Print this Article


දේශීය සංස්කෘතියේ ගමන් මඟ වෙනස් කළ අනුබුදු මිහිඳු මාහිමි

දේශීය සංස්කෘතියේ ගමන් මඟ වෙනස් කළ අනුබුදු මිහිඳු මාහිමි

පුරාවිද්‍යාත්මක සාධක මත ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාසයන්හි ආරම්භය මින් වසර එක්ලක්‍ෂ විසිපන්දහසක ඈත අවධියක් දක්වා ගමන් කළ ද වඩාත් ශිෂ්ට සම්පන්න වූ මානව ක්‍රියාකාරීත්වයක් හා තාක්‍ෂණික පසුබිමක් යටතේ දේශීය ජන කොටස්වල හැඩ ගැසීම ඓතිහාසික යුගය (ක්‍රි.පූ. 900 – 500 ) (Historical Period) හෙවත් යකඩ යුගයෙන් (Megalathic Age) පසු අවධියට සම්බන්ධය. මෙ අවධියේ ආගමික සාමාජික හා දේශපාලන සංස්ථාවන්හි ක්‍රියාකාරීත්වයේ මුල් බීජ අවස්ථා සනිටුහන් වුවද වඩාත් පුළුල්ව ගිය සමාජ පසුබිමක් ගැන හැදෑරීමට ඇති සාධක විරලය.

ක්‍රි.පූ. සවැනි සියවසේ සිට ආගමික හා දේශපාලන තත්ත්වයක් ගැන වංසකථාගත පුවත් තුළින් තොරතුරු ලැබෙන මුත් ආගම මුල්කොට ගත් සංස්කෘතික පදනමක් ගැන හැදෑරීමට ද මූලාශ්‍රගත තොරතුරු විරලවීම මත ස්ථාවර හා සංවිධිත වූ ආගමක් ගැන කථා කළ නොහැකිය.

අනුබුදු මිහිඳු මාහිමි සහ සඟ සසුන

එනමුත් ක්‍රිපූ. තෙවැනි සියවස ශ්‍රී ලංකා ඉතිහාසයේ හා ලක් සංස්කෘතියේ පැහැදිලි සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. සමාජ හා ආගමික පසුබිමට සාපේක්‍ෂිතව සමාජ ආර්ථික දේශපාලන හා සාමයික සංස්කෘතික ක්ෂේත්‍රයන්හි වර්ධනය මීට හේතුව වේ. මහින්දාගමනය මෙම වෙනසේ ප්‍රමුඛාර්ථිත සාධකය බව අවිවාදාත්මකව පිළිගැනීමට සිදුවේ. මහින්දාගමනය වසර දෙදහස් තුන්සිය ගණනක් මුළුල්ලේ අද්විතිය වූ ඓතිහාසික සංසිද්ධියක් ලෙසින් මෙන්ම මිහිඳු හිමියන් අනුබුදු මාහිමි නමක් ලෙසින් ශ්‍රී ලාංකේය ජනතාව අනුස්මරණය කරනුයේ උන්වහන්සේගේ ආගමනයත් සමඟ ශ්‍රී ලංකාව තුළ බෞද්ධ සංස්කෘතිය පදනම් කර ගෙන ගොඩනැඟුණු මහාසංස්කෘතියක පහස ලබන්නන් නිසාවෙනි. එතෙක් පැවැති දේශීය සංස්කෘතිය ගමන් කළ මන්දගාමීත්වයෙන් මුදවා ගනිමින් දේශීය සංස්කෘතිය ඉන්දීය සංස්කෘතිය හා බද්ධ කරමින් නව දේශීය සංස්කෘතියක් ගොඩනැංවීම සඳහා මිහිඳු මාහිමියන් ගත් මඟ සදාකල් ශ්‍රී ලාංකේය ජනතා හදවත්වල තැම්පත්වීම පුදුමයට කරුණක් නොවේ.

මිහිඳු මාහිමියන් වහන්සේ විසින් පළමුව දේශපාලන අධිකාරිත්වය ද සමාජගත අනෙකුත් ජන කණ්ඩායම් ද මතවාදීව තම අදහසට නැඹුරු කර ගනිමින් ගොඩනඟන ලද එම ශක්තිමත් බෞද්ධ සංස්කෘතිය දිනෙන් දින දියුණුවට මිසක් පසුබෑමකට ලක් නොවූ අතර ඉන් ඇති වූ ඵලදායිත්වය පසුකාලීනවත්ම වඩාත් හරවත් ලෙසින් සමාජයට ලැබීම මත අනුබුදුවරයෙකු ලෙසින් මිහිඳු මාහිමියන් වහන්සේ ජන හදවත් තුළ සනිටුහන් විය. සෑම වසරකම පොසොන් උදාවත් සමඟ තම ආගමේ මෙන්ම දේශයේ ද ශ්‍රේෂ්ඨතමයාණන් වහන්සේ ලෙසින් වසර දහස් ගණනක් මුළුල්ලේ ලක්‍ෂ සංඛ්‍යාත වූ ලක්වැසි බොදු බැතිමතුනගේ පූජනීයත්වයට මෙන්ම වන්දනීයත්වයට ද උන්වහන්සේ පාත්‍ර වූ සේක.

සංවිධානාත්මක ආගමක පහස

අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූතයන් වහන්සේලාගේ වැඩමවීම ස්ථිර හා සංවිධානාත්මක වූ ආගමික පසුබිමක් ඇතිවීම කෙරෙහි ඉවහල් වූ අතරම ආගමික නායකත්වයක් යටතේ සමාජය සංවිධානය කිරීමේ වගකීම ද උන්වහන්සේලා විසින්ම පවරා ගැනීම එතෙක් පැවැති දේශීය ගමන් මඟ ශීඝ්‍ර පරිවර්තනයක බඳුන් කරලීමට අතිශයින්ම වැදගත්වීය. මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම ලක්දිවට වැඩම කොට මිහින්තලාවේ අම්බස්තලයේ දී රජුට දහම් දෙසා තෙරුවන පිළිබඳ හැඟීමක් හා දැනීමක් ඇති කිරීම තුළින් ලක්දිව බුද්ධ ශාසනයේ ආරම්භක පියවර සනිටුහන් කරයි. මිහින්තලයෙන් ආරම්භ කළ මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූතයන් වහන්සේලාගේ ශාසනික මෙහෙය රජුගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා සැමට සමානාත්මතාවයෙන් පිරිපුන් ශාසනික හා සංස්කෘතික කාර්යදාමයක් සඳහා අවතීර්ණවීමට මං හෙළිකිරීමක් වූ අතර ලක්දිව ඉතිහාසය එතෙක් ගමන් කළ මඟ වෙනස් මාවතකට යොමු කිරීමට බලපෑ ප්‍රධාන එක් සාධකයක් ද විය. මිහිඳු හිමියන් විසින් බුද්ධාගම පමණක් නොව මහා සභ්‍යත්වයක්ම ගෙන එන ලද්දේය යන වල්පොළ රාහුල හිමියන්ගේ ප්‍රකාශය තුළින් මහින්දාගමනයෙන් ඇති වූ සංස්කෘතික පුනරුදය කවරේද යන්න නිර්ණය කළ හැකිය.

සංවිධානාත්මක බවින් තොර වූ ආගම් රැසකින් හෙබි සමාජයකට දෙලෝවට වැඩ සැලසෙන සංවිධානාත්මක ආගමක් ලෙසින් බුදුදහම ලක්දිවු වැසියනට හඳුන්වා දෙනු ලැබුවේ මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම විසිනි. බුදුසමයේ ආභාසයට ලක්වූ වැසියනට මෙතෙක් තමා විශ්වාස කළ දේව, නාග, යක්‍ෂ හා මළවුන් පිදීම වැනි විශ්වාසයනට මෙන්ම ගස් ගල් පර්වත සරණ ගොස් සිටි පිරිසට නව අර්ථකථනයක් යටතේ තමාගේ ස්වාමීත්වය ගැන විශ්වසනීයත්වය වර්ධනය කර ගැනීමට මිහිඳු හිමියන් විසින් දේශනා කළ මුල් ධර්ම කොට්ඨාස තුළින්ම හැකි විය. පුද්ගල චරියාවේ වටිනාකම හා ආත්ම සංයමයේ උසස් බව වටහා දෙමින් සදාචාරාත්මක මාවතකට පුද්ගල ක්‍රියාකාරීත්වය බද්ධ කරන ආකාරය සිංහල සමාජයට හඳුන්වාදීමට මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම කටයුතු කිරීම කෙටිකලක් තුළ බුදුදහම ලක්දිව පුරා ශීඝ්‍රයෙන් පැතිරයාමට හේතු වූ එක් කරුණක් විය. ගල්ලෙනක වෙසෙමින් පිණ්ඩපාතයෙන් ලත් ආහාරයෙන් සිය ජීවිතය ගෙන යමින් පරාර්ථය සිය අරමුණ කොට සරල ජීවන මාර්ගයක ගමන් කළ භික්‍ෂුව ලාංකේය සමාජයේ පරමාදර්ශී චරිතයක් ලෙසින් මෙරට සමාජගතවීම දේශීය සංස්කෘතියේ පරිවර්තනයේ ආරම්භය සනිටුහන් කළ අවස්ථාව විය. මාලිගයේ රාජකීය පිරිසගෙන් ආරම්භ කළ දේශන මාලාව අවසන් වූයේ ඈත පිටිසර ගම්දොරිනි. භික්‍ෂුව විසින් ගෙනගිය මෙම සුචරිතවාදී පිළිවෙත, දේශීය ජන ජීවිතයේ ආධ්‍යාත්මික පෝෂකත්වයට අදාළ වූ අතර එය ප්‍රදර්ශනාත්මකව සමාජය තුළ ඉස්මතුවීමට වැඩි කලක් ගත නොවීය. පඤ්චශීලයෙන් ශික්‍ෂණය ලද ජනතාව අවිහිංසාව සිය ජීවිතයේ පදනම කරගනිමින් කෘෂිකර්මයෙන් සිය ජීවනෝපාය සරු කරගත්හ. නොපෙනෙන දෙවියන් වෙනුවට තිසරණය ජීවිතයට ළඟා කරගත් අතර ගස් ගල් සරණ යාම වෙනුවට බුදුරජුන්ගේ පාරිභෝගික වස්තූන් වූ බෝධියත්, චෛත්‍යයත් එම ස්ථානය හිමිකර ගැනීම එතෙක් පැවැති විශ්වායනට වඩා අර්ථාන්විත සංස්කෘතියකට උරුමකම් කීමට පදනම සකස් කිරීමක් විය. බුදුරදුන්ගේ ධාතුන් තැම්පත් කරලීම පිණිස ස්තූප නිර්මාණය කරමින් බෞද්ධ පූජ්‍ය වස්තූන් උදෙසා ගොඩනැගිලි ඉදිකිරීමේ කාර්ය ආරම්භය, ආගමික චින්තනයේ නවෝදයක් උදාකරලීමක් විය. මෙතෙක් කලක් මෙරට සමාජගතව පැවැති මළවුන් පිදීම වැනි අංගයන් සඳහා නව අර්ථකථනයක් ස්තූප නිර්මාණය තුළින් ලාංකේය ජනතාව විෂයෙහි ලබාදුන් අතරම ඒ හා බැඳුණු බෞද්ධ සංකල්ප රැසක්ම මෙරට වැසියනට උරුමකරදීමට ද පියවර ගත්හ. මෙම අවස්ථාව බුද්ධාගම ජනතාව අතරට ගෙනයාමේ මුල් පියවරක් සේ සැලකිය හැකිය.

ජන සමාජය තුළ අවිහිංසකත්වය මුල් කොටගත් සමාජ පදනමක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් වූයේ ද මහින්දාගමනයෙන් පසුවය. නිරන්තරයෙන් පන්සිල් සුරකින භික්‍ෂුව පෙරමුණු කොට සමාජ චර්යා රටාවක් මෙන්ම සිරිත් විරිත් පද්ධතියක් ඇතිවීම මෙරට දේශීය අනන්‍යතාව තවදුරටත් ඔපවත්වීම කෙරෙහි බලපෑ කරුණක් විය. සමානාත්මතාවය, පරාර්ථචරියාව, කරුණාව මෛත්‍රිය බෞද්ධ ගුණාංගයෝ ජන සමාජය තුළ පැතිරීයාම නිසා සමාජ ඒකාබද්ධත්වයක් මෙන්ම මානවහිතවාදී වූ සමාජයක් මෙරට ඇතිවීම කෙරෙහි සෘජුව බලපෑවේ ය. එමෙන්ම ජීවිතයේ වැදගත් අවස්ථාවල දී මෙන්ම සමාජගත උත්සව සම්ප්‍රදායන්හිද බෞද්ධ පදනම වඩාත් ඉස්මතු වූ අතර එමඟින් ජන සමාජය තුළ ශික්‍ෂණය වඩාත් තහවුරු විය. මෙසේ ආගමික ක්‍රියාකාරීත්වයෙන් සරල දිවිපෙවතකට හුරු වූ ලාංකික ජීවිතය තුළින් මතු වූ සංයමය හා පරාර්ථචරියානුබද්ධ ජීවන ප්‍රතිපදාව නිසා ශ්‍රී ලාංකේය අනන්‍යතාව තහවුරු වූ සංස්කෘතියක් බිහිවිය. ශ්‍රී ලාංකේයනට අලුත් ජීවන මාර්ගයක් පමණක් නොව ජීවත්වීමේ අලුත් පරමාර්ථයක්ද මහින්දාගමනයෙන් ලබාදුන්නේ ය.

සමාජ දැක්මේ වෙනසක්

භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක හා උපාසිකා යන සිවුවනක් පිරිසකගෙන් සැදුම් ලත් සමාජ ස්ථරායථනයක් මහින්දාගමනයෙන් පසු ලක්දිව නිර්මා ණය වූ අතර කුලය, බලය හා ධනයට වඩා මානුෂිකත්වයට හා ගුණවත් බවට සමාජ තලය තුළ ප්‍රමුඛත්වයක් හිමි විය. එමෙන්ම කාන්තාවගේ සමාජ අයිතින් සුරක්‍ෂිතවීම කෙරෙහි මහින්දාගමනයෙන් ඇති කළ බලපෑම සුළුපටු නොවේ. මිහිඳු හිමියන් ගෙන් ධර්මය අසා මහණවීමේ අභිලාසයක් දැක් වූ අනුලා බිසව ඇතුළු පිරිසගේ ඉල්ලීමට මෙහෙණි සසුන ආරම්භ කරනු වස් සිය නැඟණිය වූ සංඝමිත්තාව ලක්දිවට වැඩම කරවීමට අවශ්‍ය පියවර ගැනීමට මිහිඳු හිමියන් කටයුතු යෙදීම කාන්තා හඬට කන්දීමක් සේ සැලකිය හැකිය. මෙරට කාන්තාවට සම අයිතීන් ලබාදෙමින් කාන්තා නිදහස වෙනුවෙන් තැබූ ප්‍රථම ඓතිහාසික පියවර ලෙසින් ද පෙන්වාදීම සාවද්‍ය නොවේ. මිහිඳු හිමියන්ගේ ඉල්ලීම මත සංඝමිත්තාවගේ ලංකාගමනය ලක්දිව කාන්තාව ලත් විශිෂ්ට ජයග්‍රහණයක් විය.

ඉතිරි කොටස 19 වැනිදා පත්‍රයේ පළවේ...