Print this Article


සීල විසුද්ධිය 7 කොටස සුගති සැපය ඇතිකරදෙන සීල විසුද්ධිය

සීල විසුද්ධිය 7 කොටස

සුගති සැපය ඇතිකරදෙන සීල විසුද්ධිය

භාග්‍යවතුන් වහන්සේට අයිති කෙනෙකුගේ ස්වභාවයට තමා ඔහු කුහක නැති කෙනෙක්, චාටු වචන පාවිච්චි කරන්නේ නැති කෙනෙක්. ඒ වගේම ඔහු ප්‍රඥාවන්තයි. මුරණ්ඩු නැහැ. සංසුන් වූ හිතකින් වාසය කරනවා. මේ වගේ යහපත් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට අයිති වෙන්නේ. ඔහු ධර්ම විනය තුළයි වාසය කරන්නේ. ධර්ම විනය තුළ මහත්බවට, විපුලබවට පත්වනවා. ඒ වගේ ගතිගුණ තිබෙන අය ධර්ම විනය තුළ වැඩීමකට අභිවෘද්ධිවයකට පත්වෙනවා කියා කියන්නෙ

අප පසුගිය සතියේ කියා දුන්නේ කුහ සූත්‍රය පිළිබඳව යි. එහිදී භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා ‘පින්වත් මහණෙනි, සමහර භික්ෂූන් ඉන්නවා ඔවුන් කුහක නැහැ. චාටු බස් දොඩන්නේ නැහැ. ප්‍රඥාවන්තයි. මුරණ්ඩු නැහැ. හොඳට සංසුන් වූ සිතින්තමයි ඉන්නේ. ඒ භික්ෂුන් තමා මට අයිති. පින්වත් මහණෙනි, ඒ භික්ෂූන් මේ ධර්ම විනයෙන් වෙන්වෙලා නැහැ. ඒ භික්ෂුන් මේ ධර්ම විනය තුළ වැඩීමකට අභිවෘද්ධියකට විපුල බවකට පත්වන්නේ කියා.

එසේනම් තේරුම් ගන්න භාග්‍යවතුන් වහන්සේට අයිති කෙනෙකුගේ ස්වභාවයට තමා ඔහු කුහක නැති කෙනෙක්, චාටු වචන පාවිච්චි කරන්නේ නැති කෙනෙක්. ඒ වගේම ඔහු ප්‍රඥාවන්තයි. මුරණ්ඩු නැහැ. සංසුන් වූ හිතකින් වාසය කරනවා. මේ වගේ යහපත් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට අයිත් වෙන්නේ. ඔහු ධර්ම විනය තුළයි වාසය කරන්නේ. ධර්ම විනය තුළ මහත්බවට, විපුලබවට පත්වනවා. ඒ වගේ ගතිගුණ තිබෙන අය ධර්ම විනය තුළ වැඩීමකට අභිවෘද්ධිවයකට පත්වෙනවා කියා කියන්නේ. කොහොමද එසේ කියන්නේ. ඒ තමා භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය. උන් වහන්සේ තමා එය අපට කියා දුන්නේ.

එනිසා අප මේ ධර්ම විනය තුළ අභිවෘද්ධියක් අපේක්ෂා කරනවා නම් දියුණුවක් බලාපොරොත්තු වෙනවානම්, මහත්බවට විපුල බවට පත්වීමට අප කැමැති වෙනවා නම්, අප විසින් කළ යුත්තේ කුමක් ද? කුහකකම, චාටු වචන පාවිච්චි කරන ගතිය, මුරණ්ඩු ගතිය මාන්නක්කාර ගතිය මේවා බැහැර කරන්නට දුරු කරන්නට ඕන. ඒ අකුසලයෙන් බැහැර කරගෙන යහපත් කෙනෙක් බවට පත්වෙන්න ඕන. ‘මම ඉගෙන ගන්න කෙනෙක්’ කියන නිහතමානි බවට එන්න ඕන. එයයි ඇත්ත ස්වභාවය. නිහතමානිකම අප ඇතිකරගත යුත්තේ අපේ ඇත්ත ස්වභාවය කල්පනා කරලනේ. ඇත්ත මොකක්ද? අප ඉගෙන ගන්න අය යි.

අපට භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට ගෞරවයෙන් ඇසුරු කරන්නට නො ලැබුණොත් පිරිසුදුවීම පිණිස අපට තිබෙන අවස්ථාව අහිමිවෙලා යනවා. අප තවදුරටත් අපිරිසුදු කෙනෙක් බවටම පත්වෙලා යනවා. ඇයි අප අනුන්ගේ උපකාරයෙන් යමක් ගන්නකොට එය මගේ කියා ගන්නවා. එයින් ආඩම්බර වෙනවා. එවිට පිරිසුදු වෙනවද අපිරිසුදු වෙනවද? අප දේශනාවක් ඉගෙන ගන්නවා. ඉගෙනගෙන එයින් ආඩම්බර වෙනවා. එවිට අප අපිරිසුදු වෙලා. අප කාට හරි ධර්මය කියා දෙනවා. කියාදී එයින් ආඩම්බර වෙනවා. එවිටත් අප අපිරිසුදු වෙලා. අප විනාඩි පහක් දහයක් භාවනා කරලා එයින් ආඩම්බර වෙනවා. එවිටත් අප අපිරිසුදු වෙනවා. අපට සමාධිය ඇතිවෙනවා. එයින් ආඩම්බර වෙනවා. අන් අය හෙළා දකිනවා. තමන් හුවා දක්වනවා. මට තමා මේක පුළුවන් කියා සිතනවා. එවිටත් අප අපිරිසුදු වෙලා. එනිසා බුදුරජාණන් වහන්සේ විසින් අප කෙරෙහි ඉතාම කරුණාවෙන්, මහා කරුණාවෙන් අපේ යහපත පිණිසම අප උදෙසා ඉතුරු කර ගිය මේ දායාදය හීන අරමුණක් උදෙසා පරිහරණය නො කළ යුතුයි. මේ ධර්මයේ හැසිරීම තුළින් කවදාවත් තමාට ගෞරවය අපේක්ෂා කරන්නට එපා. ගෞරවය අපේක්ෂා කරන කෙනා කුහකකම ඇතිකර ගන්නවා. ඒ අය මුරණ්ඩු අය බවට පත්වෙනවා. චාටු බස් දොඩන අය බවට මවා ගත්තු මාන්නය නමැති අං ඔසමාගෙන වාසය කරනවා. ඒ අයගේ සිත සංසුන් නැහැ. ගෞරවය අපේක්ෂා කරන අයට සිදුවන්නේ මෙය යි. ගෞරවය අපේක්ෂා කරන අය කුහකකම හදා ගන්නවා. නැති ගුණ තියෙනවා වගේ හැසිරෙනවා. කීකරු නැහැ. ඒ අය නොයෙක් දේ ලබා ගැනීම පිණිස චාටු වචන පාවිච්චි කරනවා. ඒ අය මාන්නය කියන අං ඔසවාගෙන තමා වාසය කරන්නේ. එවිට ඒ අයට සංසුන් සිතින් වාසය කරන්නට ලැබෙන්නේත් නැහැ. ඒ අය භාග්‍යවතුන් වහන්සේට අයිති වෙන්නේ නැහැ. ධර්ම විනය ඈතට විසිවෙලා වෙන නිසා ධර්ම විනය තුළ අභිවෘද්ධියකට පත්වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ධර්ම විනයෙන් ප්‍රයෝජනයක් නැතිවෙලා යනවා. ඒ අයහපත ඇතිවුණේ ගෞරවය අපේක්ෂා කළ නිසා. තමා කැපී පෙනීමේ අදහසින් වාසය කළ නිසා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් වාසය කළ නිසා. ඒවාට යට වූ සිතින් වාසය කරනවා. පිරිසුදුභාවයක් ඇතිකර ගැනීම පිණිස තිබෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම වැහිලා යනවා. ඒ පිරිසුදු භාවයක් ඇතිකර ගන්න තිබෙන ඉඩකඩ වැහිලා යන්නේ ඒ අය භාග්‍යවතුන් වහන්සේ අයිති නැති නිසා.

එසේනම් සීලය පිරිසුදු කර ගැනීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. සීලය පිරිසුදු කරගන්නට බැරි වුණොත් ඒ අයට සමාධිය ඇති කරනගන්නට බැහැ. සීල විසුද්ධියට එන්නට බැරි වුණොත් සමාධිය ඇති කර ගන්නට බැහැ. යම් ආකාරයක සමාධියක් ඇති කර ගන්න පුළුවන් වෙයි. අප දන්නවා දේවදත්තත් සමාධියක් ඇති කරගෙන සෘද්ධිත් ලබා ගත්තා. නමුත් ඔහුට භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන්නට බැරි වුණා. ඒ සීල විසුද්ධිය ඇතිකර ගන්නට බැරි වූ නිසා. නමුත් සීලයක් රැක්කා. එයින් ඔහු යම් සමාධියක් ඇති කර ගත්තේ. මහණවෙලා සතියකින් සමාධිය උපදවා ගත්තා. සෘද්ධි බලයත් ලබා ගත්තා. සීලයකුත් තිබුණා. නමුත් සීලය පිරිසුදු කර ගන්නට පරිපූර්ණ කර ගන්නට බැරිවුණා. එහෙමනම් අන්න ඒක තමා අප කල්පනා කළ යුතු තැන. ඒ නිසා සීලය පිරිසුදු කර ගන්නට අප කැමැත්තක් ඇතිකර ගත යුතුයි.

එවිට සීලය පිරිසුදු කර ගැනීම පිණිස අප විසින් කළයුත්තේ මොකක් ද? භාග්‍යවතුන් වහන්සේට අයත් අය බවට පත්වෙන්නට ඕන. ඒ අයට තමා පුළුවන්කම ලැබෙන්නේ සීල විසුද්ධිය උපදවා ගැනීමට. එහෙම නැති වුණොත් මේ දුර්ලභ අවස්ථාව අපට අහිමිවෙලා යනවා.

නයනා නිල්මිණි


සීල විසුද්ධිය 6 කොටස අරහත් මුනිඳුගේ රැකවරණය ලැබීමටනම්....