Print this Article


ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරයේ පොසොන් පූජෝත්සවය

ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරයේ පොසොන් පූජෝත්සවය

රුහුණේ යාල වනෝද්‍යානය මධ්‍යයේ පිහිටි ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරය අවුරුදු 2200ක් පැරණිය. රහතන් වහන්සේලා දොළොස් දහසක් වැඩ සිටි උතුම් පුණ්‍ය භූමියකි. මෙහි වාර්ෂික පොසොන් පූජෝත්සවය ජූනි මස 10, 11, 12, 13 යන දිනයන්හි අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන් සහභාගී වන මෙම ආගමික මහෝත්සවය මේ වන විට අවශ්‍ය සංවිධාන කටයුතු මැනවින් සම්පූර්ණ වෙමින් පවතී. මහා සිතුල්පව්ව ආලෝක පූජාවත්, කුඩා සිතුල්පව්ව ආලෝක පූජාවත් දර්ශනීය අයුරින් සිදු කිරීමට සූදානම්ව ඇත. ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරය, ගාල්ල යටගල රාජමහා විහාරය ප්‍රධාන අෂ්ඨ මහා විහාරාධිපති දක්‍ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත මැටරඹ හේමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ දායක සභාවේ සභාපති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති සේනාධිනායක විශ්ව කීර්ති ශ්‍රී ත්‍රිසිංහලාධීෂ්වර මහින්ද රාජපක්‍ෂ මැතිඳුන්ගේ උපදෙස් පරිදි හා දායක සභාවේ අනුශාසක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්‍ෂ මැතිතුමාගේ අනුශාසනා පරිදි සිදුකරනු ලබන මෙම උත්සවයේ දී දායක සභාවේ උප සභාපති දිවයින උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ධම්මික ආටිගල මැතිතුමාගේ අනුග්‍රාහක දායකත්වයෙන් සිදු කරන ආලෝක පූජාවත්, මාතලේ ඩයනා බිස්කට් ආයතනාධිපති, ආර්. මඩුගල්ල මැතිතුමාගේ දායකත්වයෙන් කුඩා සිතුල්පව්ව ආලෝක පූජාවත් සහ එම දිනයන්හි පැවැත්වෙන ආගමික හා ප්‍රතිපත්ති පූජාමය අවස්ථාවනට එක්වන ලෙස ආරාධනා කෙරේ.

සිතුල්පව්ව පුදබිමෙහි වැඩිම අවශ්‍යතාවය සම්පූර්ණ කරමින් භික්‍ෂූන් වහන්සේට, මහජනතාවට, වන සියොතුන්ට සා පිපාසාව නිවා ගැනීම සඳහා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිඳුන්ගේ නියමයෙන් ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍ය ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ උපදෙස් පරිදි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කිලෝමීටර 08ක් පමණ දුරින් වූ මැණික් ගඟේ සිට සිතුල්පව්ව පුදබිමට ජලය ලබාදෙන ජල පද්ධතිය අතිගරු ජනාධිපතිතුමා නිරීක්‍ෂණය කිරීම, ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල ගුවන් කඳවුර අණදෙන නිලධාරී දිල්ෂාන් වාසගේ මැතිතුමාගේ හා එම මැතිනියගේ ධන පරිත්‍යාගයෙන් නිම කළ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආනන්ද පිරිස් මැතිතුමාගේ මෙහෙයවීමෙන් කුඩා සිතුල්පව්වේ ශෛලාසනය මතට වැඩමවනු ලැබූ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම, යුද හමුදා 10 වෙනි ඉංජිනේරුසේවා රෙජිමේන්තුව (හම්බන්තොට) මගින් ප්‍රතිනිර්මාණය කරනු ලැබූ වන්දනා නිවහන විවෘත කිරීම ආදී පුණ්‍යමය අවස්ථා රැසකි. පොසොන් පෝය දිනට පෙර දින සිට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කෙරේ. රාත්‍රී මහ සෑ මළුවේ ධම්මචක්කපවත්වන සූත්‍ර දේශනාව පැවැත්වේ. පොසොන් පුර පොහෝ දින සුවිශේෂී ආගමික වැඩසටහන් රැසකි. . ස්වාධීන රූපවාහිනී ආයතනය හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සජීවීව සියලු වැඩසටහන් විකාශනය කරනු ලැබේ.

පොසොන් පූජෝත්සවය සඳහා දිවයිනේ නන් දෙසින් පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමට රජය වෙනුවෙන් හම්බන්තොට මහ දිසාපතිතුමා, අතිරේක දිසාපතිතුමා, තිස්සමහාරාම ප්‍රාදේශීය උපදිසාපතිතුමා ප්‍රධාන රාජ්‍ය ආයතන හා අනුග්‍රාහක ආයතන, පෞද්ගලික ආයතනත් පරිත්‍යාගශීලීන්ගේත් නොමඳ සහය සැලසී ඇති අතර අවශ්‍ය සියලු ආරක්‍ෂාව පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්‍ෂක අංශය, යාල වනජීවි දෙපාර්තමේන්තුව මඟින් මැනවින් සැලසුම් කොට ඇත. සිතුල්පව්ව පුද බිමට පැමිණෙන අති විශාල මහජනතාව සඳහා ආහාරපාන හා දානමය පහසුකම් සැලසීමට දන්සැල් රැසක් සංවිධානය වී ඇත. පානීය ජලය, නවාතැන්, ගමනා ගමන, සෞඛ්‍ය පහසුකම්, ප්‍රථමාධාර ආදී අවශ්‍යතා සියල්ල සංවිධානය වී ඇත. යෝධ කණ්ඩියේ සිට සිතුල්පව්ව දක්වා මාර්ගය සහ කතරගම සිට සිතුල්පව්ව දක්වා මාර්ගයත් දකුණු පළාත් සභාව මඟින් හා මහා මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් මැනවින් අලුත්වැඩියා කොට ඇත.

පොහොය දින සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනාව අතිගරු ජනාධිපතිතුමාටත් රජයටත් ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්‍ෂක අංශය හා රටවාසී සැමට සෙත් පැතීම සහ රට වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන්ට පින් පැමිණවීමත් සිදුකරනු ලැබේ. පරිත්‍රාණ දේශනය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මඟින් පසු දින පහන්වනතුරු විකාශනය කෙරේ.