Print this Article


මහින්දාගමනය සහ ජාතික අනන්‍යතාවය

බුද දහම කිසියම් දේශයකට, ජන වර්ගයකට සීමා කළ හැකි ආගමක් නොවේ. එහෙත් මිහිඳු මාහිමියන්ගේ අරමුණ වූයේ එය ශ්‍රී ලාංකිකයන්ට දේශයේ උරුමයක් බවට පත්කර ගනු දැකීමයි. ඒ අනුව උන්වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කළේ ඔබ රටෙහි බුදු දහම තහවුරු වීමට නම් ස්වදේශිකයන් මහණ උපසම්පදාව ලබා දේශයේ භාෂාවෙන් ධර්මය පැහැදිලි කිරීමේ ශක්තිය ඇතිකර ගත යුතු බවය. උන්වහන්සේ අපේක්‍ෂා කළ ආකාරයෙන්ම කෙටි කාලයක් තුළ ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් සසුනට ඇතුළත් වීම නිසා තවදුරටත් ඉන්දියාවෙන් ධර්ම දූතයන් ගෙන්වීමට අවශ්‍ය වූයේ නැත.

වසරේ සියලු පොහොය දිනයන් බෞද්ධයන්ට ආගමික වශයෙන් වැදගත් වෙයි. එහෙත් පොසොන් පොහොය දිනය අන් කවර රටකටත් වඩා ශ්‍රී ලංකාවට ආගමික මෙන්ම ජාතික වශයෙන් ද වැදගත් වෙයි. පොසොන් දිනය ශ්‍රී ලාංකීය බුදු සමය සමාරම්භය පමණක් නොව අප රටෙහි ජාතික අනන්‍යතාවය තහවුරු කෙරෙන ජාතික සංස්කෘතියේ සමාරම්භය ද සනිටුහන් කෙරෙන අවස්ථාව වශයෙන්ද සැලකිය හැකිය.

සර 2500 කට අධික අඛණ්ඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ විශාලතම සමාජ පරිවර්තනය සිදු වූ සංසිද්ධිය ලෙස හැඳින්විය හැක්කේ බුද්ධ වර්ෂ 236 දී පොසොන් පොහොය දිනය හා සම්බන්ධ වන මහින්දාගමනයයි. ධර්ම දූතයන් වහන්සේ නමක් වශයෙන් ලක්දිවට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ බුදු දහම ප්‍රචාරය කිරීම පමණක් නොව අප රටෙහි භාෂාව, සාහිත්‍ය, කලා ශිල්ප, සිරිත් විරිත් ආදී ජන ජීවිතයේ සෑම අංශයකම පෝෂණය කිරීමට අදාළ පසුබිම සකස් කිරීමේ නියමුවාණන් බවට පත්වූහ. මිහිඳු හිමියන් විසින් ලක්දිවට හඳුන්වා දුන් බුදු දහම ප්‍රාථමික ඇදහීම් වලින් යුත් සමාජයකට ඉදිරිපත් කළ නව දර්ශනයක් පමණක් නොව ජීවන මාර්ගයකි.

මෙම නව දර්ශනය ශ්‍රී ලාංකිකයන් වැළඳ ගත්තේ අන්ධ භක්තියෙන් නොවේ. මිහිඳු මහ හිමියන් වැඩම වන විට මෙරට සංවිධානාත්මක දියුණු ආගමක් නොපැවතුන ද යම් දෙයකින් විමසීමෙන් යුතුව පිළිගැනීමට තරම් බුද්ධිමත් ජන කොටසක් ජීවත් වූ බව පිළිගත හැකිය. ඒ බව වඩාත් තහවුරු වන්නේ මිහිඳු මාහිමියන් දම් දෙසීමට පෙර දේවානම්පියතිස්ස රජතුමා විමර්ශනයට ලක්කළ සංවාදය තුළින්ය. එහිදී රජතුමා විසින් ලබාදුන් පිළිතුරු වලින් පැහැදිලි වන්නේ ගැඹුරු ලෙස සිතා මතා යමක් පිළිගැනීමට හෝ බැහැර කිරීමට අවශ්‍ය වන බුද්ධිමත් භාවය එතුමා තුළ පැවති බවයි. එපමණක් නොව මිහිඳු මාහිමියන් විසින් රජතුමා ඇතුළු පිරිසට ප්‍රථමයෙන්ම දේශනා කළ චුල්ලහත්තිපදෝපම සූත්‍රයෙහි තේමාව වන්නේද සිතීමේ හා විමසීමේ ශක්තිය මත යථාර්ථය අවබෝධ කරගැනීමේ ක්‍රමවේදයයි.

ඒ අනුව රජතුමා ඇතුළු පිරිස බුදුදහම පිළිගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ රාජ්‍ය තන්ත්‍රයත් රජතුමා අනුගමනය කළ ජනතාවත් නව මගකට ,නව සංස්කෘතියකට නවජීවන රටාවකට යොමු වුනා. මිහිඳු මාහිමියන් ඉන්දියාවේ සිට බුදු දහම සහ බෞද්ධ සාහිත්‍ය රැගෙන ආ නමුත් ඉන්දීය සංස්කෘතිය මෙහි තහවුරු කිරීමට උත්සාහ කළේ නැත. ක්‍රි.පූ. 06 වන ශත වර්ෂයේදි බුදුරජාණන් වහන්සේ විසින් විශාල චින්තන විප්ලවයක් සිදු කළත් එහි ශක්තිය භාරතීය සමාජය තුළ පැවතුනේ කෙටි කාලයක් පමණි. නැවතත් බ්‍රාහ්මණ හින්දු සංස්කෘතිය ශක්තිමත් වුහ. මිහිඳු මාහිමියන්ට අවශ්‍ය වූයේ හින්දු සංස්කෘතියෙන් බැහැරව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම සහ බෞද්ධ ආචාර ධර්ම පදනම් වූ දේශීය සංස්කෘතියක් මේ රටෙහි ගොඩනැගීමයි.

මිහිඳු මාහිමියන් වැඩමවන විට ලංකාවේ ජීවත් වූයේ ඉන්දියාවෙන් සංක්‍රමණය වූ විජය ඇතුළු පිරිසගෙන් පැවත එන්නන් පමණක් නොවේ.අනාදිමත් කාලයක මෙරට නිජභූමිය කරගත් විවිධ ගෝත්‍ර වලට අයත් ජන කොටස් ජීවත් වූ බවට බොහෝ සාක්‍ෂි ඇත. ඒ සමඟම එකී ජනකොටස් අතර පැවති විවිධ ඇදහීම් සහ විශ්වාසයන් ද සමාජය තුළ දක්නට ලැබිණ. බුදු දහම මිත්‍යා විශ්වාස බැහැර කරන ආගමක් වුවත් උන්වහන්සේ දේශීය ඇදහිලි සහ විශ්වාස බැහැර කිරීම වෙනුවට ඒ සඳහා බුදුදහමට අනුගත විකල්ප ඉදිරිපත් කරමින් ජනතාව වෙත සමීප වූහ. ඒ පිළිබඳ ඉතා පැහැදිලි ප්‍රධානතම නිදර්ශනය නම් එකල සමාජයෙහි පැවති වෘක්‍ෂ වන්දනාව වෙනුවට බෝධි වන්දනාව ආදේශ කිරීමය. බෝධි වෘක්‍ෂය බුදුන් වහන්සේ නියෝජනය කරන අතර බෝධි වන්දනාව යනු බුද්ධ වන්දනාවක් ලෙස මෙරට ජනතාවට හඳුන්වා දීමට උන්වහන්සේ සමත් වූහ. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ලක්දිවට වැඩම කරවීමත් සමඟ ඇති වූ පුද පූජා වන්දනාවන් තුළින් වෙනත් කිසිම රටක නොමැති බෝධි සංස්කෘතියක් අප රටෙහි බිහි වූ බව සාහිත්‍ය කලාව ඇතුළු විවිධ ක්‍ෂේත්‍ර වල සංවර්ධනය තුළින් පැහැදිලි වෙයි.

බුද දහම කිසියම් දේශයකට, ජන වර්ගයකට සීමා කළ හැකි ආගමක් නොවේ. එහෙත් මිහිඳු මාහිමියන්ගේ අරමුණ වූයේ එය ශ්‍රී ලාංකිකයන්ට දේශයේ උරුමයක් බවට පත්කර ගනු දැකීමයි. ඒ අනුව උන්වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කළේ ඔබ රටෙහි බුදු දහම තහවුරු වීමට නම් ස්වදේශිකයන් මහණ උපසම්පදාව ලබා දේශයේ භාෂාවෙන් ධර්මය පැහැදිලි කිරීමේ ශක්තිය ඇතිකර ගත යුතු බවය. උන්වහන්සේ අපේක්‍ෂා කළ ආකාරයෙන්ම කෙටි කාලයක් තුළ ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් සසුනට ඇතුළත් වීම නිසා තවදුරටත් ඉන්දියාවෙන් ධර්ම දූතයන් ගෙන්වීමට අවශ්‍ය වූයේ නැත. සිංහල භික්‍ෂූන් සිංහල භාෂාවෙන් බණ කියන්නට සමත් වීමත් සමඟම මෙරටට ආවේණික වූ සිංහල බුද්ධාගමක් ඇතිවිය. ඉන්පසු විවිධ වකවානුවල කාලීන වශයෙන් ඇති වන විවිධ ලක්‍ෂණ එකතු වෙමින් අද දක්වා ප්‍රවර්ධනය වී ඇත්තේ අපටම අවේණික වූ සිංහල බුද්ධාගමයි. එය ඉන්දියාවේ අශෝක රජුගෙන් පසු බිහිවූ බුද්ධාගම හෝ ජපානය,කොරියාව,ආදි රටවලට ගිය බුද්ධාගම හෝ නොවේ. කනගාටුවට කරුණ නම් දේශයේ අනන්‍යතාවය හො සිංහල බුද්ධාගම පසුකාලයේ පැමිණි ද්‍රවිඩ හා වෙනත් ජාතීන් වෙත සාර්ථක ලෙස සංනිවේදනය නොවීමයි. එහෙත් ඔවුන් අතර ආගමික වෙනස්කම් දක්නට ලැබුණද බුදුදහමෙන් ලැබුණු ජාතික සංස්කෘතික ලක්‍ෂණ එදිනෙදා ජීවිතයෙහි ක්‍රියාකාරිත්වය තුළ ප්‍රකටව පෙන්නුම් කරයි.

සිංහල බෞද්ධ සංස්කෘතිය යනු සිංහලයන්ට පමණක් සීමාවූ පටු ජාතිවාදී සංකලපයක් නොවේ. එහි අන්තර්ගත වන්නේ අපගේ දේශයට උරුම වූ ජාතික අනන්‍යතාවයි . එහි පැහැදිලි ලක්ෂණය වන්නේ ජාති ආගම් වර්ගභේද වලින් තොර සියලු දෙනා සමඟ සහජීවනයෙන් ක්‍රියාකළ හැකි නම්‍යශීලිත්වයයි. පොසොන් දිනයෙහි වැදගත්කම වන්නේ මිහිඳු මාහිමියන් අපට ලබාදුන් මෙම උත්තරීතර පණිවිඩය බටහිර අර්ථකථන වලින් විකෘති කිරීමට ගැති නොවී සියලු ජනකොටස් අතර සමගිය සාමූහිකත්වය වර්ධනය කෙරෙන දේශීය අනන්‍යතාවය ශක්තිමත් කිරීමට ක්‍රියාකිරීමයි.