Print this Article


තරුණ සමාජයේ සිතිවිලි දහමෙන් පෝෂණය කරමු

තරුණ සමාජයේ සිතිවිලි දහමෙන් පෝෂණය කරමු

තරුණ දූ දරුවන් එකතු කරගෙන ඔවුන් රුචිකත්වයක් දක්වන දහමට සරිලන දේ වෙත ඔවුන් යොමු කිරීම තුළින් ගුණ දහමින් පිරි වෙසක් උළෙලක් අපට සමරන්න පුළුවන්. වෙස් මුහුණු මිලදී ගැනීමට දරුවන්ට ඔබ උදවු කරනවා නම් වෙසක් දින අනිසි විනෝදවීම් සඳහා දරුවන් යොමු කරනවා නම් එහි වරද වැඩිහිටියන් අතර මිස දරුවන් අත නොවෙයි.

දරුවන්ගේ මානසික සුවය වඩන වැඩසටහන් පෙළ ගැස්විය යුතුයි. අද සාර්ථකව පවත්වාගෙන යන වැඩ සටහන් දිහා බලන්න. ඒ වැඩ සටහන්වල සාර්ථකත්වය රඳා පවතින හේතු දෙකක් තියෙනව. එයින් එකක් කාලය නොමරා උපරිම ප්‍රයෝජන ගැනීමයි. අනිත් එක තරුණ පිරිස මුල් තැන ගැනීමයි.

පොහෝ දින විශේෂයෙන්ම වෙසක් පොසොන් පොහෝ දිනවල සූත්‍රධර්ම වැනි දේ සාකච්ඡා කිරීමට බොහෝ දෙනා තුළ රුචිකත්වයක් තිබෙනවා. තරුණ සිතිවිලි දැවෙන ප්‍රශ්නවලට ඔවුන් පිළිතුරු බලාපොරොත්තු වන්නේ ධර්මයෙන්.

අප විවිධ පූජා තබමින් අපේ වැඩ ප්‍රදර්ශනය කරනවා. කප්රුක් පූජා, වැනි පූජා ඉතා ජනපි‍්‍රයයි. එහෙත් තරුණ සිත් එහෙමමයි. තරුණයන්ට තමන්ගේ දැවෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න තැනක් නැහැ.

යසකුල පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ පිහිට වුණා වගේම පටාචාරාවන්ට සත්‍ය අවබෝධ වුණා. කිසාගෝතමිය ලෝකයේ සැවොම මිය යන බව තමන් විසින්ම වටහා ගත්තා. එවැනි දැවෙන ප්‍රශ්නයකට පිළිතුරු ලැබෙන්නේ කාගෙන්ද? ඔවුන්ට සත්‍යය අවබෝධ වන ලෙස යොමු කරවන්නේ කවුද?

විහාරස්ථාන මුල් කැරගෙන පවත්වනු ලබන විවිධ පින්කම්වලදී ඒවායේ මුල්තැන ගන්නා පිරිස් විසින්ම ඔවුන්ට අවශ්‍ය පරිදි කොඩි දැමීම් කරනවා. ඔවුන්ට අවශ්‍ය පරිදි දැන්වීම් සකස්කර ඔවුන්ට අවශ්‍ය තැන්වල ඒවා ප්‍රදර්ශනය කරවනවා. මෙයින් සිදුවන්නේ ජනතාවගේ දැන ගැනීම සඳහා සංවිධායකවරුන්ගේ උනන්දුව ඇතිවීමයි. ජනතාවගේ හදවත් තුළ ශ්‍රද්ධාව ඇති කළ යුතුය.

පානදුරේ අරියධම්ම හාමුදුරුවන් අපේ රටේ බොහෝ දෙනෙක් පොහෝ දින සිල් සමාදන් කිරීම සඳහා යෙද වූවා. එක නගරයක 25000 ක් 30000 ක් පමණ සීල සමාදානයට යොමුකළා. උන්වහන්සේ බෝධි පූජාවට අමතරව ධර්මදේශනාව නිවැරැදිව සිදු කළා.

ධර්මය ශ්‍රවණය කරන බොහෝ දෙනා සීල සමාදානයට යොමු වුණා. මත්වතුර පානය කරන මස් මාංශ අනුභව කරන දුම්වැටි පානය කරන බොහෝ දෙනා ඒ සඳහා සහභාගි වුණා.

කරුණාව, මෛත්‍රිය තුළින්ම ඔවුන් ඒ සඳහා යොමු කළා. අද ඒ තත්ත්වයේ අඩුවක් දක්නට තිබෙනවා.

වෙසක් දිනයේ වුවද දරුවන්ගේ වැඩිහිටියන් වගේම ස්වාමින් වහන්සේද සහභාගි වී දරුවන්ට නිසි ක්‍රියාකාරකම් පෙන්වා ඒ සියල්ල ප්‍රායෝගිකව කළ යුතුවනවා. නමුත් අද ඇතැම් විට සිදුවන්නේ හුදෙක් ප්‍රකාශ කිරීම් පමණයි. වැඩිහිටියන් එක්ව බටපතුරු කපාදී දරුවන් සමඟ වෙසක් පහන්කූඩු ඇලවීමක් දැකීම අසීරුය. සියල්ල අද ක්ෂණික දේ බවට පත්වෙලා. සියල්ල වෙළෙඳ පොළෙන් මිලදී ගන්නා තත්ත්වයක් දක්නට තිබෙන්නෙ.

විහාරස්ථානය නැතිනම් වෙනත් ස්ථාන ශ්‍රමදාන මඟින් සුද්ධ පවිත්‍ර කිරීම, කෙසෙල් කොට කපා පහන් දැල්වීමට සැකසීම වැනි දේ සදහා දරුවන් යොමුකිරීමට වැඩිහිටියන් කටයුතු කළ යුතුවනවා. නිවස පමණක් නොව පොදු කටයුතු සියල්ල තමන් විසින් කළ යුතුබවට තරුණ දරුවන්ට ඒත්තු යනවා. එසේ නොමැතිව වෙසක් උළෙලට පවා වේලාවක් නෑ වැඩ වැඩියි ‘ යනුවෙන් පිළිතුරු හදා ගැනීම තුළින් දරවැන්ද ඒ සංකල්ප මත පිහිටීමට කටයුතු කරනවා.

දරුවන්ට දෝෂාරෝපණය කිරීම් අද බොහෝ විට වැඩිහිටියන්ගෙන් දක්නට ලැබෙනවා.මේ ළමයි කිසි උනන්දුවක් නෑ. එයාලට පාඩම් වැඩ වැඩියි.මේ උත්තර දෝෂාරෝපණ වැඩිහිටියන් හදා ගන්න ඒවා. තරුණ දූ දරුවන් එකතු කරගෙන ඔවුන් රුචිකත්වයක් දක්වන දහමට සරිලන දේ වෙත ඔවුන් යොමු කිරීම තුළින් ගුණ දහමින් පිරි වෙසක් උළෙලක් අපට සමරන්න පුළුවන්. වෙස් මුහුණු මිලදී ගැනීමට දරුවන්ට ඔබ උදවු කරනවා නම් වෙසක් දින අනිසි විනෝදවීම් සඳහා දරුවන් යොමු කරනවා නම් එහි වරද වැඩිහිටියන් අතර මිස දරුවන් අත නොවෙයි.

වෙසඟේ සැබෑ අරුත දරුවන්ට වටහා දීමට භික්ෂූන් වහන්සේ මෙන්ම මව්පියන් කටයුතු කළ යුතුයි. මේ සැබෑ අරුත අද ඇතැම් වැඩිහිටියන් පවා නොදැනීම අත්තෙන්ම කනගාටුදායකයි

සාකච්ඡා කෙළේ - තාරක වික්‍රමසේකර