පෙර සඳහන් ගැහැටයන්ට වඩා අතිශය වේදනාකාරීය. ඒ බව සූත්‍රයේම මෙසේ දැක්වේ.

“තස්ස අයොමයා භූමි ප්ලිතා තේප්සා යුතා”
සමන්තා යෝප්නසතං එරිත්වා තිට්ඨති සබ්බදා

නිරන්තර ඇවිළීගත් ගින්දරෙන් යුත් භූමිය වඩා කර්කෂය . එම ගිනිදැල් සියොදුන් තැන් පැතිර සිටී. තවදුරටත් එහි ස්වභාවය විස්තර වන්නේද දකුණූ බිත්තියෙන් එන ගිනිදැල් උතුරු බිත්තියෙහි වදී අනෙක් දිශාවන්ගේ ස්වභාවයද හා සමානය. ඇට මස් නහර කැඩී බිදී ගියද කර්ම ක්ෂය නොවන තෙක් එහිද සත්වයන් මිය නොයෙති. මෙසේ බොහෝ කාලසීමාවක් නොයෙක් පීඩා විඳිමින් සත්වයා වසර කල්පගණන් අපායේ ගත කරති. එය වෙනකෙනකුගේ වරදක් නිසා සිදුවන්නක් නොව තම කය වචන සිත සංවර නොවීම නිසාම සිදුවන්නකි.

වධබන්ධනයන්ගේ වැඩිවීමට සාපේක්‍ෂව දුක්වැඩිවීමේ අනුපිළිවෙළ මත ගූථනරකය. කුක්කුලනරකය, ආදී නරකයන්හි නාමාවලියක්ම සූත්‍රයෙහි අන්තර්ගතය.

සසර ජීවිතය තුළ ක්‍රියාවට ප්‍රතික්‍රියා නොඅඩුව ඇත. කුමන ආගමක් දර්ශනයක් විශ්වාස කළද එම සත්‍යයට යටත්විය යුතුය. එයින් ගැලවීමට හෝ වැළකීමට කිසිවෙකුට හෝ නොහැකිය. සූත්‍රය පෙන්වාදෙන්නේ ඔබේ ක්‍රියාවේ වගකීම ඔබ සතු බවත් එහි ඵල විපාක ඔබම භූක්ති විදිය යුතු බවත්ය. එය මව්දෙමාපියන් හෝ වෙනත් කෙනෙකුට පැවරිය නොහැකිය. මිනිසා මෙලොව සිටින කාලසීමාවලට වඩා වැඩි ප්‍රමාණයක් සසර ජීවත්වේ. අඩුකාල සීමාවක අයහපත් ක්‍රියාකාරකම් නිසා වැඩිකාල සීමාවක් සසර දුක්විදීම යහපත් නොවේ. තේමිය ජාතකය පෙන්වා දෙන්නේද මෙම සත්‍ය ධර්මයයි.

පරලොව පෙන්වා මෙලොව සැපවත් කිරීමට උත්සාහකරන දර්ශනයක් ලෙස බුදුදහම ඉහත සූත්‍ර දේශනාව තුළින් මිනිස් මනසෙහි අපාය පිළිබඳ චිත්තරූප මවනු ලබයි. දිව්‍ය සම්පත් ලැබීමේ හේතුව ලෙස කාය වචී ,මනෝ සුචරිතයන්ද අපාදුක්විදීමට හේතුව කාය , වචී, මනෝ දුශ්චරිතයන්ද හේතුවන බව අවධාරණය කෙරේ. කර්මය පිළිබඳ මනා අවබෝධයක් ඇතිකරන අතර පව් කිරීමට බයක් ඇතිකරන අයුරු පැහැදිළිව පෙනේ. හිරිඔතප්ප යන ලෝක පාලක ධර්ම නිසා පුද්ගලයාත් සමාජයත් යහපත් වී තම පාරිශුද්ධිය සකසා ගැනීම සඳහා දේවදූත සූත්‍ර දේශනාව මහඟු පිටිවහලක් ලබාදෙන අයුරු පැහැදිලිය.