Print this Article


සියල්ල කර්මයෙන් සිදුවේද?

සියල්ල කර්මයෙන් සිදුවේද?

කර්මය පිළිබඳ ඉගැන්වීමට බුදුදහම තුළ වැදගත් තැනක් හිමි වේ. පෙර කරන ලද කර්මයෙන් සියල්ල සිදුවේ යැයි පිළිගත් ආගමික නායකයෝ බුද්ධකාලයේ ද විසූහ. ඔවුන්ගේ ඉගැන්වීම් බුදුරජාණන් වහන්සේ අතින් ප්‍රතික්‍ෂේප විය. එහෙත් පෙර කරන ලද කර්මයන්ගේ බලපෑම ජීවිතයේ සාර්ථකත්වයට බලපාන බව බුදුරජාණන් වහන්සේ පිළිගත්හ. අංගුත්තර නිකායේ චතුචක්ක සූත්‍රයේ දැක්වෙන පුද්ගල ජීවිතයේ වාසනා ගුණ සතරෙහි සිව්වැන්න පෙර කරන ලද පින් ඇති බවයි.

පුද්ගලයා සචේතනිකව කරන සෑම කායික, වාචසික හා මානසික ක්‍රියාවක් ම කර්ම (පාලි කම්ම) යන වචනයෙන් හඳුන්වනු ලැබේ. මූලික වශයෙන් උක්ත කවර හෝ ක්‍රියාවක් සමහරවිට කුසල ක්‍රියාවක් වෙයි. නැතහොත් අකුසල ක්‍රියාවක් වෙයි. ඒ අනුව කුසල කර්ම හා අකුසල කර්ම යනුවෙන් කර්ම වර්ග දෙකකි. මජ්ඣිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රයෙහි ඒ පිළිබඳ සැකෙවින් විස්තර කරයි. ප්‍රාණඝාත ආදි පස් පව් අකුසල කර්ම වන අතර පස් පවින් වැළකීම කුසල කර්ම වේ.

ඒ කුසල හෝ අකුසල කර්මයන්හි විශේෂ ලක්‍ෂණය වන්නේ විපාක දීමේ ශක්තියක් ඒ හා බැඳී තිබීමය. ඇතැම් කර්මයක් වර්තමාන භවයෙහි විපාක දීමෙන් අවසන් වෙයි. ඇතැම් කර්මයක් දෙවන භවයෙහි විපාක දෙයි. තවත් කර්මයකට ඊටත් පසු භවවල දී විපාක දෙයි. එපමණක් නොව ඇතැම් කර්ම කිසිදු භවයකදී විපාක දීමේ අවස්ථාවක් නොලැබ විනාශ වී යයි. කර්ම සත්ත්වයා වෙත ප්‍රතිසන්ධි හෝ ප්‍රවෘත්ති විපාක ලබා දෙයි. යම් සත්ත්වයකුගේ භවයෙහි උපත අනිවාර්යයෙන් ම කර්මයක ප්‍රතිසන්ධි විපාක වශයෙන් සිදුවෙයි. ප්‍රතිසන්ධිය ලබා දුන් කර්මයේ විපාක ශක්තිය සත්ත්වයාගේ එම භවයෙහි චුතිය තෙක් පවතියි. එසේ පැවතීමේ දී එම ශක්තිය තවදුරටත් තහවුරු කරන හෝ ඊට බාධා කරන නැතහොත් එම ශක්තිය සම්පූර්ණයෙන් ම විනාශ කරන කර්මවලින් ලබා දෙන්නේ ප්‍රවෘත්ති විපාකයි. මේ අනුව පැහැදිලි වන්නේ භවයක් තුළ සත්ත්වයකුගේ උපතටත් පැවැත්මටත් කර්මය බලපාන ආකාරයයි. මේ පිළිබඳ සූත්‍රාගත කරුණු කිහිපයක් පහතින් දැක්වේ.

සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයේ දී බුදුරජාණන් වහන්සේ කොසොල් රජුට වදාළ පරිදි පුද්ගලයා ජීවත්වන කාලය තුළ කරන ලද කුසල (පුඤ්ඤ) හෝ අකුසල (පාප) කර්ම අනුව ඊළඟ භවයෙහි උප්පත්තිය ලබයි. (යථාකම්මං ගමිස්සන්ති පුඤ්ඤපාපඵලූපගා) ඒ අනුව පාප කර්ම කළාහු නිරයගාමී වෙති. පුණ්‍යකර්ම කළාහු සුගතිගාමී වෙති (නිරයං පාපකම්මන්තා - පුඤ්ඤකම්මා ච සුග්ගතිං) මෙයින් පැහැදිලි වන්නේ කර්මයේ බලපෑම මත මරණින් මතු ඊළඟ භවයේ උපත තීරණය වන බවයි.

මජ්ඣිම නිකායේ චුල්ලකම්මවිභංග සූත්‍රයට අනුව පුද්ගලයා කර්මය ස්වකීය කොට ගත් අයෙකි. කර්මය දායාද කරගත් අයෙකි. කර්මය උත්පත්ති කොට ගත් අයෙකි. කර්මය ඥාති කරගත් අයෙකි. එය පිහිට කරගත් අයෙකි. මිනිස් ජීවිතවල විවිධතා ඇති කරනුයේ කර්මය බව එම සූත්‍රයෙහි එන ‘කම්මං සත්තේ විහජති යදිදං හීනප්පණීතතාය’ යන පාඨයෙන් කියවෙයි. මිනිසුන්ගේ අල්පායුෂ්ක බව හා දීර්ඝායුෂ්ක බව, අල්පාබාධී බව (අඩු ලෙඩ ඇති බව) හා බව්හාබාධී බව ( බොහෝ ලෙඩ ඇති බව) වර්ණවත් බව හා දුර්වර්ණ බව, ආඪ්‍ය බව හා අනාඪ්‍ය බව, දුප්පත් බව හා පෝසත් බව, කුලීන බව හා කුලහීන බව, ප්‍රඥාවත් බව හා මෝඩ බව ඇති කරන්නේ කර්මය බව ඉන් කියවේ. මිනිසුන් ලෙස අප ලබා ඇති ජීවිත විවිධත්වයේ හා ප්‍රතිලාභ විවිධත්වයේ මූලික හේතුව කර්මය බවයි මින් පැහැදිලි වන්නේ.

ඉහත දක්වන ලද කරුණුවලින් හැඟවෙන්නේ කර්මය හා පුද්ගල ජීවිතය අතර ඇති සම්බන්ධතාව පිළිබඳ බෞද්ධ අදහසයි. මෙම අදහස් බෞද්ධ දර්ශනයේ මූලික දාර්ශනික කරුණු හා සම්බන්ධ නොකර යමෙක් ‘සියල්ල පෙර කරන ලද කර්මයෙන් සිදුවේ’ යැයි ප්‍රකාශ කෙරෙයි නම් එය බුදුදහමට කරන අභූත චෝදනාවකි.

කර්මය සියල්ලේ තීරකයා යැයි බුදුදහම පිළිගන්නේ නැත. එසේ පිළිගන්නේ නම් එය බුදුදහමේ මූලික ඉගැන්වීමක් වන පටිච්චසමුප්පාදයට සපුරා පටහැනි වෙයි. කර්මය අනුව සියල්ල සිදුවන බව පිළිගන්නා විට එයින් කියවෙන්නේ කර්මය සියල්ලෙහි එකම හේතුව බවයි. එම අදහස ඒක හේතුක වාදයට වැටෙන්නකි. එකම හේතුවක බලපෑමෙන් පමණක් ඵලයක් ඇති වන බව කිසිදු ආකාරයකින් පටිච්චසමුප්පාදයෙන් නොකියවෙයි. එයින් කියවෙන්නේ හේතු රාශියක් නිසා ඵල රාශියක් ඇතිවීම පිළිබඳව ය.

ජීවිතය හා සම්බන්ධ අලාභ දුක් කරදර නින්දා අවමාන හා නොලැබීම් ආදිය බොහෝ දෙනා තේරුම්ගන්නට උත්සාහ ගන්නේ කර්මය තුළින් වුවත් කර්මය එහි එක් පැතිකඩක් පමණි. ඒ හා සමගාමීව සමාජ, ආර්ථික, දේශපාලනික, පාරිසරික, මනෝසංචේතනාත්මක කරුණු ද බලපාන බව බුදුදහමේ පිළිගැනීමයි. පඤ්චනියාම ධර්ම තුළින් විවරණය වී ඇත්තේ එයයි.