Print this Article


සද්පුරුෂයාගේ දානය

සද්පුරුෂයාගේ දානය

මහණෙනි සකසා දන් දී යම් යම්ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම්, මහාධන ඇතියේ මහාභෝග ඇතියේ ආඪ්‍ය ද වෙයි. දරුවෝද, ස්වාමි භාර්යාවෝද, දාසයෝද, කම්කරුවෝද, පිරිවරද, කීකරු වෙති. කන් යොමු කරති. දැනුම සඳහා සිත් පිහිටුවති. “මහණෙනි නිසිකල්හි දන්දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම් මහාධන ඇතියේ මහා භෝග වූයේ ආඪ්‍ය ද වෙයි. සුදුසු කල ඔහුගේ හෝ ඇයගේ යහපත ඵල දෙයි “ “මහණෙනි, දෙන දෙයෙහි නොබැඳුනු සිත් ඇතිව දන්දී යම් යම් තැනක ඒ දානයේ විපාක උපදනේ නම් මහාධන ඇති වූයේ, මහා භෝග වූයේ, ආඪ්‍ය ද වෙයි. උදාර වු පස්කම ගුණයෙන් යුතු භෝග පරිහරණයට සිත නැමෙයි.

පඤ්ච්මානි භික්ඛවෙ සප්පුරිස දානානි , කතමානි පඤ්ච
සද්ධාය දානං දේති සක්කච්ඡං දානං දේති. කාලේන දානං දේති.
අනග්ගහිත චිත්තෝ දානං දේති.
අත්තානංච පරංච අනුපභච්ච දානං දේති”

මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍ය රත්නය වූ ඒ භාග්‍යවත් වු අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා! භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරදී මේ උතුම් වූ දහම් පෙළ දේශනා කළ සේක.දාන පහකි. ඒ කුමක්ද? සද්ධාය දානං දේති. ශ්‍රද්ධාවෙන් දන් දෙයි. ශ්‍රද්ධාව නම් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන්ම ඇතිකරගන්නා වූ ප්‍රසාද ලක්‍ෂණ ගුණයයි. අවබෝධයෙන්ම ශ්‍රද්ධාවට පත්වීම නම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගැනීම අරමුණු කරගෙන නව අරහාදි බුදුගුණ තේරුම් ගැනීමයි. එමෙන්ම එම බුදුගුණයන් වෙතට සමීප වීමයි. එම බුදුගුණයන් තේරුම් ගෙන අවබෝධයට පැමිණෙන විට සිත ඇලීමෙන් සහ ගැටීමෙන් මිදෙන්නට පටන් ගනියි. එවැනි සිතකට ඉතාම පහසුවෙන් දීම පුරුදු කළ හැකිය. පයතපාණී වොස්සග්ගරතො යනුවෙන් සඳහන් කළේ එයයි.

එනම් දෙන්නට සෝදාගත් අත්දෙකක් සහ දීමට නැමුණු අත්දෙකක් යනුවෙනි. දානයකදී සකස් විය යුතු අවස්ථා තුනම මානසික වශයෙන් මෙහිදී සකස් වෙයි. එනම් පූර්ව චේතනා (දානයට පෙරාතුව, අලෝභ,අදෝස, අමෝහ නම් වූ කුසල චේතනා පැවැතීම) මුඤ්චන චේතනා (දානය සිදුකරන අවස්ථාවේදීද අලෝභ, අදෝස, අමෝහ, කුසල චේතනා පැවැතීම) සහ අපර චේතනායි. (දානයෙන් පසුවද අලෝභ, අදෝස, අමෝහ නම් වු කුසල චේතනා පවත්වා ගැනීමයි) මෙයට තවත් දහම් කොටසක් එකතුකර ගත හැකිය. එනම්, “සෝමනස්ස සහගත ඤාණසම්ප්‍රයුක්ත ‘අසංඛාරික’ සිත් පෙළක් පැවතිය යුතු බවය. එහි අදහස මෙසේය. දානමය ක්‍රියාව කෙරේ ප්‍රසාදයෙන්ද , කර්මය හා එහි ඵලය පිළිබඳ අවබෝධයෙන්ද අනුන්ගේ මෙහෙයවීමකින් තොරව තමාගේම සිතේ මෙහෙයවීමෙන්ම සිත හා සිතිවිලි සකස්වීමයි.

දෙවනුව සඳහන් කරන්නේ “ සක්කච්චං දානං දේති “සකසා දන් දෙයි” යනුවෙනි. මෙහිදී “ දාන සංවිභාගරතෝ” යනුවෙන් සඳහන් කළ පරිදි, මනාකොට, පරික්ෂාකාරීවද සංවිධානයෙන්ද විමසා බලා ද දන් දෙන්නේය. ‘කාලේන දානං දේති “ යනුවෙන් සඳහන් කරන්නේ, සුදුසු කාලයෙහිම දන් දිය යුතු බවය. දන් දීමේදි පූජා බුද්ධියෙන් සහ අනුග්‍රහ හෙවත් අනුකම්පා බුද්ධියෙන්ද යුතුව එය කළ හැකිය. එනම්, බුද්ධාදී උතුමන් වෙනුවෙන් සිදුකරන දානය නම් උතුම් ගුණයන් සළකාගෙන කරන පූජාවකි. එය පූජා බුද්ධියෙනි. නැති බැරි අයෙකුට හෝ යමක් ඉල්ලාගෙන පැමිණි කෙනෙකුට හෝ ඤාති හිතමිත්‍ර අයෙකුට යමක් දෙන්නේ නම් එය අනුකම්පාවක් ලෙසය. මෙම කුමන හෝ ආකාරයකින් නිසි කල දානය හෙවත් දීම සිදුකළ හැකිය.

මීළඟට සඳහන් කරන්නේ ‘අනග්ගහිත චිත්තෝ දානං දේති’ යනුවෙනි. එනම්, දෙන දෙයෙහි සිතේ බැඳීමක් නැතිවම දන්දෙන බවය. “ මුත්තචාග” යනුවෙන් සඳහන් කරන්නේද මෙයයි. මෙහිදී පරමාර්ථ ධර්ම කථාවෙහි සඳහන් කරන “පටිනිස්සග්ග” නම් වූ , එනම්, අත්හැරීම, ඉලක්ක කිරීමක් අදහස් කෙරේ. ආධ්‍යාත්මික (අජ්ඣත්ත) හෝ බාහිර (බහිද්ධ) නම් වු කවර දෙයක් වුවද තණ්හා මදමාන දාෂ්ඨින්ගෙන් බැහැරව දීම හෙවත් අත්හැරීම මින් අදහස් කෙරේ. මෙම දාන කතාවෙහි අවසන් වශයෙන් සඳහන් කරන්නේ අත්තානං ච පරංච අනූපහච්ච දානං දේති” යනුවෙනි. එනම්, තමාගේද අන්‍යයන්ගේද ශීලයෙන් ආරම්භ වෙන්නා වූ ගුණයන් නැති නොකොට ගෙනම දන්දිය යුතු බවයි. මෙහිදී පස්පව්, දස අකුසල් වලින් බැහැරවම දානය කළ හැකි වන්නේ නම් කිසිවිටෙක වත් තමාගේ ගුණයකට හෝ අන් අයට හෝ හානියක් විපතක් නොවන්නේය. මෙහිදී ගලපා ගත යුතු දහම් පෙළ මෙසේය. “උට්ඨාන විරියාදිගතේහි භෝගේහි බාහාබල පරිචිතේහි සේදා වක්ඛීත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි “ යන්නයි. එනම්, භෝග හෙවත් ධනය සපයා ගත යුත්තේ උට්ඨාන වීර්යෙන්ද, දෑතේ බාහු බලයෙන්ද , දහදිය වැගිරීමෙන්ද ධර්මානුකූලවම බවය. එසේ උපයාගත් යමකින් දෙන දානය උත්කෘෂ්ඨ දානයක් වීමට මූලික පසුබිම සකස් කරයි.

මෙසේ අවබෝධයෙන් යුතුවම දන්දීම නිසා ලැබෙන විපාකයෝ කවරේද යත්, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති.

“මහණෙනි, සැදැහයෙන් දන් දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම්, මහා ධන ඇතියේ මහා භෝග ඇතියේ ආඪ්‍ය ද වෙයි. උතුම් වර්ණ සෞන්දර්යයෙන් යුතු වූයේ දැකුම්කලු වූයේ, ප්‍රසාද එළවන සුළුවූයේ මනාවූ ප්‍රසන්නද වෙයි “

“මහණෙනි සකසා දන් දී යම් යම්ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම්, මහාධන ඇතියේ මහාභෝග ඇතියේ ආඪ්‍ය ද වෙයි. දරුවෝද, ස්වාමි භාර්යාවෝද, දාසයෝද, කම්කරුවෝද, පිරිවරද, කීකරු වෙති. කන් යොමු කරති. දැනුම සඳහා සිත් පිහිටුවති.

“මහණෙනි නිසිකල්හි දන්දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම් මහාධන ඇතියේ මහා භෝග වූයේ ආඪ්‍ය ද වෙයි. සුදුසු කල ඔහුගේ හෝ ඇයගේ යහපත ඵල දෙයි “

“මහණෙනි, දෙන දෙයෙහි නොබැඳුනු සිත් ඇතිව දන්දී යම් යම් තැනක ඒ දානයේ විපාක උපදනේ නම් මහාධන ඇති වූයේ, මහා භෝග වූයේ, ආඪ්‍ය ද වෙයි. උදාර වු පස්කම ගුණයෙන් යුතු භෝග පරිහරණයට සිත නැමෙයි.

‘මහණෙනි, තමා හා අන් අයට පීඩා නොකොට දන් දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම් මහාධන ඇතිවූයේ මහා භෝගද වූයේ ආඪ්‍යද වෙයි. ගින්නෙන් හෝ ජලයෙන් හෝ රජුන්ගෙන් හෝ සොරුන්ගෙන් හෝ තමාට අපි‍්‍රය අයගෙන් හෝ කිසිවකුගෙන් හෝ ඔහුට හෝ ඇයට භෝගයන්ට කරදරයක්, විපතක්, හානියක් නොවෙයි “

භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම දහම් පෙළ සද්පුරුෂයෙකුගේ දන්දීමෙ පිළිවෙතයි. එසේ අවබෝධයෙන්ම යුතුව සිදුකරන ලද දානයේ විපාක, ප්‍රාර්ථනා කළත් නොකළත් එම සද්පුරුෂයාට ලැබෙයි. සම්මා සම්බුද්ධත්වය පච්චේක බෝධිය, අර්හත්වය අධිෂ්ඨානය කරන කවර බෝධිසත්වයෙක් වුණද පාරමී ගුණ අතර, දානය ප්‍රමුඛත්වයෙන්ම පුරුදු කරයි. නිවන් මඟෙහි පරම අධිෂ්ඨානය වන තෘෂ්ණාව නැති කිරීම මූලික වශයෙන් සැකසී ඇත්තේද දානය ප්‍රධාන කොටගෙනය. දාන චිත්තයෙන් මෙහෙයවන කුසල් මඟ “අත්හැරීමට” එනම් අස්මි මානය ඉවත් කොට සසර බැමි බිඳ දැමීමට මාර්ගය සකසා දෙයි. මෙම ධාතු, ස්කන්ධ ආයතයන්ගෙන් සැදුම්ලත් ශරීර පුඤ්ජය , අනිත්‍ය වශයෙන්ද දුක් වශයෙන්ද අනාත්ම වශයෙන්ද දැක ගනියි (නේතං මම,නේසෝ හමස්මි, නම්සෝ අත්තා)

සකසා දෙන්න, ගෞරවයෙන් දෙන්න. සියතින්ම දෙන්න. හැකි හැම වෙලාවකම හැකි අයුරින්ම දෙන්න. ආත්ම දෘෂ්ඨිය බැහැරකොට, දෙන දෙය සිතින් අල්ලා නොගෙන, ධර්මාවබෝධය ඇතිවම දෙන්න. මග ඵල සහ නිවන ඒ මඟට අරමුණ වනු ඇත.