Print this Article


ලෞකික ලෝකෝත්තර උභයාර්ථය

ලෞකික ලෝකෝත්තර උභයාර්ථය

ශ්‍රී ලංකා ඉතිහාසය වෙනස් කළ අද්විතීය සිදුවීම වු කලී ක්‍රි.පූ. 236 දී සිදු වූ ‘මහින්දාගමනය’ බවට විවාදයක් නැත. එම ඓතිහාසික මහින්දාගමනය සිදු වී මෙම පොසොන් පුන් පොහෝ දිනයට වසර 2250 ක් සම්පූර්ණ වේ. එබැවින් එදා මහින්දාගමනයෙන් අප ලද දායාදයන්ගේ හරය කවරේදැයි වඩා ගැඹුරින් විමර්ශනය කිරීමට මෙය ඉතා සුදුසුම මොහොත බව අපගේ විශ්වාසයයි.

ක්‍රි.පූ. 544 දී සිදු වූ විජයාගමනයෙන් ශ්‍රී ලංකාද්වීපය ජනාවාස වූ බවට පිළිගැනීමක් පවතී. එසේ වුවද විජය ඇතුළු ආර්යයන් මෙහි පැමිණෙන විටත්, දේව, නාග, යක්‍ෂ හා රාක්‍ෂ නමින් හැඳින් වූ ස්වදේශික ගෝත්‍රික ජනතාවක් මෙරට විසූ බව මහාවංශය ඇතුළු වංශකතාවල සඳහන් වී තිබේ. ආචාර්ය ශිරාන් දැරණියගල වියතාණන් සිය පුරාවිද්‍යා කැණීම් මඟින් තහවුරු කර ඇති බලංගොඩ මානවයාගේ පරිණාමයක් ලෙස එකී ජනතාව මෙහි සිටියා විය හැකිය. ඒ වන විට ඔවුන් එතරම් ඉහළ ශිෂ්ටත්වයකට පත් වී සිටි වගට මෙතෙක් පුරාවිද්‍යාත්මක සාධක හමු වී නැත. එසේ වුවද තපස්සු, භල්ලුක වෙළඳ දෙබෑයන් වෙළඳාම පිණිස මෙරටට පැමිණීමත්, බුදුන්වහන්සේ මහියංගණයට වැඩම කළ අවස්ථාවේ සුමන නම් දේවයා දහම් අසා සෝවාන් ඵලයට පත් වීමත්, විජය එන විට කුවේණිය ඇතුළු පිරිස කපු කටිමින් සිටි පුවතත් වංශකතාවල සඳහන් වී තිබේ. එම තොරතුරු, මෙරට සිටි ජනතාව අශිෂ්ටයන් ලෙස බැහැර කිරීමට අපිට ඉඩ නොදෙයි. එමෙන්ම විජයට පෙර හෝ ඊට සමකාලීනව හෝ ආර්යයන් කුඩා කණ්ඩායම් වශයෙන් මෙරටට පැමිණෙන්නට ඇති බවට තිබෙන අදහස් ද අපට බැහැර කළ නොහැකිය. මෙම කරුණුවලින් අපට නිගමනය කළ හැකි වන්නේ කිසියම් ප්‍රමාණයකට ශිෂ්ටාචාරගත වෙමින් සිටි ස්වදේශික ජනතාව අතරට විජයකුමාරයා ප්‍රධාන ආර්යයන්ගේ පැමිණීම සිදු වී තිබෙන බවයි.

එසේ පැමිණි විජය ප්‍රධාන පිරිස තමන් උත්තර භාරතයෙන් රැගෙන ආ සංස්කෘතිය හා සමාජය එලෙසින්ම මෙරට පවත්වාගෙන ගියාට සැකයක් නැත. ස්වදේශික ජනතාව ඔවුන් හා විවිධ ගැටුම් මැද වෙනමම ජීවත් වී තිබේ. ඉතා දුරදර්ශී නුවණින් යුක්තව මේ තත්ත්වය වෙනස් කරමින්, ස්වදේශීය ජනතාව හා සම්මිශ්‍රණය වෙමින් සත්‍ය වශයෙන්ම සිංහල ජනතාව බිහිකරනු ලැබුවේ ක්‍රිස්තු පූර්ව හත්වැනි සියවසේ දී මෙරට රජකළ පණ්ඩුකාභය රජතුමා බව වංශ කතාවල දැක්වේ. මේ කාලය වන විට උත්තර භාරතයෙන් මෙරටට ලැබුණු බමුණු, ජෛන ආදී ආගම් මෙන්ම ඒ වන විටත් මෙරට තිබූ යක්‍ෂ ඇදහිල්ල, මළවුන් පිදීම, වෘක්‍ෂ වන්දනය ඇතුළු තිරශ්චීන ඇදහීම් සහ විශ්වාස මෙරට ප්‍රචලිතව තිබූ බව සෙනරත් පරණවිතානයෝ පෙන්වා දෙති. මිහිඳු මහ රහතන් වහන්සේට, රටේ රජතුමා හමුවන්නේ ද ඔහු සිය පිරිවර සමඟ දඩකෙළියේ යෙදී සිටියදී වීම විශේෂත්වයකි. එය එවකට මෙරට තිබූ සමාජය හකුළුවා දක්වන සංකේතයක් මෙනි.

නිර්මල බුදු දහම රැගෙන මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළේ එවැනි මිථ්‍යා දෘෂ්ටික ආගම් මෙරට සමාජය වසාගෙන තිබූ අවදියකදී ය. මහින්දාගමනයේ දී සිදු වී ඇති සිදුවීම් විමර්ශනය කරන විට, යටකී බරපතළ මිථ්‍යා දෘෂ්ටියේ ගිලී සිටියද සිංහල ජනතාව තුළ යමක් තර්කානුකූලව සහ යථාර්ථවාදී ලෙස වටහා ගත හැකි ඥානයක් තිබූ බව පෙනේ. මිහින්තලාවේ දී මිහිඳු මහ රහතන් වහන්සේ සහ දේවානම්පියතිස්ස රජතුමා අතර ඇති වූ අඹ පැනය සහ නෑසිය පැනය ඊට නිදසුන් වේ. මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට නිර්මල බුදු දහම රැගෙන වඩින්නේ එවැනි පසුබිමක් තුළ දී බව අප විසින් සැලකිය යුතු ය. උන්වහන්සේ අපට හඳුන්වා දුන් බුදුදහම මුළුමණින්ම අවිහිංසාවාදී එකකි. කරුණාව, මෛත්‍රිය, සමානාත්මතාව, වීර්යය, කැපවීම එහි ඉතා වැදගත් අංග විය. ජීවිතයේ සැබෑ සතුට හෙවත් සංතුෂ්ටිය උදාකරගත හැකි වන්නේ සරල අල්පේච්ඡ ජීවිතයක් ගත කිරීමෙන් බව බුදුදහමෙන් ඉගැන්විණි.

මේ සියල්ල එකට කැටිකර ගත් විට අපට පෙනෙනුයේ ජීවිතයේ සියල්ල දුක් සහිත යැයි ද අනිත්‍ය යැයි ද ගනිමින් ලෞකික ජීවිතය අතහැර ලෝකෝත්තර විමුක්තිය කරා පමණක් ජනතාව මෙහෙයවීමක් නොවේ. තමන් තමාවම උපමාවට ගනිමින්, අනෙක් සියලු දෙනාටම කරුණාවෙන් සහ මෛත්‍රියෙන් සලකමින් යහපත් ආජීවයකට පුද්ගලයා යොමු කරවීමකි. එමගින් පළමුව මෙලොව ජීවිතයත්, දෙවැනිව පරලොව ජීවිතයත් වශයෙන් ඉතා ක්‍රමානුකූලව විමුක්තිය කරා පුද්ගලයා මෙහෙයවන ඉතා ප්‍රායෝගික වූ මඟ පෙන්වීමකි.

මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලාවේ දී දේවානම්පියතිස්ස රජතුමාට චුල්ලහත්ථිපදෝපම සූත්‍රයත්, දේශනා කළහ. අනුරාධපුර රජ මාලිගාවේ දී විමානවත්ථු සහ පේතවත්ථු කතා සිය දේශනාවන්ට තෝරා ගත්හ. දේව සූත්‍රය සහ බාල පණ්ඩිත සූත්‍ර තේමා කරගනිමින් සාමාන්‍ය ජනතාවට දහම් දේශනා කළහ. මිහිඳු මහ රහතන් වහන්සේගේ මෙම සියලු ධර්ම දේශනා ජීවිතයේ ප්‍රායෝගික තත්ත්වයත්, එය අපගේ මෙලොව සහ පරලොව ජීවිත කෙරේ බලපාන්නේ කවර ආකාරයකට ද යනවගත් මනාව විවරණය කරයි. එය වටහා ගනිමින් වීර්යයෙන් සහ කැපවීමකින් යුක්තව පුද්ගලයා නිර්වාණය කරා ගමන් කළයුතු වන්නේ කෙළෙසකට ද යන වගත් ඉතා මැනවින් පැහැදිලි කරයි. මෙම සියලු දේශනා සමකාලීන සමාජයෙහි ජනතාව ගත කළ ජීවිත හා නොගැටෙමින් ද එහෙත් ඒවායේ නිස්සාරත්වය මනා ලෙස පැහැදිලි කර දෙමින්ද ජන මනස ඉතා ක්‍රමානුකූලව අවදි කළ ඒවා බව හඳුනාගත හැකි වේ. එය ශූර සන්නිවේදකයෙකුගේ සාර සන්නිවේදනයක අග්‍ර ඵලයකි. බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් ලෙස මිහිඳු මහ රහතන් වහන්සේගේ කුසාග්‍ර බුද්ධිය පිළිබිඹු කරන අවස්ථාවකි. එහි විශිෂ්ට ප්‍රතිඵලය වූයේ තමන් කිසි දිනයක නොඇසූ, නොදුටු නව දහමක් ශ්‍රී ලාංකික ජනතාව විසින් එය ජීවන දහම ලෙස පිළිගනු ලැබීමය. දඹදිව ධර්මාශෝක මහ රජතුමා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයකට ධර්ම දූතයන් යවා තිබෙන බව, එතුමාගේ සෙල් ලිපිවල සඳහන් වේ. එහෙත් ඒ කිසිදු රටක, ශ්‍රී ලංකාද්වීපයේ තරම් ස්ථිරසාරව බුදුදහම මුල් බැස ගත් බවක් නොපෙනේ. මිහිඳු මහරහතන් වහන්සේගේ මෙහෙවරෙහි සාර්ථකත්වයට එයම මනා සාක්‍ෂියකි.

මහින්දාගමනය නිසා, ශ්‍රී ලාංකික ජනතාවගේ අධ්‍යාත්මික තලයේ සහ ප්‍රායෝගික ජන ජීවිතයේ සිදු වූ අර්ථාන්විත වෙනස මෙම ඓතිහාසික සංසිද්ධියේ සැබෑ වටිනාකම අපට මතු කර පෙන්වයි. එම වෙනස ප්‍රධාන වශයෙන්ම අංශ දෙකක් ඔස්සේ හඳුනාගත හැකි බව අපගේ විශ්වාසයයි.

ප්‍රාග් බෞද්ධ යුගයේ දී ශ්‍රී ලාංකික ජනතාව, විවිධාකාර මිථ්‍යා විශ්වාසවල ගිලෙමින්, තමන් පිළිබඳ වගකීම තමාට බැහැරින් සිටින දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, ඊශ්වරයෙකුට හෝ සදාකාලික ගැලවුම්කරුවෙකුට පවරා තිබිණි. මේ නිසා තමන්ගේ ජීවිත පවත්නේ සහ ඒවා හසුරුවන්නේ එකී නොපෙනෙන බලවේගවලින් බව ඔවුහු තදින් විශ්වාස කළහ. මේ බරපතළ මිථ්‍යාවේ ප්‍රතිඵලය, පුද්ගලයා සදාකාලික දුකෙහි ගැලීම මිස, කිසි දිනයක ලෞකික හෝ ලෝකෝත්තර වශයෙන් උසස් තලයකට පත්වීම නොවේ. මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ප්‍රථමයෙන්ම පුපුරුවා හැරියේ මෙම සිරගෙයයි. තමා පිළිබඳ වගකීම ඇත්තේ තමාටම මිස, තමාට බැහැරින් තිබෙන නොපෙනෙන බලවේගයකට නොවන බව දැක්වෙන බුදු දහමේ ‘ස්වච්ඡන්දතාව‘ පිළිබඳ සංකල්පය මිහිඳු මහ රහතන් වහන්සේ ජනතාවට මැනවින් පහදා දුන්හ. මිනිසා උත්තරීතර බවත්, සිතින් හෝ කයින් කරන යහපත් හෝ අයහපත් හෝ කවර ක්‍රියාවකට තමාම වගකිවයුතු බවත් උන්වහන්සේ මැනවින් පෙන්වා දුන්හ. ධම්ම පදයෙහි අත්ත වග්ගයෙහි එන

අත්තාහි අත්තනෝ නාථෝ
කෝ හි නාථෝ පරෝ සියා
අත්තනා ච සුදන්තේන
නාථං ලභති දුල්ලභං

යන ගාථාව මෙය මනාව පැහැදිලි කරයි. මහා පරිනිබ්බාණ සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිවම වදාළේ අනුන්ගේ පිහිට නොපතා තමන් පිහිට කොටගෙන විසීමටය. තම බුද්ධියත් ව්‍යායාමයත් ඉවහල් කරගෙන සියලු බන්ධනවලින් නිදහස් වීමේ බලය මිනිසා සතුව පවතින බවය. මිනිසා සතු මෙම උත්තරීතරත්වය ලොව වෙනත් කිසිම දහමක නොදැක්වෙයි. තමාගේ ස්වාමියා තමාමය යන පැහැදිලි අවබෝධය ලැබීමත් සමඟම එම පුද්ගලයා තුළ තමා කෙරෙහි අචල විශ්වාසයක් ඇතිවෙයි. ක්‍රමයෙන් අයහපත් සියලු ක්‍රියාවලින් දුරස්වීම අරඹයි. මේ උදාර ගුණය සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ මුල් බැස ගැනීමේ ප්‍රතිඵලය වූයේ, මෙරට ජනතාව සැබෑ මිනිසත්කමින් පිරිපුන් විශිෂ්ට ජාතියක් බවට පත්වීමයි.

තමා කරන දෙයෙහි විපාක ලබන්නේ තමාමය යන ගැඹුරු දහම තේරුම් ගැනීමත් සමඟම, ජනතාව ඊළඟට යොමු වූයේ සිය ලෞකික ජීවිතය කවර ආකාරයකට සකසා ගත යුතුද? යන ප්‍රශ්නය වෙතටයි. බුදු දහමෙහි මනුෂ්‍යයාගේ ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට ඇති ප්‍රායෝගික ක්‍රියාමාර්ගය මිහිඳු මහරහතන් වහන්සේ මෙරට ජනතාවට ඒ සඳහා ඉතා මැනවින් පෙන්වා දුන්හ. එය වූ කලී ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවන් දියුණු කරගෙන පරිපූර්ණත්වයට පැමිණීම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අදහස් කෙරේ.

ඉතිරි කොටස 19 වැනිදා පත්‍රයේ පළවේ..