Print this Article


යහගුණයෙන් තවත් පියවරක් ඉදිරියට තබමු

යහගුණයෙන් තවත් පියවරක් ඉදිරියට තබමු

ලොව බිහි වූ සෑම ශ්‍රේෂ්ඨ ජාතියකටම තම ජාතියේ නැඟී සිටීම සිදුවන ඓතිහාසික සංධිස්ථානයක් තම වංශකතාවේ කවර හෝ ස්ථානයකට බද්ධ වී පවතී. සිහළ ජාතියේ ආර්ය උප්පත්ති කතාවේ තිඹිරිගෙය නිර්මාණය කළ අනුබුදු මහින්ද මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිහිපත් කරන පොසොන් උත්සවය වනාහි ශ්‍රී ලාංකේය පරපුරේ සැබෑ උප්පත්ති දිනයයි. මේ නිසා බුද්ධාලම්භන පී‍්‍රතිය පෙරදැරිව පොසොන් දිනය ජාතික මහෝත්සවයක් ලෙස සළකා සැමරීම යුක්ති යුක්තය.ශ්‍රී ලාංකේය ජන සමාජය එතෙක් ආ ගමන් මඟේ හැරවුම් ලක්‍ෂය වූ මහින්දාගමනය උත්කෘෂ්ට මානව පරපුරක් බිහිවීමේ සංධිස්ථානය ද වෙයි. ශිෂ්ටාචාරවත් වූත්, උසස් සංස්කෘතියකින් හෙබියා වූත්, ස්වයංපෝෂිත වූත් ජාතියක් ලෙස සිහළ ජාතිය ලෝකය හමුවේ නොසැලී සිටින රහස බුදුදහමේ ඉගැන්වෙන සාරගර්භ ප්‍රතිපත්ති මාලාවයි. එදා මහින්දාගමනයෙන් පසු එවකට රට කරවූ දේවානම්පියතිස්ස නිරිඳු ප්‍රමුඛ රාජ රාජ මහාමාත්‍යාදීන් තෙරුවන් සරණ යාමත් සමඟ අවිහිංසාව, අල්පේච්ඡතාව යන යහගුණයන්ගෙන් පරිපූර්ණ යහපත් පුරවැසි සමාජයක් ලක්දෙරණේ ස්ථාපිත විය. සියලු සතා සිවුපාවන්ට, මුළු මහත් පරිසරයටම ජීවත්වීමේ අයිතිය තහවුරු කරමින් මාඝාත ආඥාව පනවා පංචශීලයෙන් සුපෝෂිත උසස් ජනසමාජයක් ලංකාභූමිය තුළ ස්ථාපිත වීමත් සමඟ එම ජාතිය තම ආර්ථිකය, ඇවතුම් පැවතුම්, කල්ක්‍රියාවන් ළාමක ගති ස්වභාවයන්ගෙන් ඔබ්බට රැගෙන ගොස් ජීවත්වීමේ නව කලාවක් ආරම්භ කළහ. ශ්‍රී ලාංකේය ජන සංස්කෘතියේ පුනර්ජීවනය සිදු වූ අනුබුදු මිහිඳු හිමියන්ගේ සම්ප්‍රාප්තිය අති උත්කර්ෂවත් අයුරින් සැමරීම කළගුණ දත් ජාතියක මාහැඟි ගුණයකි. එදා සිට මේතාක් රට කරවූ ඇත්තන්ගේ ආශිර්වාදයෙන් සහ මඟපෙන්වීමෙන් පොසොන් උත්සවය මහත් ඉහළින් අනුස්මරණය කළ බැව් ප්‍රත්‍යක්‍ෂය. පොසොන් උත්සවය වනාහි ආගමික උත්සවයකි, ත්‍රිවිධ රත්නයට ජීවිතය පූජා කරමින් මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ දක්වමින් දන්පින්කම්වල නියැළෙමින් අපේ ජාතිය යහගුණයෙන් තවත් පියවරක් ඉදිරියට රැගෙන යාම කළ යුතුව තිබේ. මිහිඳු හිමියන්ගේ සම්ප්‍රාප්තිය සිදුවූ මිහින්තලාවත්, අටමස්ථානයත් කේන්ද්‍ර කරගත් අනුරාධපුර ශුද්ධ භූමිය පොසොන් උත්සවය සැමරීමේ කේන්ද්‍රීය ස්ථානයයි.

එහෙයින් සතර දිග් භාගයෙන් පැමිණෙන සැදැහැතියන්ගෙන් එකම හිස් ගොඩක් බවට එම බිම පත්වෙයි.මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ සිවු බුදුරජාණන් වහන්සේලාගේ පාද ස්පර්ෂයෙන් ද, ගෞතම මුනිඳුන්ගේ සර්වඥධාතූන් වහන්සේලාගෙන් ද, රහත් මුනිවරුන්ගේ පහසින් ද උති පාරිශුද්ධ භූමියක් බවට පත් වූ ඓතිහාසික අනුරාධපුරය දියුණු ජාතියක මං සළකුණු පෙන්වන තෝතැන්නකි. මේ මනරම් භූමිය අපේ සැබෑ උරුමයයි. මේ සියලු හේතුපාඨයන් සිත්හි දරාගෙන අනුරපුර පින්බිම වැඳපුදා ගැනීමට පැමිණීම බොහෝ වටින්නේ ය. පුද බිමකට පැමිණෙන විට ඊට ඔබින වස්ත්‍රයක් තෝරාගෙන එය ඇඳ පැළඳගෙන පැමිණීමේ සිට ඔබේ සියලු ඇවතුම් පැවතුම් බුද්ධ පූජාවක් බවට පත්කර ගනිමින් මහත් පින්කම් සිදුකරගැනීමට මෙය මහඟු අවස්ථාවකි. බුදුවරුන්ගේ පාද ස්පර්ෂය ලද බිමක් අපවිත්‍ර නොකර, උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් දෝවනය කරන වැව් දිය අපිරිසුදු නොකර, පුරාවස්තුවලට හානි නොපමුණුවා තමා පැමිණි ඒකායන කාර්ය වූ අටමස්ථානය වැඳ පුදා පින් කන්දක් රැස්කරගැනීමේ ඒකායන අරමුණටම සිත් පහදවා ගැනීම සිදුවිය යුත්තකි. දනට පිනට කැමැත්තෝ දන්සල් දෙද්දී තම සාපිපාසාව දුරු කරගෙන ඔවුන්ට ද පින් අනුමෝදන් කිරීම ඔබටත් පින් රැස්වන්නකි.අවුරුදු පන්දහසක් කල් ලොව නිර්මල බුද්ධ වචනය සුරකින දේශය නම් අන්කිසිවක් නොව මේ ලංකාද්වීපයකි. එමනිසා බුද්ධ ආශ්චර්ය, බුද්ධ පෙළහර මේ භූමියේ තවදුරටත් නිරුපද්‍රිතව පවතින්නේ ය. ජන නායකයන් ප්‍රමුඛ සියලු පුරවැසියන් එකාවන්ව දැහැමින් සෙමින් ජීවත්වීම මේ බුද්ධ භූමියේ සුරක්‍ෂිතතාවට පදනම වන්නේ ය. ඔබට විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි.