Print this Article


තරුණ වියයි බුදු දහූමයි ලිපි මාලාව – 19 ස්ත්‍රිය අගැයූ බමුණු මත

තරුණ වියයි බුදු දහූමයි ලිපි මාලාව – 19

පසුගියදා අපගේ අවධානය යොමු වූයේ විවාහය හා ස්ත්‍රිය සම්බන්ධ භාරතීය උපදේශ සාහිත්‍යයෙහි සඳහන් කරුණු කිහිපයක් විස්තර කිරීමටයි. මෙවර අපගේ අවධානය යොමු වන්නේ එහි දෙවන කොටස විස්තර කිරීමටයි.

පසුගිය ලිපියෙන් පෙන්වා දුන්නේ බ්‍රාහ්මණ සමාජය තුළ ස්ත්‍රියට හිමිව තිබූ සමාජ තත්වයයි. එය එතරම් පිළිගත් සමාජ තත්ත්වයක් නොවේ. බොහොමයක් බ්‍රාහ්මණ මතවාදයන්ගෙන් පෙන්වා දී ඇත්තේ ස්ත්‍රිය පහත් තැනැත්තියක් ලෙසය. එය ඔවුන් තමා ලද අද්දැකීම් තුළින් හෝ තම තමන් දරන මතයන් අනුව පෙන්වා දුන්නකි. එය සම්පූර්ණ නිදොස් වූවක් නොව ඇතැම් අදහස්වල සදොස් තැන ද ඇති බව පෙන්වා දුන්නෙමු. එහි සඳහන් බොහෝ දේ සමාජයේ පොදු සම්මතය පිළිගත් දේ නොව ඔවුන්ගේ අදහස් හා දර්ශනයන්ය.

බ්‍රාහ්මණ සමාජයේ ස්ත්‍රිය බොහෝ සේ විවේචනයට ලක් වුවද,ඇතැම් අවස්ථාවල ඇයගේ ජීවිතයටද හරවත් බවක්, වටිනාකමක් එකතු කළ අවස්ථා නැතිවා නොවේ. මෙතැන් සිට සඳහන් වන්නේ ස්ත්‍රී ජීවිතයට යම් වටිනාකමක් ,අගයක් එකතු කළ බ්‍රාහ්මණ මත කිහිපයකි.

නාස්ති ගංගා සමං තෝයං
නාස්ති සූර්ය සමප්‍රභා
නාස්ති පිතෘ සමෝ බන්ධූර්
නාස්ති ස්ත්‍රී සමෝ රසාඞ
(ප්‍රත්‍ය ශතකය 38 වන පද්‍ය)

(ගංගාව හා සමාන ජලයක්ද, සූර්යයා හා සමාන ආලෝකයක්ද, පියා හා සමාන නෑයෙක්ද , ස්ත්‍රිය හා සමාන රසයක්ද මෙලොව නැත)

මෙයින් ඉදිරිපත් කරන්නේ ලෝකයේ අසමසම වූ වස්තුන් හතරක් පිළිබඳවය. එනම් මේ ලෝකයේ ගංගා ජලය හා සමාන වූ වෙනත් කිසිදු ජලයක් නැති බවත්, සූර්යා හා සමාන වූ වෙනත් ආලෝකයක් නැති බවත්, පියා හා සමාන වෙනත් නෑයෙකු මෙලොව නැති බවත්, එමෙන්ම ස්ත්‍රිය හා සමාන වූ වෙනත් රසයක් මෙලොව නැති බවත්ය. සැබෑවටම සාර්ථක විවාහ ජීවිතයේදී ස්ත්‍රිය රස වෑහෙන ගුලාවකි. නිවසෙහි සතුට රඳා පවතිනුයේ බිරිඳ අතෙහිය. එබැවින් විවාහ ජීවිතයේ දී ස්වාමියාට බිරිඳ හා සමාන වූ වෙනත් රසයක් නැති බව මෙයින් පෙන්වා දී ඇත.

කාඤ්චනං දර්පනං දීපං
සුශීලං භාග්‍යවා තථා
ඉෂ්ට භාර්යා සමං මිත්‍රං
අපූර්වානි දිනේ දිනේ
(ප්‍රත්‍ය ශතකය 71 වන පද්‍ය)

රන් කැඩපත් ද, සිල්වන්තයන්ද, පුණ්‍යවන්තයන්ද, යහපත් පැවතුම් ඇති භාර්යාව ද, තමා හා සම ගුණයෙන් යුතු මිතුරා ද යන මේ අය ඇසුරු කිරීමෙන් කිසිදා තෘප්තියට පැමිණිය නොහැක)

ඉහත සඳහන් ශ්ලෝකයෙන් පෙන්වා දෙන්නේ මේ ලෝකයෙහි ඇසුරු කිරීමෙන් කිසිදා තෘප්තියකට පැමිණිය නොහැකි වස්තුන් හතරක් පිළිබඳවය. එනම් රන් කැඩපත, සිල්වත් පුද්ගලයා, පුණ්‍යවන්ත පුද්ගලයා යහපත් පැවතුම් ඇති භාර්යාව ද තමා හා සමගුණයෙන් යුත් මිතුරා යන මේ පඤ්ච වස්තුන් පරිහරණය කිරීමෙන් හා ඇසුරු කිරීමෙන් කිසිදා තෘප්තියකට පැමිණිය නොහැකි බවයි. රන්වලට සියලු දෙනාම ආශා කරති. ඛණිජ වස්තුන් අතර එහි වටිනාකමද වැඩිය. එබැවින් එය නිතර නිතර පරිහරණයට කවුරුත් පි‍්‍රයකරති. කැඩපත සියලු දෙනාටම තමාගේ ප්‍රතිබිම්බය බලා ගැනීමට අවශ්‍යම වස්තුවකි. එය ද සියලු දෙනා තමාගේ රුව බලා ගැනීමට නිතර නිතර පරිහරණය කරයි. සිල්වන්තයා ද පුණ්‍යවන්තයා ද ඇසුරු කිරීමෙන් කිසිදා පාඩුවක් හා අයහපතක් නොවන නිසා ඔහු ඇසුරු කිරීමට කවුරුත් පි‍්‍රයකරති. යහපත් පැවතුම් ඇති භාර්යාවද එසේම. ඇය ස්වාමියාට කිසිදා දුකක් නොදෙයි. ස්වාමියා නිතර සතුටින් තැබීමට උත්සාහ කරයි. එබැවින් ස්වාමියා ,ඇය නිතර නිතර ඇසුරු කිරීමට කැමති වෙයි සමාන ගුණ ඇති යහපත් මිතුරාද එසේමය.

පිතා හතා ත්‍රිභුවනමන්ධකාරං
මාතා හතා දිව්‍ය රසානි භින්නම්
භ්‍රාතා හතා දක්‍ෂිණ බාහු භින්නම්
භාර්යා හතා වක්ත්‍ර කපෝල භින්නම්
(ප්‍රත්‍ය ශතකය 73 වන පද්‍ය)

(පියාගේ මරණය තුන් ලොවට අන්ධකාරයක් වැන්න. මවගේ මරණය මධුර භෝජන විනාශයක් වැනිය. සොහොයුරාද මරණය දකුණු අත කැඩීයාමක් බඳුය. බිරිඳගේ මරණය කපෝල අස්ථිය බිඳුනාක් වැනිය)

ඉහත ශ්ලෝකයෙන් පෙන්වා දෙන්නේ තම සමීපතමයන් සිව් දෙනෙකුගේ මරණයන් තමාගේ ජීවිතයට බලපාන අයුරුයි. පියාගේ මරණය තුන් ලොවෙහි අන්ධකාරය හා සමානය. මවගේ මරණය රසවත් භෝජනයක් නැතිවීමක් වැනිය. සහෝදරයාගේ වියෝව දකුණු අත කැඩීයාමක් හා සමානය. එහෙත් තම පි‍්‍රය භාර්යාවගේ වෙන් වීම මේ සියල්ලටම වඩා අතිශයින් බලපාන්නේය. එය ‘කපෝල අස්ථිය බිඳුනාක් වැනිය’ යනුවෙන් හඳුන්වා ඇත්තේ එබැවිනි. එයින් අර්ථවත් කරන්නේ තම පි‍්‍රය භාර්යාවගේ වෙන්වීම ඇයට පි‍්‍රය කළ, ඇයට ආදරය කළ ස්වාමියාට කිසිසේත් දරාගත නොහැකි බවයි.

ගගනේවි රත්නන්තු
ගෘහ රත්නානි බාලකාඞ
ශයනේච ස්ත්‍රී රත්නානි
සභා රත්නානි පණ්ඩිතාඞ
(ප්‍රත්‍ය ශතකය 86 වන පද්‍ය)

අහසට සූර්යයා රත්නයකි. ගෘහයට දරුවා රත්නයකි. ශයනයේ දී ස්ත්‍රිය රත්නයකි. සභාවේ දී පණ්ඩිතයා රත්නයකි)

ඉහත ශ්ලෝකයෙන් අර්ථවත් කරන්නේ ඒ ඒ ස්ථානයන්ට වැදගත් වූ රත්නයන් හෙවත් වස්තුන් හතරක් පිළිබඳවය. එනම්, ආකාශයට හිරු වටිනාම රත්නයයි. හිරු නැති අහසින් පලක් නැති බැවිනි. නිවසට දරුවා වස්තුවකි. දරුවෙක් නැති නිවස පාළු ස්වභාවයක් ගන්නා බව හෙවත් ශි‍්‍රයාවක් නැති බැවිනි. එමෙන්ම යහනේ දී ස්වාමියාට භාර්යාව රත්නයකි. සභාවේදී පණ්ඩිතයා රත්නයකි.අර්ථවත් දෙයක් පවසන බැවිනි.

අර්ථාගමෝ නිත්‍යමරෝගිතාච
පි‍්‍රයශ්ච භාර්යා පි‍්‍රයවාදිනීච
වශ්‍යශ්ච පුත්‍රොර්ථකරීච විද්‍යා
ෂඩ් ජීව ලෝකේ සුඛානි රාජන්
(හිතෝපදේශය 21 වන පදය)

වස්තු හිමිකරුවෙක් වීම නිරන්තරයෙන් නිරෝගී වීම පි‍්‍රයවදන් කතාකරන පි‍්‍රය භාර්යාවක් සිටීම නැණවත් පුත්‍රයන් සිටීම හා උගත් ශාස්ත්‍රයෙන් ධනය ලැබීම යන මේ කරුණුූ හය ලෝකයේ ඇති ඉහළම සැපයන්ය.

ඉහත ශ්ලෝකයෙන් සඳහන් වන්නේ මේ ලෝකයේ ඇති සැප හයක් පිළිබඳවය. පිළිවෙළින් ඒ සැප හය මෙසේය. 01.ධනයට හිමි කරුවෙක් වීම 02.නිරතුරුව නිරෝගිව සිටීම 03.පි‍්‍රය උපදවන භාර්යාවක් සිටීම 04.එමෙන්ම ඇය පි‍්‍රය තෙපුල් ඇත්තියක් වීම 05. නැණවත් පුත්‍රයන් සිටීම 06.ධනය උපදවන ශාස්ත්‍රයන් හදාරා තිබීම

ලෞකික ලෝකයේ ඉහළම ගණයේ සම්පත් වන මේ සම්පත් අතර භාර්යාව සතුව සම්පත් දෙකක් ඇත. එනම් භාර්යාව පි‍්‍රය ස්වරූප ඇත්තියක් මෙන්ම තම ස්වාමියා කෙරෙහි පි‍්‍රය තෙපුල් ඇත්තියක් ද විය යුතු බවයි. තම භාර්යාවගේ පි‍්‍රය තෙපුල් ස්වාමියා මිහිපිට ඇසෙන මිහිරිතම ස්වරයන්ය. එබැවින් භාර්යාවගේ චර්යාවන් පි‍්‍රය වන්නාසේම තෙපුල් ද පි‍්‍රයවීමෙන් ස්වාමියාට මහත් සැපයක් ලබා දෙයි.

කෝකිලානං ස්වරං රූපං
නාරිරූපම් පතිව්‍රතම්
විද්‍යාරූපමරූපානං
ක්‍ෂමා රූපං තපස්වීනම්
(ව්‍යාසකාරය 49 වන පද්‍ය)

කොවුලාට රූපය හෙවත් විසුතුරු බව ගෙන දෙන්නේ උගේ ස්වරය හෙවත් ශබ්දයයි. කාන්තාවන්ගේ වටිනාකම හෙවත් රූපය වන්නේ පතිව්‍රතාවයි. විරූපි පුද්ගලයාට රූපය ගෙන දෙන්නේ ඉගෙනීමයි. තාපසයාගේ රූපය වන්නේ ඉවසීමයි.

කොවුලා යනු පෙනුමෙන් පි‍්‍රයකරු පක්‍ෂියෙක් නොවේ. එහෙත් උගේ ස්වරයට හෙවත් නාදයට කවුරුත් පි‍්‍රය කරති. එබැවින් කොවුලාගේ වටිනාකම ඇත්තේ උගේ නාදයේය. ස්ත්‍රියකගේ වටිනාකම ඇත්තේ පෙනුමේ හෙවත් රූපයේ නොව ඇගේ පිරිසුදු කමෙහිය. එනම් පතිව්‍රතාවෙහිය. එබැවින් පතිව්‍රතාව ස්ත්‍රියට වටිනාම රූපයයි. විරූපි පුද්ගලයෙක් වුවද උගතෙක් නම් ඔහුට කවුරුත් ගරු කරති. ඔහු අවශ්‍යම පුද්ගලයෙක් බවට පත්වෙයි. තාපසතුමාගේ වටිනාම වස්තුව වන්නේ ඉවසීමයි. ඉවසීම නැති තපස්කමින් පලක් නැති බැවිනි.

මතු සම්බන්ධයි


තරුණ වියයි බුදුදහමයි ලිපි මාලාව -18 බ්‍රාහ්මණ සමාජයේ ස්ත්‍රිය හා විවාහය