UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 39 වජ්ජිපුත්ත මහරහතන් වහන්සේ

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 39

වජ්ජිපුත්ත මහරහතන් වහන්සේ

නිකෙලෙස් මුණිවරුන්ගේ ජීවිතය මඩවගුරක හටගෙන, මඩ වගුරෙන් පෝෂණය වී ඒ මඩෙන් උඩටවිත් මඩෙහි නො තැවරී ලෝකයට ම සුන්දරත්වයත්, සුවඳත් ලබාදෙන නෙළුමක් වගෙයි. කෙලෙස් සහිත මිනිසුන් අතර කෙලෙස් සහිතව ම ඉපදී ගෞතම බුදු සමිඳුන්ගේ ශාස්තෘ සම්පත්තියේ පිහිටෙන් කෙලෙස් හුල් දුරුකොට, දෙවි මිනිසුන් අතරේ ශ්‍රේෂ්ඨත්වයට පත් වූ රහතන් වහන්සේ නමක් ගැනයි අදත් අප සිත පහදවා ගන්නේ.

මීට කල්ප අනූ එකකට පෙර යුගයේ සදහම් ඇස් ඇති විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වදාළා. ශ්‍රාවක පිරිස පිරිවර වැඩම කරමින් සිටියා. මලින් බර වූ නා ගසක් අසල නා මල් කඩමින් සිටි තරුණයකුට රන්වන් වූ සිරුරක් සහිත, හිරු මෙන් බබලන රශ්මිප්‍රභා ඇති දසදිශාවන් බබුළුවන නිර්මල චන්ද්‍රයා බඳු, ශ්‍රාවක සංඝයා පිරිවරා සන්සුන් ගමනින් වඩින සම්බුදු සමිඳුන්ගේ දර්ශනය දැක ගන්නට ලැබුණා. ඒ අසාමාන්‍ය වූ අලාමක දර්ශන ඇති පුරුෂෝත්තමයාණන් වහන්සේ දුටු සැණින් ඒ තරුණයාගේ සිත නිම්හිම් නැති පී‍්‍රතියකින් වෙලී ගියා. ඔහු මහත් ආදරයෙන් ඒ සිරිපා වන්දනා කළා. අනතුරුව නා මල් වලින් නාමල් රේණු මලින් විපස්සි බුදුජාණන් වහන්සේට විසිතුරු පූජෝපහාර දැක්වූවා.

සම්බුදු රජුන් උදෙසා සිදුකළ ඒ පූජාවෙන් ඔහු මරණින් මතු බොහෝ සර්වර්ග සැප ලැබුවා. එමෙන්ම මීට කල්ප හතලිස් පහකට පෙර ‘රේණු’ නම් වූ සක්විති රජු බව පත්ව සමුදුරෙන් සීමා වූ මුළුමහත් පෘථිවි තලයම ධාර්මිකව පාලනය කිරීමටද ඒ බුදු පූජාමය පිනේ විපාකය හේතු වුණා. කල්පයෙන් කල්පය ගෙවී ගොස් කලාතුරකින් පහළවන සොඳුරු කල්පයක් ලෝකයට උදාවුණා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පස්නමක් ලෝ තලයේ පහළ වන මේ මහා භද්‍ර කල්පය යි. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසන අවසන් වී මේ මහාභද්‍ර කල්පයේ සතරවන බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වී වදාළා. ඒ අපගේ ශාස්තා වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළවන විට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු එකසිය විස්සක් ව පැවතුණා.

විපස්සී බුදුරජුන් උදෙසා පුෂ්ප පූජා සිදුකළ තරුණයා ද එකල මහත් වූ ධන සම්පත් ඇති සිටුකුලයක උපත ලැබුවා. තරුණ වියට එළඹී මේ සිටු කුමාරයාගේ සිත ගෘහ ජීවිතයට ඇලුණේ නැහැ. ඔහුට ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇසූ සැණින් පැවිද්ද කෙරෙහි සිත ඇදී ගියා. ඉතාමත් දුෂ්කර ලෙස මා පියන්ගේ අවසර ලබා ඔහු බුදුරජාණන් වහන්සේ සමීපයේ උතුම් පැවිද්දත්, උපසම්පදාවත් ලබා ගත්තා. ටික කාලයක් බුදුරජාණන් වහන්සේ සමීපයේ හිඳිමින් ධර්ම විනය හැදැරූ මේ ස්වාමීන් වහන්සේ ඉතාමත් සිල්වත්ව වත් පිළිවෙත් හොඳින් සිදුකරමින් වාසය කළා. අනෙක් ස්වාමීන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේව හැඳින්වූයේ ‘වජ්ජිපුත්තක’ යන නමිනු යි.

ඉතින් මේ වජ්ජිපුත්තක හිමියන්ගේ විවේකය පිණිස විශාලාවේ වන පියසක තමයි ඒ දිනවල වැඩ වාසය කළේ. මේ ස්වාමින් වහන්සේ විවේකී සිල්වත් ජීවිතයක් ගතකළත්, චිත්ත දියුණුවක් ලබා ගැනීමට නො හැකි වුණා. ඒ නිසාම උතුම් පැවිදි දිවියේ ඇති පැවිදි රසය ගැන උන්වහන්සේට හොඳින්ම වැටහී තිබුණේ නැහැ. කාමයන් කෙරෙහි ඇල්ම වජ්ජිපුත්තක හිමියන් තුළ තාමත් තිබුණා. එදා රාත්‍රිය පහන් වෙනකල් ම විශාලා මහනුවර විශාල උත්සවයක් පැවැත්වුණා. විශාලා මහනුවරට නුදුරේම තිබූ මේ වන ලැහැබට රෑ පුරාවට ම ඒ උත්සවයේ තූර්යවාදන හඬ අත්පොළසන් හඬ හොඳින් ම ඇහුණා.

ඒ රෑ එළිවෙනකම්ම වජ්ජිපුත්තක ස්වාමින්වහන්සේට නින්ද ගියේ නැහැ. උන්වහන්සේගේ සිත තුළ නොයෙකුත් කාම සිතුවිලි ඉපදුණා. දහම කෙරෙහි අරතිය ඇතිවුණා. ඒ තූර්යවාදන හඬ අසමින් මෙහෙම කල්පනා කළා. ‘අනේ මාත් ගෙදර හිටියා නම් මේ වගේ උත්සව වලට හිතුමනාපෙ යනවනේ, ගිහිල්ලා යහළු යෙහෙළියොත් එක්ක නටමින් ගයමින් සතුටු වෙනවනේ. දැන් මේ පැවිදි වෙලා ඒ මොකකටවත් අවස්ථාව නැහැ. මොකක්ද මට මේ වෙච්ච වින්නැහිය’. මේ විදියට හිත හිතා උන්වහන්සේ පසුතැවුණා. අන්තිමේ මහ හඬින් අඬන්ට පටන් ගත්තා. අඬ අඬා මේ විදියට පැවසුවා. ‘අය්යෝ, අප මේ තනියම කැලේකට වෙලා ඉන්නවා. වනයේ පැත්තකම දාපු දර කෑලි වගේ. මේ වගේ රාත්‍රියකත් අප තනිවෙලා අපට වඩා අවාසනාවන්තයෝ තව ඉන්නවා ද?’

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ගැන දෙවිවරු අවධානයෙන් තමා ඉන්නේ. ශ්‍රාවක සංඝයාගේ දියුණුව කැමැති දෙවිවරු බොහෝමයක් එකල වැඩ සිටියා. ඒ මොහොතේ ඒ වන ලැහැබට අරක්ගත් දෙවියාට ඒ භික්ෂුව සංවේග ඇතිකරවන්න කැමැති වුණා. ඒ භික්ෂුව ළඟට ගියා. ගිහින් ඒ භික්ෂුවට ගාථාවකින් පැවසුවා.

‘ඔබ වනයේ අතෑරල දාපු දර කැබැල්ලක් වගේ. වනාන්තරයට ‍ෙවලා තනිම ඉන්නා නේද? ඒ වුණාට දෙවිලොව යන්නට කැමැති නිරිසතුන් වගේ බොහෝ දෙනෙක් ඔබේ ජීවිතයට කැමැතියි’.

වජ්ජ්පුත්තක ස්වාමින් වහන්සේට තමන් ගැනම විශාල සංවේගයක් ලැජ්ජාවක් හටගත්තා. ‘චී! උතුම් බුදු සසුනේ පැවිදිවෙලා මොනවද මම හිතන මේ ජරා සිතුවිලි’ කියලා. හොඳටම සිතට නිග්‍රහ කර ගත්තා. බුදු සමිඳුන්ගේ ශ්‍රාවකයින් හරිම පුදුමාකාර යි. ඔය විදිහට යම් යම් ප්‍රමාදි සිතුවිලි සිහිය දුර්වල වුණාම හටගන්නවා. නමුත් ඒ ශ්‍රාවක පිරිස වහාම සිහිය උපදවාගෙන සංවර වීමට කැමැත්තෙන් තමයි වාසය කරන්නේ . ඒ සංවර වීමට කැමැති තම ශ්‍රාවකයින් හට භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙන මඟ පෙන්වීම් හරිම විශ්මයජනක යි. භාග්‍යවතුන් වහන්සේ ‘ආධිපත්‍යෙය’ සූත්‍රයේදී මේ අයුරින් වදාළා.

භික්ෂුවක් මාව මුල්කරගෙ කෙලෙස් සහගත සිතුවිලි වලින් සංවර වෙනවා. ඒකට කියන්නේ අත්තාධිපත්‍යෙය කියලා. ඒ භික්ෂුව හිතනවා ‘ මම පැවිදි වුණේ කන්ට බොන්නට නැතිකම හින්ද නොවෙයි. අතේ පයේ හයිය නැතුවත් නොවෙයි, රජ්ජුරුවෝ බලකරළත් නොවෙයි. මං මේ ගිහි ජීවිතේ අතෑරලා පැවිදි වුණේ මේ ජරා මරණ ශෝක පරිදේවයෙන්ගේ කෙළවරක් දකින්නට නේද? එහෙම පැවිදි වුණ මට මේ පාපී කෑම සිතුවිලි ව්‍යාපාද සිතුවිලි, හිංසා සිතුවිලි ගැලැපෙන්නේ නැහැ. මේක මට අයහපතක්ම යි’ මේ අයුරින් හිතද්දී ඒ භික්ෂුව පාපි සිතුවිලි දුරු කරන කෙනෙක් වෙනවා.

ඒ වගේම පාපි සිතුවිලිවලින් සංවර වීමට ඇතැම් ශ්‍රාවකයෝ ලෝකය මුල්කර ගත්තා. ඒකට කියනවා ලෝකාධිපත්‍යෙය කියලා. ඒ භික්ෂුව හිතන්නේ මේ විදියට යි. ‘මේ ලෝකයේ අනුන්ගේ සිත් දකින දෙවිවරු ඉන්නවා. අනුන්ගේ සිත් දකින්නට දක්ෂ ශ්‍රවණ බ්‍රහ්මණවරුන් ඉන්නවා. තමන් තම සිත ගැන දන්න පරිද්දෙන්ම ඒ අයත් මගේ සිත දකිනවා. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදියට පෙනී ඉඳළ මේ කිළුටි සහිත සිතුවිලි හිත හිතා හිටියොත් ඒ දෙවිවරුන්ට ශ්‍රමණ බමුණන්ට මම ගැන මෙනවා හිතේවි ද? ඒ නිසා මේ කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, හිංසා සංකල්ප මට ගැලපෙන්නේ නැහැ. මේක මට අයහපතක්ම යි’ ඔය අයුරිනුත් භික්ෂුව පාපී සිත දුරු කර ගන්නවා.

පාපී ලාමක සිතුවිලි දුරුවීම පිණිස භික්ෂුවක් තමන් අනුගමනය කරන ධර්මය මූලික කරගෙනත් වීරිය කරනවා. ඒක හඳුන්වන්නේ ධම්මාධිපතෙය්‍ය කියල යි. ‘මම මේ අනුගමනය කරන ශ්‍රී සද්ධර්මය සම්මා සම්බුදුරජුන් විසින් දේශනා කළ ස්වක්ඛාත ධර්මයක් පිළිපන් වහා ප්‍රතිඵල ලැබෙන සන්දිට්ඨික ධර්මයන් කාලයකට අයිති නොමැති අකාලික වූ සැම දෙනාටම විවෘත වූ ඒහිපස්සික ධර්මයක්. තමන් තුළිට පමුණුවා ගෙන චනගත යුතු ඕපනයික ධර්මයක්. තම තමාගේ නුවණේ ප්‍රමාණයට ප්‍රථිඵල ලබාදෙන ‘පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි’ ගුණයෙන් යුතු ධර්මයක්. මේ ධර්මය විරාගී බව ඇති කරවනවා. සියලු මදයන් දුරු කරවනවා. කෙලෙස් දුක් දුරු කරවනවා. සසරින් නිදහස් කරවනවා. තෘෂ්ණාව ක්ෂය කරවනවා. මෙබඳු උතුම් ධර්මයක් තිබියදී මම මේ කාම ව්‍යාපාද හිංසා ආදි පවිටු සිතුවිලි හිතන එක මට ගැලපෙන්නේ නැහැ. මේක මට යහපතක් නම් නොවේ. යනාදී වශයෙන් හිතද්දී පවිටු සිත දුරුවෙලා යනවා.

කෙලෙස් නිසා සතුටුවෙන්නට මහන්සිවෙන ලෝකයක ඒ කෙලෙස් දුකක් බව දැනගෙන ඒවා දුරු කරන්නට හික්මෙන ශ්‍රාවක පිරිසක් බවට මුණ ගැසෙන්නේ සම්මා සම්බුදු සසුනක පමණ යි. ඉතින් දෙවියා විසින් සංවේගයට පත්වනු වජ්ජිපුත්ත ස්වාමින්වහන්සේ බලවත් උත්සායෙන් ධර්මය පුරුදු කළා. මොහොතක්වත් සිත ධර්ම මාර්ගයෙන් බැහැර කර ගත්තේ නැහැ. උන්වහන්සේ අවසානයේ ඒ කෙලෙස් යුද්ධය දිනුවා. උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වී වදාළා.

තමන් වහන්සේගේ සිත සංවේගයට පත් කළ ඒ දෙවියාගේ ප්‍රකාශය වජ්ජිපුත්තක මරහතන් වහන්සේගේ මුවින් පිටවුණේ නිකෙලෙස් උත්තමයෙකුගේ උදාන ගාථාවක් ලෙසයි.

එක්කං මයං ආරඤ්ඤේ විහරාම
අපවිද්ධං’ ව වනස්මිං දාරුකං
තස්ස මේ බහුකා පිහයන්ති
කේරයිකා විය සග්ගාමිනං

‘වනාන්තරයේ හුදෙකලාවේ ජීවත්වෙන අප අත්හැරල දාපු දර කැබලි වගෙයි. ඒත් බොහෝ දෙනෙක් මම ගතකරන ජීවිතේට හරි කැමැති යි. ඒ නිසා ඒ අය අප දෙස බලන්නේ, දෙව්ලොවට යන අය දිහා බලාගෙන ඉන්න නිරිසත්තු වගෙයි’.

නිකෙලෙස් නිහතමානි සිතකින් වැඩසිටි ඒ සියලු රහතන් වහන්සේලා කිසිවක් නො දත් නූගතුන් වගේ හුදෙකලාවේ තමයි වාසය කළේ. ඒත් ඒ නිකෙලෙස් රහතුන්ගේ ජීවිතේ කොතරම් සුන්දරයි ද? අපත් ඒ නිකෙලෙස් බවටම කැමැති වෙමු. ඒ රහතුන් ගැන සිත පහදවාගෙන අපත් සියලු රහතන් වහන්සේලා අත්දුටු අමා මහ නිවන් සුව ලැබීම පිණිස ජීවිතවලට හැකි පමණින් උතුම් පුණ්‍ය ධර්මයන් එක්රැස් කර ගනිමු.

නයනා නිල්මිණි


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 38 සීලව මහරහතන් වහන්සේ

 
වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි මස 27 වැනිදා අඟහරුවාදා අපරභාග 11.50 ට ලබයි.29 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.13 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මැයි මස 28 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජූනි මස 05 වැනි දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]