Print this Article


දහම් කෙත සරු කළ මෙහෙවර

දහම් කෙත සරු කළ මෙහෙවර

සම්මා සම්බුද්ධත්වයට පත් වූ පස්වන සතියේ අජපාල නුගරුක මුලදී අප බුදු පියාණන් වහන්සේ මා ගුරුතන්හි තබාගත යුත්තේ කවුරුන්දැයි සිතූහ. ශීල, සමාධි, ප්‍රඥා ගුණවලින් උන්වහන්සේට සමාන වන කිසිවෙක් නොවූහ.

“ඉතින් මා ගුරුතන්හි තබාගත යුත්තේ මා අවබෝධ කළ ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයමයි”

උන්වහන්සේ පසුව සිතූහ


කිරම විමලජෝති හිමි

මේ සිතිවිල්ල සහම්පතී මහබඹුටද පෙනිණ. හෙතෙම බුදු හිමියන් අසලට පැමිණ මෙසේ කීය.

“ඔබ වහන්සේ නිවැරැදිය..පෙර වැඩ සිටි සම්මා සම්බුදුවරුන්ද ගුරුතන්හි තැබුයේ ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයමයි. ඔබ වහන්සේද එසේමය. ධර්මයට සත්කාර කරමින්, ධර්මයම ඇසුරු කරන සේක්වා!”

ශ්‍රී සද්ධර්මය බුදුපියාණන්ගෙන් ලද ගෞරවය උන්වහන්සේ ජීවත්ව සිටි හතළිස් පස් වසර තුළම දැක්වින. පිරිනිවන් මංචකයේදී උන්වහන්සේ “මෙතෙක් මට කළ ගෞරවය මින් පසු ධර්මයට දක්වන්නැයි කීහ.

“මාගේ ඇවෑමෙන් ධර්ම විනය දෙක ශාස්තෘවරයා වෙයි” “බුදුරදුන් නම් ධර්මයයි. ධර්මය නම් බුදුරදුහුය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු දැන් අපේ උත්තම ශාස්තෘවරයා උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයයි. බුදුරදුන් දැකීම නම් ධර්මය දැකීමයි. බුදුරදුන් රැකීම නම් ධර්මය රැකීමයි. ධර්මය සුරැකිව ජීවමානව පවතින තුරු බුදුරජාණෝද ජීවමානය. අප ධර්මය රැකගනිමු.”

සැබෑ බුද්ධ ශ්‍රාවකයෝ දිවි දී ධර්මය රැකගැනීමට ඉදිරිපත් වූහ. පන්සාළිස් වසරක් පුරා බුදුපියාණන් තැන තැන දෙසූ දහම් ආනන්ද, උපාලි, ඈ හිමිවරුන් සිත්හි රැඳී තිබුණද ඒවා විසිරී ගිය මල් සමූහයක් මෙන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට පෙනිණ. බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු ඒ මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඇරැඹුණ මහා ධර්ම සංගායනාවෙන් සියලු සූත්‍ර දේශන විනය දේශනා පිළිවෙළකට ගෙතුන මල් දම් සේ සැකැසිණ. යළි වෙනස් නොවන සේ මුඛපරම්පරාවෙන් ශ්‍රී සද්ධර්මය පවත්වාගෙන යෑම සඳහා මහා සඟරුවනද ධර්මය අනුව බෙදිණ ධර්මය බෙදා ගනිමින් ඒ ඒ කොටස් සුරැකෙන මං ගොඩනැගින.

ඒ සියල්ල සිදු වූයේ බුදුපියාණන් ජීවමානව සිටිනු දැකීමටය. ශාස්තෘන්වහන්සේ ඇසුරේම රැඳී සිටීමට සිතේ රැස් කැරගෙන සිටි දහම ගතේ දුබලකම් නිසා දෙවෙනි පරපුරකට දෙන්නට ඉඩක් නොලැබී ගත මරණයට පත් වුව හොත් මහ අනතුරකට දහම ගොදුරුවන බව අපේ හිමිවරුන්ට පෙනිණ. ඒ සඳහා උචිතම පිළියම් යෙදුණේ අප ශ්‍රී ලංකාවෙහිය. වළගම්බා මහ නිරිඳු සමයේ අලුවිහාරයේ දී ත්‍රිපිටක ධර්මය ලේඛනාරූඪ කිරීමෙන් ධර්මය සුරක්‍ෂා කැරිණි.

එහෙත් අදමිටු සතුරෝ දහම් පොත් සොය සොයා ගිනිබත් කළහ. දහමට දිවි දුන් උතුම් මහ තෙරහු පුස්කොළ පොත් ගෙන වන වැදී ගල් ගුහාවල සැඟවී දහම රැකගත්හ.

දිගු කලකට පසු වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන් අති දුෂ්කරගමන්වල යෙදෙමින් විසිරී පැවති ත්‍රිපිටක ග්‍රන්ථ රැස් කළහ. ඒ පාලි ත්‍රිපිටක ග්‍රන්ථ 2500 වන බුද්ධ ජයන්තිය නිමිතිකොට සිංහල බසට නැගිණි. මෙය සිංහල ඉතිහාසයේ අතිශය වැදගත් වූ අවස්ථාවක් විය. ශ්‍රී ලංකාවේ වැඩ විසූ උතුම් මහ පඩි හිමිවරුන් ගේ ධර්මඥානය සහ භාෂා ඥානය විදහා දැක්වුණු ඒ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව සිංහල බෞද්ධයෝ මහත් සද්ධාවෙන් පිළිගත්හ.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ පළකොට වසර හතළිහකට පමණ පසු මැලේසියාවේ සිට පූජ්‍ය කිරම විමලජෝති හිමියෝ ලංකාවට වැඩම කළහ. මැලේසියාවේ සහ සිංගප්පූරුවේ විශාල පිරිසක් උන්වහන්සේ සමඟ ලංකාවට පැමිණියහ. ඒ ඇත්තන්ට බෞද්ධ භාවනාවේ රසය හොඳීන් දැනී තිබිණි. කිරම හිමි ඔවුන්ට භාවනා කිරීමට හොරණ දෙකඳවල කුටි තනා දුන්හ පහසුකම් සපයා දුන්හ, භාවනාවේ යෙදුණු ඔවුන්ට තවදුරටත් ධර්ම ඥානය අවශ්‍ය විය. ඒ සඳහා පොත් සොයමින් ඔවුහු අගනුවර ලොකු කුඩා පොත්හල්වලට ගියහ.

“බොහෝ පොත් තිබේ ධර්මය නැත. “

ඔවුහු කිරම හිමියන්ට කීහ.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තන පොත් වෙළෙඳපොළේ නැත. ඉඳහිට ආරාමයක පොත් ගුළක ඒ පොත් කීපයක් තිබුණත් ඒවා පිටතට නොගනී. පෝයදාට පමණක් පොත් ගුළේ දොර ඇරී සුවඳ දුම් ඇල්ලේ. පිටු නොපෙරෙළේ.

ලංකාවට භාවනාවට එන බොහෝ සංචාරකයෝ සිංහල ද උගනිති. වඩාත් පහසුවෙන් ධර්මය වටහා ගැනීමටය, ධර්ම භාවනාවේ යෙදීමටය.

එහෙත් ඔවුන්ට ඉංගී‍්‍රසියෙන් මෙන්ම සිංහලයෙන්ද අවශ්‍ය පොත් සොයාගැනීම අපහසු විය.

“ශ්‍රී ලංකාව ධර්ම භාණ්ඩාගාරය බව ලෝකයේ ප්‍රසිද්ධයයි. ඒ වුණාට හාමුදුරුවනේ බෞද්ධ පොත් නෑනේ.”

දිනක් කිරම හිමියන්ට එක් විදේශිකයෙක් චෝදනා කළේය. කිරම හිමියන්ගේ සිත දැඩි විය. මේ වුවමනාව මා කෙසේ හෝ ඉටු කරනවා. සියලුම බෞද්ධ පොත් ලබාගන්නට පුළුවන් මධ්‍යස්ථානයක් අරඹනවා. සොයාගත නොහැකි පොත් නැවත මුද්‍රණය කරනවා.

උන්වහන්සේ වහා වැඩ ඇරැඹූහ. ලංකාව පුරා පැරැණි පොත් සාප්පුවලින් පොත් දෙකතුන සොයාගත්හ. ඉන්දියාවේ බනාසිදුස් සමාගමට ලියා ඔවුන් ළඟ ඇති බෞද්ධ පොත් ගෙන්වාගත්හ. ලන්ඩන් පී.ටී.එස්.සමාගමේ ත්‍රිපිටක ඉංගී‍්‍රසි මුද්‍රණය හා පරිවර්තන ලැබිණි.කොළඹ මහාබෝධී සමාගමේ අට්ඨකතා, හේවාවිතාරණ මුද්‍රණ සියල්ල ලැබිණි. ඒ පොත් රැස් කැරිණි. 1992 ජනවාරි 02 වැනිදා දෙහිවල ඇන්ඩර්සන්පාරේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ බෞද්ධ පොත්හල විවෘත විය.

උන්වහන්සේ ඉන්පසු බෞද්ධ පොත් ප්‍රදර්ශන පැවැත්වීමද ඇරැඹූහ. 1994 ජනවාරි 01 වැනිදා කොළඹ කලාභවනයේ මුල්ම බෞද්ධ පොත් ප්‍රදර්ශනය පැවැත්විණි.

ලංකාවේ ප්‍රධාන නගරවලද ප්‍රදර්ශන පැවැත්විණ. ධර්ම පිපාසයෙන් සිටින ජනතාවට මේ ප්‍රදර්ශන සිහිල් දිය උල්පත් විය. පිබිදුණු ජනතාව සිය ප්‍රදේශවලටද පොත් ප්‍රදර්ශන ඉල්ලා අප හිමියන් ඇමතූහ.

රටේ නැගි එන බුද්ධි ප්‍රබෝධය අප හිමියන්ට පෙනිණ.කොළඹ බෞද්ධ ලෝක මාවතේකටුනායක ගුවන් තොටුපළේ බෞද්ධ පොත් මධ්‍යස්ථාන බිහි කැරිණි.

“ලංකාවට සංචාරකයන් ඇදගැනීමට ඇති හොඳම ක්‍රමය බෞද්ධ ධර්මය ලබාදීම අප හිමියෝ සිතූහ.”

බුද්ධිමත් සංචාරක මහත්වරුන්ට බුදුදහම හඳුන්වාදීම මේ රටේ සංචාරක කර්මාන්තයට වාසියක්. බෞද්ධ පොත්, බෞද්ධ භාවනා සංචාරකයන් හඳුන්වා දීමෙන් රටට ලැබෙන්නේ ගෞරවයක්.

“විශාල සංචාරක පිරිසක් අද අපෙ බෞද්ධ පොත් මධ්‍යස්ථානයට එනවා” (නැදිමාලේ සහ තුන්මුල්ල)

ඈත ප්‍රදේශවල ජනතාවට බෞද්ධ පොත් බෙදාහැරීම සඳහා උන්වහන්සේ බස්රථයක් මිලට ගෙන ජංගම පොත්හලක් බිහි කර එය රට පුරා සංචාරය කරවමින් ධර්මය බෙදා හැරියහය.

ධර්මද්වීපයේ ධර්මය නැතැයි කී සංචාරකයන්ට කටඋත්තර නැති විය. දැන් ඔවුන්ට ධර්මය තිබේ. ධර්මය හදාරා භාවිතා කිරීමට දෙකඳුවල භාවනා මධ්‍යස්ථානයක්ද තිබේ.

සූත්‍ර පිටකය සරල සිංහල බසට පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙළක් ද උන්වහන්සේ ඇරැඹූහ. පාලි, සිංහල සහ බුදුදහම පිළිබඳ මහා වියත් ගිහි පැවිදි පඬිවරු රැසක් අප හිමියන් වෙනුවෙන් සැදීපැහැදී ඉතා සුළු කලකින් ඒ කාර්යය ඉෂ්ට කළහ.

ඉන් පසු උන්වහන්සේ කළ මහා කාර්යය වූයේ 2500 බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව නැවත මුද්‍රණය කිරීමය. පැරැණි පොත් සොයා ගැනීම අපහසු වුවද අප හිමියෝ වෑයම අත් නොහළහ. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු උන්වහන්සේ සමග සිටියහ. සියලු ත්‍රිපිටක ග්‍රන්ථ ලැබිණ. ඉතා ඉක්මනින් ඉතා අලංකාර ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව දොරට වැඩියේ ය.

ඒ මහා ධර්ම ග්‍රන්ථයෝ රට පුරාම හැම ආරාමයකටම වැඩම කළහ. සැදැහැති උපාසකවරු පෙළගැසී නැදිමාලට පැමිණ සාදු සාදු හඬ දෙමින් ගමේ පන්සල් වලට මහත් ගරු සැලකිලි ඇතිව ත්‍රිපිටක ධර්ම රත්නය වැඩමවාගෙන ගියහ.

පාලි අටුවා සිංහල භාෂාව, පරිවර්තනය කැරැවීම උන්වහන්සේගෙන් ඊළඟට සිදු වූ මහා දහම් මෙහෙයයි. පාලි අටුවා ඉංගී‍්‍රසියට සහ පාලි ටීකා සිංහලට නැගීමට අප හිමියන් ඇරැඹූහ.

ත්‍රිපිටක, අටුවා, ටීකාවලට අමතරව විශුද්ධි මාර්ගය පන්සිය පනස් ජාතක පොත, සද්ධර්මරත්නාවලිය, පූජාවලිය වැනි අපගේ සම්භාව්‍ය කෘතිද උන්වහන්සේ නිසා යළි මුද්‍රණය වී බෞද්ධ ජනතාව සන්තක විය.

ශ්‍රී ලංකාව දහම් දිවයිනක් කළේ මිහිඳු මහ රහතන් වහන්සේය. වැටකේ යුෂ වළඳමින්, කුස ගින්න තවමින් සිතේ ඇති ත්‍රිපිටක ධර්මය රැකගෙන ආ වීරෝදාර අනුරපුර භික්‍ෂූ පරපුරද, වළගම්බා රජ සමයේ ධර්මය ලේඛනගත කොට සිත නිදහස් කරගත් මහා ධර්ම භාණක පරම්පරාවද, කාලිංග මාඝ වැනි විදේශික සතුරන්ගෙන් ත්‍රිපිටකය රැකගැනීමට ධර්මය අඩංගු පුස්කොළ පොත් සමඟ වල්වැදී අනන්ත දුක් වේදනාවන්ට ගොදුරු වු සඟරුවන ද , තැන තැන විසිරී පැවති සූත්‍ර පිටකය එක් රැස් කොට යළි ධර්ම ප්‍රබෝධයකට මං පෑදූ වැලිවිට සරණංකර සංඝරාජ ස්වාමීන් වහන්සේ කිරම හිමියන්ගේ ශ්‍රී සද්ධර්ම රක්ෂණ ව්‍යාපාරය සමග සිහි වේ.

ඒ මහ සඟරුවන වැඩම කළ මඟම වඩිමින් කිරම විමලජෝති මාහිමියෝ විසිවන හා එක් විසිවන සියවස්හි මහා සද්ධර්ම ආරක්‍ෂකයාණෝ වෙති.