Print this Article


මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ජුනි 11 දා විවෘත කිරීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ජුනි 11 දා විවෘත කිරීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව 52 වන වරට ජුනි මස 11 වනදා පස්වරු 6 ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා පුදබිමේදී විවෘත කෙරේ.

මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංණුවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහයෙන් අබාන්ස් ආයතනයේ සැදැහැති දායකත්වයෙන් මිහින්තලා ආලෝක පූජාව මිහින්තලා පුදබිමේදී පැවැත්වේ.

ජුනි මස 11, 12, 13 දිනවලදී එම ආලෝක පූජාව අත්‍යාලංකාරයෙන් සිදුකෙරේ.

ජුනි 11 වන දා උදෑසන සහ දවල් සම්බුද්ධ පූජාව පැවැත්වීමද සිදු කෙරෙන අතර මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පස්වරුවේ විවෘත කැරේ. 11 වනදා රාත්‍රී මිහිඳු පෙරහර වීථි සංචාරය කෙරේ.

12 වනදා උදෑසන මිහින්තලා ප්‍රදේශයේ දහම් පාසල් දරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විශේෂ සීල සමාදාන පින්කමද, නෙළුවාකන්දේ ඤාණානන්ද හිමියන්ගේ දම් දෙසුම ඇතුළු දවස පුරා පින්කම් මාලාවක් පැවැත්වේ. පස්වරු 6 ට ආලෝක පූජාව විවෘත කැරේ.

13 වනදා පෙරවරුවේ හා දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව සවස 6 ට විදුලි ආලෝක පූජාව විවෘත කෙරේ. එහිදී පැවැත්වෙන උත්සව සභාවේදී බුදුසරණ දීප ව්‍යාප්ත රචනා තරගයේ ජයග්‍රාහකයන්ට හා උතුරුමැද පළාතේ පාසල් සිසු දරුවන් අතර පැවැති කථික තරගයේ ජයග්‍රාහකයන් වෙත ත්‍යාග හා සහතික පිරිනැමේ. ඊට ජාතික ඉතිරිකිරීමේ බැංකුව මඟින් මුදල් තිළිණපත් පිරිනැමේ.

ලේක්හවුස් බෞද්ධ සංගමය මඟින් පිරිනැමෙන ඩී.ආර්. විජයවර්ධන සම්මානය සහ පියසේන නිශ්ශංක අනුස්මරණ සම්මානය හා බුදුසරණ සම්මානයද තරග ජයග්‍රාහකයන් සඳහා පිරිනැමේ.

එම තෙදින පුරා පැවැත්වෙන උත්සව මාලාවට මැති ඇමැතිවරු ප්‍රධාන අනුරාධපුර මහ දිසාපතිතුමා, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත්, මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක, නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර මහත්වරු ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්. බී. ගනේගල මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වේ.