Print this Article


බුදුදහම පිළිබඳ ආදි ලක්වැසියාගේ පූර්වාවබෝධය

බුදුදහම පිළිබඳ ආදි ලක්වැසියාගේ පූර්වාවබෝධය

මෙරට වැසියා බුදුරදුන් පිළිබඳ හා උන්වහන්සේගේ ධර්මය පිළිබඳ දැන සිටි බවට පැහැදිලි සාධකය නම් බුදුරදුන්ගේ තෙවරක් සිදු වූ මෙරට ආගමනයයි. බුදුරදුන්ගේ ප්‍රථමාගමනය සිදු වූ බව වාර්තා වන්නේ උන්වහන්සේ බුදු වී මාස 8ක් ගිය තැන උදා වූ දුරුතු මස මැදින් පෝය දිනයේදීය. මහාකරුණාවෙන් ලොව බලා වදාරණ භාග්‍යවතුන් වහන්සේ ලක්වැසියාට තමන් වහන්සේගෙන් විය හැකි ශාන්තිය දුටු සේක.

ක්‍රි.පූ. 3 වන ශත වර්ෂයේ මැද භාගයේ දී ශ්‍රී ලංකාවට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුදුදහම මෙහි ගෙනෙන ලදැයි සම්මත මතය වේ. මෙම සිද්ධිය නිල වශයෙන් බුද්ධාගම මෙරටට රැගෙන එන ලද වතාව විය හැකි වුවද බුදුරදුන් හා උන්වහන්සේගේ ධර්මය ගැන තොරතුරු ද භාරතයේ එවකට පාලනය කළ ශ්‍රේෂ්ඨ අධිරාජයාගේ ධර්මප්‍රචාර ආදි දෙස් විදෙස් මහාව්‍යාපාර පිළිබඳ පුවත් ද මහින්දාගමනයට පෙර සිටම මෙරට ජනයා නොදැන සිටියහයි සිතීම නොසෑහේ. (ලක්දිව බුදුසමයේ ඉතිහාසය පිට 52. මහාචාර්ය වල්පොළ රාහුල හිමි) ඉතා ඈතාතීතයේ සිටම ඉන්දු ලංකා සංස්කෘතික සම්බන්ධතාවය පැවැති බවට පැහැදිලි සාධක ඇත.

මේ නිසා මහින්දාගමනයට පෙරාතුරව මෙරට වැසියා එක්තරා ප්‍රමාණයකට බුදුරදුන් සහ උන්වහන්සේ දේශිත ධර්මය හා ඉන්දීය සභ්‍යත්වය සංස්කෘතිය පිළිබඳ යම් අවබෝධයකින් කටයුතු කළ බව නොරහසකි.

මෙරට වැසියා බුදුරදුන් පිළිබඳ හා උන්වහන්සේගේ ධර්මය පිළිබඳ දැන සිටි බවට පැහැදිලි සාධකය නම් බුදුරදුන්ගේ තෙවරක් සිදු වූ මෙරට ආගමනයයි. බුදුරදුන්ගේ ප්‍රථමාගමනය සිදු වූ බව වාර්තා වන්නේ උන්වහන්සේ බුදු වී මාස 8ක් ගිය තැන උදා වූ දුරුතු මස මැදින් පෝය දිනයේදීය. මහාකරුණාවෙන් ලොව බලා වදාරණ භාග්‍යවතුන් වහන්සේ ලක්වැසියාට තමන් වහන්සේගෙන් විය හැකි ශාන්තිය දුටු සේක. එදින අහසින් ලක්දිවට වැඩි සේක. එහිදී දැනට මහියංගනය චෛත්‍ය පිහිටි තන්හි පත්කඩය අතුරා වැඩ හිඳ මහවැලි ගඟ අසළ මහානාග වනයෙහි කඳවුරු බැඳ දෙපක්‍ෂයක්වැ සංග්‍රාමයට සැරසුණු යක්‍ෂයන් සෘද්ධි ප්‍රාතිහාර්යයයෙන් බිය ගන්වා පලවා හැර ඉක්බිති එහි නානා දිගින් රැස්වූ මහාසුමන දෙව්රජ ප්‍රමුඛ ලක්වැසි භෞම දේවතා සමූහයාට දහම් දෙසා ඔවුන් සරණ සිල්හි පිහිට වූ සේක.එදින මහසමන් දෙවිඳු පූජ්‍යවස්තුවක් ඇයද සිටියෙන් හිස පිරිමැද කේශධාතු මිටක් ඔහුට පිරිනමා එදිනම උරුවෙල දනව්වට පෙරළා වැඩි බව වාර්තා වේ. මෙම පුවතේ ඇතැම් කරුණු බුද්ධිමතුන්ගේ අවධානයට යොමුව ඇති බව පෙනේ. මහාවංශයේ මෙම පුවත වාර්තා කරන ආකාරයට, බුදුරදුන් මහියංගනයට වැඩම කර ප්‍රාතිහාර්ය පා (බියජනක වර්ෂාන්ධකාරයක් මවා) එහි සිටි යක්‍ෂයන් බිය ගන්වා මෙසේ වදාළහ. යක්‍ෂයෙනි, තොපගේ මේ භය හා දුක් මම පහ කරන්නෙමි. තෙපි සමඟිව මෙතන්හි මට හිදිනා තැනක් දෙන්නහුද? නොම දෙන්නහුදැයි විමසා ඉන්පසු ඔවුන් දුන් බිම් කඩයෙහි පත්කඩය ඵලා වැඩ සිට හාත්පසින් විශාල කළසේක. ගී‍්‍රෂ්මයෙන් පීඩිත වූ යක්‍ෂයෝ බියපත් වූවෝ ලක්දිව අන්තයෙහි හාත්පසින් සිටියෝ ය. (ලංකාවේ මූදු වෙරළ දක්වා ගියබවය) ඉක්බිති බුදුරදුහු ඔවුන්ට රම්‍ය වූ ගිරිදිවයින මෙහි ළඟා කළ සේක. උන් එහි වන් කල්හි තිබුණු තන්හි තැබූ සේක. සර්වඥ තෙම පත්කඩ හැකුලූ සේක. (ම.ව. 1 පරි. 23 –31 ) යනුවෙනි. මහාකාරුණික ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් මෙහි වැඩම කර මහාවංශයේ වාර්තාකරණ පරිදි මෙරට වැසියන් බිය ගන්නවා තැති ගන්වා ගිනිදැල් විහිදුවා තමන්ගේ උන්හිටි තැන් නැති කොට (එකක් කියා අනිකක් කිරීම) වෙන දිවයිනකට පළවා හැරීමක් කළේයයි පැවසීම කිසිසේත් බුද්ධ චරිතයෙහි සිදුවීමක් විය නොහැකිය. මෙය මහාවංශ කතු මහානාම හිමි මුඛපරම්පරාගත ප්‍රවාදයක් එලෙසම වාර්තා කිරීමක් මිස බුද්ධ චරිතයට එම සිද්ධිය ගැළපේද නැද්ද යන්න ගැන මදක් විමර්ශනසීලී වූ බවක් නොපෙනේ.

නොයෙක් කෙළ ගණන් දේව ගණයා සෝවාන් වූ අතර ගණන් කළ නොහැකි තරම් සත්වයන් තිසරණයෙහි පිහිටි බව සඳහන් වේ. මේ අතර දෙවි දේවතාවුන් මෙන්ම මෙරට වැසියන් ද සිටියා විය හැකිය. සෝවාන් වීමට තරම් හැකියාවක් ඇති කෙනෙකු (මහා සුමනදෙව්රජ) මෙරට සිටීම ගැන සඳහන් වීම වැදගත්ය. ඇතමුන්ගේ අදහස අනුව සුමන යනු දෙවියන් ඇදහූ නැතහොත් වඩා ශිෂ්ට සම්පන්න වූ මෙරට ජනනායකයකු බවය. එපමණක් නොව පූජාහ කේශ ධාතු මිටක් ලබා ගැනීමට එම ප්‍රථම බුද්ධාගමනයේ දී මෙරට වැසි දෙව් රජ සමත් විය.

බුද්ධත්වයෙන් පස්වන වස සැවැත් නුවර වසන භාග්‍යවතුන් වහන්සේ බක් අවපසළොස්වක්දා අලුයම ලොව බලා වදාරණ සේක්. චූලෝදර මහෝදර නම් නා රජුන් අතර මිණි පළඟක් නිසා විය හැකි යුද්ධ දැක ඔවුන් කෙරෙහි කරුණාවෙන් සෘද්ධියෙන් ලක්දිවට වැඩි සේක. දෙව්රම් වෙහෙර දොරටුව සමීපයෙහි කිරිපළු රුකට අධිගෘහිත සමිද්ඩි සුමන නම් දේවතාවා එය උදුරා ගෙන ඡත්‍රයක්මෙන් භාග්‍යවතුන් වහන්සේ මත්තෙහි දරමින් ගෙන ආයේ ය. මණිනාග දිවයිනට (නාගදීපයට) වැඩිය බුදුරදුන් නාගසේනාවට පෙනෙන්නට පෙළහර පා ධර්ම දේශනා කළ සේක. වෛර බැදීමේ දෝෂ හා සමගියේ අනුසස් ප්‍රකාශ කොට අවවාද කළහ. ධර්ම දේශනාවට පැහැදුණු දෙපක්‍ෂයම සමගිව මිණිපළඟ බුදුරදුන්ට පිදීය. බුදුරදු එහි වැඩ සිටිසේක. ඉක්බිති නාග ගෝත්‍රිකයෝ බුදුරදුන්ට දානය පිළිගන්වා බොහෝ දෙනා සරණ සීලයෙහි පිහිටියහ.

කැලණිය සිට පැමිණි මහෝදරගේ මයිල් මණි අක්ඛික නා රජු පූජාව සඳහා යමක් ඉල්ලූ විට මැණික් පුටුව හා කිරිපළු රුක පූජා වස්තු ලෙස පරිත්‍යාග කළ බුදුරදුන් අවවාද කර ආපසු වැඩියහ.

බුදුරදුහුගේ තෙවන වරට ලක්දිවට වැඩම කිරීම සිදු වූයේ බුදු වී අටවසක් ගත වූ තැනය. මණිඅක්ඛිත නම් ලක්වැසි නාගාධිපති බුදුරදුන්ට කළ ආරාධනය අනුව තෙවත වර කැලණියට වැඩියහ. එය සිදු වූයේ වෙසක් මස පුණු පෝදා ය. නාගයෝ බුදුරදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට දානය පිරිනමා ධර්මශ්‍රවණය කළහ. සමන්තකූට වර්ණාවෙහි මේ අසිරිමත් දෙසුම ඉතා සිත් ගන්නා අන්දමින් වර්ණනා කර ඇත. (වැඩි විස්තර සඳහා බලන්න. සමන්තකූට වර්ණනාව)

පඤ්චකාමයෙහි අස්සාර බව දේශනා කළ බුදුරදුන් නාග ජනයා පහදා සුමන දෙව්රජ තෙමගේ ඇයදුමෙන් ශ්‍රී පාදයට වැඩම කොට එහි උන්වහන්සේගේ වම් ශ්‍රී පා සලකුණ පිහිට වූ සේක. භගවත් ගුහාවෙහි (දිවා ගුහාව) දිවා විහරණය කොට දීඝවාපියට වැඩම කර දීඝවාපී ස්තූපය පිහිටි තැන නිරෝධ සමාපත්තියෙන් මද වේලාවක් වැඩහුන් සේක. අනතුරුව අනුරාධපුරයට වැඩම කර බෝ මැඩ, මඟුල් මහසෑය, අකුදා නිදන් කළ තැන ද, ශෛල චෛත්‍ය පිහිටි ස්ථානය ද, මද වේලාවක් නිරෝධ සමාපත්තියෙන් වැඩ සිට දම් දෙසා ආපසු දඹදිවට වැඩම කළහ.

මෙසේ තෙවරක් බුද්ධාගමනය සිරිලකට සිදුවිය. ඒ අවස්ථා තුනෙහිදීම බුදුරදුන් ලක්දිව උතුර දකුණ හා මැදරට ආදී ලෙසින් දිවයිනේ විශාල කොටසක චාරිකාවක නිරත වූ බව පැහැදිලිය. එමඟින් බුදුරදුන් හා උන්වහන්සේ දේශිත පිළිබඳ ලක්දිව වැඩි පිරිසකගේ අවධානය යොමු වී ඇති බව වටහා ගත හැකි ය. මෙරට වැසියන් විශාල පිරිසක් සරණ සීලයෙහි පිහිටීම, ධර්මශ්‍රවණය කිරීම, එක් අයකු සෝවාන් වී ධර්මය ප්‍රථම වරට වටහා ගැනීම වැනි කාරණා සිදුවීමෙන් මෙරට මහින්දාගමනයට පෙර මෙරට වැසියන්ගේ බුදුරදුන් හා දහම ගැන පැවැති වැටහීම පිළිබඳ යම් අවබෝධයක් අපට ලබා ගත හැකි ය. මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලී හිමියන්ගේ අදහස වන්නේ බුදුරදුන්ට මුණ ගැසුනේ මෙරට එකම ජනවර්ගයකි. පළමු හමුවීමේ දී ඔවුන් යක්‍ෂයන් මෙන් අදාන්තය. දෙවන වර වන විට නාගයන් මෙන් මදක් හික්මී සිටියහ. තෙවන ගමන සිදුවන විට දෙවියන් මෙන් වඩාත් ශිෂ්ට සම්පන්න වූහ. (ලංකා බෞද්ධ සංස්කෘතිය, - මහාචාර්ය සිරිසීවලී හිමි)

කෙසේ වෙතත් අපේ වංශකතාකරුවන් මහින්දාගමනයෙන් මෙරටට (ශ්‍රී ලංකාවට) බුද්ධාගම පැමිණීම අශෝක අධිරාජ්‍යයා හා සම්බන්ධ කිරීමට නිසගවම ආසාව බව ඔල්ඩන්බර්ග් හා මහාචාර්ය මලලසේකර යන වියත්හු පෙන්වා දෙති. (වැඩි විස්තර සඳහා බලන්න. - vinaya pitaka introduction p. 52’

බුදුරදුන්ගේ ගිහි කල වංශය ශාක්‍ය වංශයයි. බුද්ධ කාලයේ පටන් ශාක්‍ය වංශිකයන්ගෙන් වැඩි දෙනෙක් බෞද්ධයෝ වූහ. වරක් ශාක්‍ය වංසයේ සැම පවුලකින්ම එක් කෙනා බැගින් බුදුසසුනේ පැවිදි විය යුතුයයි ශාක්‍යයන් අතර සම්මතයක් ඇති කර ගත්තේ බුදුරදුන්ට ගෞරවයක් වශයෙන් ය. මේ නිසා බුදු සසුන හා ශාක්‍යයන් අතර ගසට පොත්ත මෙන් දැඩි බැඳීමක් පැවතුණි. මෙරට ඉතිහාසයේ ආදිතම රජුගේ (විජය) පටන් මුල් අවදියේ පාලකයෝ ශාක්‍ය රාජ කුමාරිකාවක තම අභිෂේක මංගල්‍යයේදී අගබිසව කර ගත්හ. විජය රජුටත් ඔහුගේ පිරිසටත් විවාහය සඳහා කැඳවා ගත්තේ දක්‍ෂිණ ඉන්දියා පඬි රටේ මධුරා පුරෙන් ශාක්‍ය කුමාරිකාවන්ය. විජය රජුගෙන් පසු රජවූ පණ්ඩුවාසුදේව රජු උතුරු ඉන්දියාවෙන් පැවත එන ශාක්‍ය කුමාරිකාවක තම මෙහෙසිය ලෙස සරණ පාවා ගත්තේ ය. ඇය භද්දකච්චායනා නම් වූවා ය. පසුකාලයේ ඇයගේ සහෝදරයන් හය දෙනෙක් ලංකාවට පැමිණ මෙහි ජනාවාස පිහිටුවා ගත්හ. (මහාවංශය 9වන පරිච්ඡේදය)

ප්‍රාග් බෞද්ධ ලංකාවේ ශ්‍රේෂ්ඨ රජු හැටියට සලකන පණ්ඩුකාභය රජු උතුරු ඉන්දියාවෙන් ආ ශාක්‍ය කුමරු සය දෙනොගෙන් එකෙකු වූ දීඝායු කුමාරයාගේ මුනුපුරෙකි. මෙසේ බැලූ කල්හි ලංකාවේ ආදිතම පාලකයාගේ පටන් බොහෝ රජවරු බුදුරදුන්ගේ ශාක්‍ය වංශයට ඤාති සම්බන්ධතා තිබුණු අය වෙති. මොවුන්ගෙන් පැවත ආ එකල මෙරට වැසියෝ බුදුසමය පිළිබඳ නිසැකවම දැන සිටි අය වෙති. එනිසා මහින්දාගමනයට පෙර මෙරට වැසියාට බුදුරදුන් හා උන්වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් තිබෙන්නට ඇතැයි සිතිය හැකිය.

දෙවන පියතිස් අවධිය වන විට මෙහි ශාක්‍ය ජනපද ද කීපයක් තිබුණු බවට වාර්තා තිබේ. ක්‍රි.පූ. 3වන ශතවර්ෂයේ දී කාජරගාම (දැන් කතරගම) නම් ස්ථානයෙහි ක්‍ෂත්‍රිය වංශිකයන් විසූ බවත් අෂ්ටඵල බෝ පැළවලින් එකක් එහි රෝපණය කළ බවත් සඳහන් වේ. (මහාවංසය 19 පරිච්ඡේදය) දෙවන පියතිස් රජුගේ සොයුරු තමන්ට පැමිණි ජීවිත අනතුරෙන් බේරීම සඳහා රුහුණට පලා ගොස් මාගම වෙසෙමින් එම ප්‍රදේශය පාලනය කළ බව සඳහන් වේ. ඉන් පැහැදිලි වන්නේ අනුරාධපුර රජ පවුලට නෑ සබඳකම් ඇති රජ පවුලේ අය රුහුණේ සිටි බවය. (ලක්දිව බුදුසමයේ ඉතිහාසය – පිටුව 22 වල්පොළ රාහුල හිමි) තවද දැනට හඳුනා නොගත් වන්දනගාම නම් ස්ථානයෙහි ද මුල්බෝධි අංකුරයක් රෝපණය කළ බවත් එහි ක්‍ෂත්‍රියන් විසූ බවත් සඳහන් වේ. (ලක්දිව බුදු සමයේ ඉතිහාසය පිටුව.22 වල්පොළ රාහුල හිමි.)

මේ හැරුණු විට ඉන්දියාව සහ ලංකාව අතර දීර්ඝ කාලීන සංස්කෘතික සම්බන්ධතා, දූත මෙහෙවරයන්, වෙළෙඳ ගනුදෙනු, දෙරට අතර ඇති භෞමික සමීප පිහිටීම, භාරතයෙන් දුරාතීතයේ පටන් මෙරටට එරට වැසියන්ගේ සංක්‍රමණය යනාදී කරුණු සැලකූ කල්හි මහින්දාගමනයට පෙරාතුව ලක් වැසියන් බුදුරදුන් හා උන්වහන්සේ දහම පිළිබඳ එක්තරා ප්‍රමාණයක පූර්ව අවබෝධයකින් සිටින්නට ඇතැයි අනුමාන කළ හැකි ය.