Print this Article


දුක් සෝ සුසුම් නැති සනාතන දහම

දුක් සෝ සුසුම් නැති සනාතන දහම

අප මෙතෙක් ගෙවා ගෙන ආ සසර ගමන කොතරම් දීර්ඝ දැයි අපට නොතේරේ. අපි වරක් දෙව් ලොවටත්, තවත් වරෙක බඹ ලොවටත්, තවත් වරෙක මනු ලොවටත් පැමිණියෙමු.

සසර ගමනක සැරි සරන්නට බොහෝ දෙනෙකුන් බිය නැතිමුත්, සියලු දෙනාම දුක් විඳින්නටත් දඬුවම් ලබන්නටත් බිය වෙති. මේ සත්‍යය පෙන්වා දෙන්නට සමත් කෙනෙක් ලොව පහළ වන්නේ කලාතුරකිනි. අතිදුර්ලභව ලැබෙන බුදු සසුනකින් පමණක් මෙය අසන්නට ලැබේ. චතුරාර්ය සත්‍යය යනු එයයි.

චතුරාර්ය සත්‍ය යනු සනාතන දහමකි. කිසිසේත් නො වෙනස් වන දහමකි. අන් අයුරකට පත් නොවෙන දහමකි. මෙයට ආර්ය සත්‍ය යැයි කියන්නේ ඒ නිසාම ය. චතුරාර්ය සත්‍යය අකාලික ධර්මයක් නිසා හැමදාම අලුත් ය. විද්‍යානුකූල ය. නුවණැත්තන්ට විවෘත ය. ඕනෑම බුද්ධිමත් කෙනෙකුට ශ්‍රද්ධාව තිබේ නම් වීරියත් නුවණත් තිබේ නම් චතුරාර්ය සත්‍යය අවබෝධ කළ හැකිය. සත්‍යාවබෝධයට ද මාර්ගයක් තිබේ. ඒ මාර්ගය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. සත්‍යාවබෝධයට මුල් වූ දැකීම සම්මා දිට්ඨිය යි. සත්‍යාවබෝධයට මුල් වූ කල්පනාව සම්මා සංකල්පය යි. සත්‍යාවබෝධයට උපකාර වන පරිදි වචන හැසිරවීම, ක්‍රියා කිරීම ජීවත් වීම ද ඒ මාර්ගයට අයත් ය. සත්‍යාවබෝධයට උපකාරී වන පරිදි වීර්යය කිරීම, සිහිය පිහිටුවීම, සමාධිය දියුණු කිරීම ද ඒ මාර්ගයම ය. කෙනෙකු මුළුමණින් ම සසරින් නිදහස් වෙන්නේ ඒ මාර්ගයේ ගමන් කිරීමෙනි. අවස්ථා හතරක් තුළ නිවන් මග ප්‍රගුණ වේ.

පළමු අවස්ථාව සෝවාන් වීමය. එහි තේරුම සම්මා දිට්ඨිය තුළින් මේ නිවන් මඟ හොඳින් හඳුනාගෙන ඒ මඟට පිවිසීම යි. සෝවාන් වීම පිණිස ඉතා පැහැදිලිව චතුරාර්ය සත්‍යය ගැන අසා දැන ගෙන ඒ ඇසූ ධර්මය ඔස්සේ තම චින්තනය මෙහෙය විය යුතු ය. සෝවාන් වූ කෙනෙකුට සත්‍ය ඤාණය තිබේ. චතුරාර්ය සත්‍ය ඤාණය යනු කුමක් ද? එය නම් දුක ආර්ය සත්‍යයකි. මේ දුකේ හට ගැනීමත් ආර්ය සත්‍යයකි. මේ දුකේ නැති වීමත් ආර්ය සත්‍යයකි. දුක් නැතිවීම පිණිස උපකාරී වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය ද ආර්ය සත්‍යයකි. මෙයයි සත්‍ය ඥානය.

දුක්ඛ සත්‍යය ගැන සෝවාන් වූ කෙනෙකු තුළ ඉතා පැහැදිලි අවබෝධයක් තිබේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීමට හේතු වන්නේ ද එයම ය. මේ ජීවිතය කොටස් පහකින් යුක්ත ය. ඒවා හඳුන්වන්නේ පංචඋපාදානස්කන්ධ නමිනි. සතර මහා ධාතූන්ගෙන් හටගත් රූපත්, ස්පර්ශයෙන් හටගත් වේදනා, සඤ්ඤා, සංස්කාර, නාමරූප හේතුවෙන් හටගත් විඤ්ඤාණය යන මේවා පංච උපාදානස්කන්ධ යි. දුක වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ මේ පංච උපාදානස්කන්ධය යි. මේ පංච උපාදානස්කන්ධයට ම සක්කාය කියා කියනු ලැබේ. ඒ මේ පංච උපාදානස්කන්ධය තුළ තමන් ට අවශ්‍ය පරිදි තමාගේ අභිමතය පරිද හෝ බාහිර කෙනෙකුගේ වුවමනාව මත හෝ පැවැත්විය හැකි ආත්මයක් ඇතැයි යන හැඟීම සක්කාය දිට්ඨිය යි. ඒ හැඟීම මුළුමනින් ම නැසී යන ආකාරයට ඒ පංච උපාධානස්කන්ධය නිසා ඇතිවන ආශ්වාදයත් ඒ නිසාම විඳින ආදීනවයත් ඒ පංච උපාධානස්කන්ධය කෙරෙහි ඇති ඇල්ම දුරු කිරීමෙන් එයින් නිදහස් වෙන්නට පුළුවන් බවත් යන මේ කරුණු අවබෝධ කර ගන්නට සමත් සෝවාන් පුද්ගලයා තුළ දුක පිළිබඳ සත්‍ය ඤාණය ඇති වේ. ඉතිරි ආර්ය සත්‍ය ගැනත් සත්‍ය ඤාණය ඇතිවන්නේ ඒ සමඟම ය. ඒ අවබෝධය ඇති වන විට ඔහු තුළින් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වේ.

තමා තුළින් දුක තේරුම් ගත් කෙනෙකුට මෙතෙක් දුක පැවතුන ආකාරය ද වැටහේ. වර්තමානයේ දුක පවතින ආකාරය ද වැටහේ. ඒ ගැන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පරම සත්‍යයක් බව වැටහේ. විචිකිච්ඡාව නැතිවීම යනු එය යි. එබඳු කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාළ විනය වන සිල් පද රැකීමට ඉතා කැමති ය. ඒ සීල සංවරයෙන්, ඉන්ද්‍රිය සංවරයෙන් ආර්ය මාර්ග පිරිසුදු වන බව ඔහු දන්නා නිසා ය. එවැන්නෙකුට සීලබ්බත පරාමාසයක් කොයින් ද? මෙලෙසින් සම්මා දිට්ඨිය ඇති වූ ආර්ය ශ්‍රාවකයා ආර්ය මාර්ගය දියුණු කර ගැනීම පිණිස ඒ සම්මා දිට්ඨිය පාදක කරගෙන සම්මා වායාම, සම්මා සති යන ගුණ දහම් දියුණු කරගෙන ඉතිරි මාර්ගාංග පුරුදු කරයි.

සෝතාපන්න වූ ශ්‍රාවකයා රාගය ඇතිවන විට එය ඇති වන්නේ සරාගී අරමුණක් ගැන වැරදි ආකාරයෙන් මෙනෙහි කිරීමෙන් බව වහා තේරුම් ගනී. ද්වේශයක් ඇති වූ විට එය ඇතිවන්නේ ද්වේශ සහගත අරමුණ ගැන වැරදි ආකාරයෙන් මෙනෙහි කිරීමෙන් බවත් වහා තේරුම් ගනී. තමා තුළ සකස් වන වැරදි කල්පනාවේ මුල අයෝනිසෝ මනසිකාරය බව ඔහුට පැහැදිලි ය. ඔහු එය දුරු කර ගැනීම පිණිස යළි යළිත් යෝනිසෝමනසිකාරය ඇති කර ගනී. යෝනිසෝමනසිකාරය දියුණු කිරීමට බලවත් ම බාධාව වන්නේ පංච නීවරණ යි. ආර්ය සත්‍යාවබෝධය වළක්වන පාපී අකුසලයටම ඇදි යන ප්‍රමාදය ඇති කරවන ගතියක් පංච නීවරණ තුළ තිබේ. පංච නීවරණ යනු කාමච්ඡන්දය, ව්‍යාපාදය, නිදිමත හා අලස බව , සිතේ විසිරීම හා පසුතැවීම හා විචිකිච්ඡාව යන මේ පසයි. මේ පංච නීවරණ දුරු කරගැනීමේ අවශ්‍යතාවය සෝවාන් පුද්ගලයා තුළ නිතැතින්ම ඇති වේ. ඔහු සිතට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්වල කරන මේ පංච නීවරණයන් ප්‍රහාණ කිරීමට මහන්සි ගනියි.

එමෙන්ම ඔහු පවට ලැජ්ජාවත්, පවට බයත් ඇති කරගෙන කයින් සිදුවන අකුසල් වන ප්‍රාණඝාතයෙන්, සොරකමින්, වැරදි කාමසේවනයෙන් වළකියි. බොරුකීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම යන වචනයෙන් සිදුවන අකුසල්වලින් ද ඔහු වළකියි. එමෙන්ම ඔහු අධාර්මික ජීවනෝපාය මාර්ගවලින් වැළකී ධාර්මික දිවි පෙවතක් ගත කරයි.

මේ ආකාරයෙන් සම්මා දිට්ඨියෙන් යුතු ශ්‍රාවකයා කය, වචනය සංවර කරගෙන සිහි නුවණ දියුණු කර ගනී. ඒ සඳහා කළයුත්තේ සතර සතිපට්ඨානය වැඩීම ය. කායික ස්වභාවයන් ගැන සිහිය පිහිටුවා ගැනීම කායානුපස්සනාව නම් වේ. විඳීම් ගැන සිහිය පිහිටුවා ගැනීම වේදනානුපස්සනාව නම් වේ. සිත ගැන සිහිය පිහිටුවා ගැනීම චිත්තානුපස්සනාව නම් වේ. පංචඋපාදානස්කන්ධය ගැනත් ආයතන හය ගැනත් බොජ්ඣංග ධර්ම ගැනත් චතුරාර්ය සත්‍යය ගැනත් සිහිය පිහිටුවා ගැනීම ධම්මානුපස්සනාව නම් වේ. මේ සතර සතිපට්ඨානයන් වැඩිය යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ විසින් දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයෙහි දී මැනවින් පෙන්වා දී තිබේ. මේ සතර සතිපට්ඨානය තුළ මැනවින් සිත පිහිටුවා ගත් ශ්‍රාවකයා තුළ සප්ත බොජ්ඣංගයන් වැඩෙන්නට පටන් ගනී. බොජ්ඣංග යනු චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරන අංගයන් ය. ඒ බොජ්ඣංග ධර්ම හතක් ගැන භාග්‍යවතුන් වහන්සේ අපට පහදා දී තිබේ. ඒවා නම් සති, ධම්මවිචය, වීරිය, පී‍්‍රති, පස්සද්ධි, සමාධි, උපේක්‍ෂා යන බොජ්ඣංග ධර්මයන් ය.

කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටුවාගෙන වාසය කරද්දී ඔහු තුළ වැඩෙන්නේ සති සම්බොජ්ඣංගය යි. ඉන් පසු ඔහු පංච උපාදානස්කන්ධයන්, සතර මහා ධාතු හා ආධ්‍යාත්මික, බාහිර ආයතනයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් නුවණින් විමසන්නට පටන් ගනී. එවිට ඔහු තුළ ධම්මවිචය සම්බොජ්ඣංගය දියුණු වෙන්නට පටන් ගනී. ඔහු අකුසලයන් ප්‍රහාණය කිරීම පිණිස ඉතා හොඳින් වීරිය කරයි. කුසල ධර්මයන් දියුණු කිරීම පිණිස ඉතා හොඳින් වීරිය කරයි. කුසල් වැඩීමෙහිලා නො පසුබස්නා දැඩි වීර්යයක් ඔහු තුළ තිබේ. ආර්ය සත්‍යාවබෝධයට මුල් වන ආකාරයට ඉතා හොඳින් වීරිය කිරීම වීරිය සම්බොජ්ඣංගය යි. මෙසේ ආර්ය සත්‍යාවබෝධය පිණිස සිහිය පිහිටු වන විට ප්‍රඥාව වැඩෙන විට වීරිය වැඩෙන විට ඒ ආර්ය ශ්‍රාවකයා තුළ මහත් පී‍්‍රතියක් හට ගනී. ඒ පී‍්‍රතිය පවා පවතින්නේ ආර්ය සත්‍යාබෝධයේ අංගයක් වශයෙනි. පී‍්‍රති සම්බොජ්ඣංගය වශයෙන් හඳුන්වන්නේ එයයි.

පී‍්‍රතිමත් සිතක් ඇති විට කය සැහැල්ලු වීම නිතැතින්ම සිදුවේ. එවිට සිත ද සැහැල්ලු වේ. ශ්‍රාවකයා බුද්ධිමත් ලෙස ඒ සැහැල්ලුවට පවා වසඟ නොවී එය ද විදර්ශනාවට හරවන්නට තරම් සමර්ථ වේ. එවිට ඔහු තුළ වැඩෙන්නේ පස්සද්ධි සම්බෝජ්ඣංගය යි. සන්සිඳුණු කය ඇති තැනැත්තා සැපයක් විඳියි. සැපවත් වූ කෙනාගේ සිත සමාධිමත් වෙයි. ඔහු කෙමෙන් කෙමෙන් එම සමාධිය තවත් දියුණු කොට පළමු දෙවන තුන්වන සතර වන ධ්‍යානය දක්වා සිත දියුණු කරයි. දැන් ඔහු තුළ තිබෙන්නේ මැනවින් සමාධිමත් වූ, මෘදු වූ, සමාහිත වූ අකම්පිත වූ සිතකි. සමාධි සම්බොජ්ඣංගය යනු එයයි. ඔහු ඒ සමාධි සැපයට පවා නො ඇලෙන විට සිත උපේක්‍ෂාවට පත් වේ. මේ ආකාරයට මනාකොට සතිපට්ඨානයේ සිහිය පිහිටුවා ගත් ශ්‍රාවකයා සප්ත බොජ්ඣංගයන් වඩන කල්හි අවබෝධ කළ යුතු වූ දුක්ඛ ආර්ය සත්‍යය වන පංච උපාදානස්කන්ධය පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කර ගනී. ප්‍රහාණය කළ යුතු දුක්ඛ සමුදය ආර්ය සත්‍ය වන පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති අවිද්‍යාවත් තණ්හාවත් මුළුමණින් ම ප්‍රහාණය කර දීම යි. සාක්ෂාත් කළ යුතු දුක්ඛ නිරෝධආර්ය සත්‍යය වන අවිද්‍යාව දුරු වීමෙන් ලබන විද්‍යාවත් තණ්හාව දුරුවීමෙන් ලබන විමුක්තියත් සාක්ෂාත් කර ගනී. ප්‍රගුණ කළ යුතු වූ දුක්ඛ නිරෝධගාමිණීපටිපදා ආර්ය සත්‍යය වන ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයත් සීල, සමාධි, ප්‍රඥා තුළ මැනවින් ප්‍රගුණ කර ගනී.

එවිට ඒ ආර්ය ශ්‍රාවකයා චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත් නිසා නිකෙලෙස් විය. තමා ලත් විමුක්තිය ගැන ඥාන දර්ශනයක් ද රහතන් වහන්සේට තිබේ. එය විමුක්ති ඥාන දර්ශනය යි. තමන්ගේ යළි යළි ඉපදෙන ජීවින ගමන අවසන් වූ බවත් නිවන් මග සම්පූර්ණ කරගත් බවත් නැවත කිසි දිනෙක සසර දුකක් නැති බවත් අවබෝධ කර ගනී. මෙසේ සසර දුකට පත්වී සතර අපායේ වැටි වැටී නිමක් නැති දුක් කඳුළු හෙළමින් සෝ සුසුම් හෙළමින් ගමන් කළ සසර ගමන අවසන් කර ගත හැකි වන්නේ බුදු සසුනක් තුළ දීම පමණි.

නයනා නිල්මිණි