Print this Article


මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ

වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ ශබ්ද ශාස්ත්‍ර මෙන්ම ධර්ම ශාස්ත්‍ර හදාරා ඒවා ශිෂ්‍යයන්ටද උගන්වමින් එම ශාස්ත්‍ර දියුණු කරමින් කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන් ගේ පූර්ණ අනුග්‍රහය ලබාගෙන ස්‍යාමදේශයේ අයෝධ්‍යා නගරයෙන් උපසම්පදාව ගෙන්වා රාජවර්ෂ 1753 ජූලි 15 වනදා උපසම්පදාව ලබා පසුව සංඝරාජ ධුරයටද පත්වූහ.

ශාසන පාලන භාරය සඳහා මහානායක පදවිය දක්නට ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමා විසින් වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේගේ උපදෙස් පරිදි සංඝරාජ පදවියත් සමගම පත්කළ මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක පදවි දෙකයි.

කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමා විසින් සංඝරාජ පදවියට යෝග්‍ය වටාපතක් හා මහානායක පදවියට සුදුසු වටාපත් දෙකක් යැයි වටාපත් තුනක් ගෙනවුත් මල්වතු මහා විහාරීය උපෝෂථාගාරයට, මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහා සංඝරත්නය රැස්කරවා වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේට සුදුසු වටාපත පිළිගන්වා මල්වතු අස්ගිරි උභය මහා විහාරය ඇතුළු එකල ලංකාද්වීපයට සංඝරාජ පදවිය පත් කරන ලදී. සංඝරාජ මාහිමියන් වහන්සේගේද උපදෙස් පරිදි ඉමහත් දුෂ්කරතාවයෙන් ආරම්භ කරන ලද උපසම්පදාව හා ශාසනයත් ආරක්‍ෂා කර ගැනීමේ පවිත්‍ර චේතනාවෙන් උභය මහා විහාරයටම මහානායක හිමිවරු දෙනමක් පත්කිරීමට තීරණය කොට තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධරක්‍ඛිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට සුදුසු වටාපත පිළිගන්වා උපෝෂතාරාමයේ නායක පදවියද උරුලෑවත්තේ ශ්‍රී ධම්මසිද්ධි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට සුදුසු වටාපත පිළිගන්වා අස්ගිරි විහාරයේ නායක පදවියද පිරිනමන ලදී.

වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේට ථෙර සම්මුතිය සහිත උපාධ්‍යාය තනතුර පත්කොට උන්වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා ලාංකේය භික්‍ෂූන් වහන්සේගේ කර්මාචාර්යත්වයෙන් උපසම්පදාව පිහිටුවා එතැන් පටන් උභය විහාරයෙහිම උපසම්පදාව නොකඩකොට සිදුකරන ලෙසටද දළදා වහන්සේගේ ආරක්‍ෂාව සංඝරාජ මාහිමියන් ප්‍රධාන උභය විහාරයෙහි මහානාහිමි, අනුනාහිමිවරු කාරක සභා සංඝරත්නයද දළදා තේවා මුරය උභය විහාරයේ සතර පේරුවේ සංඝයා වහන්සේටද නියම කළෝය. මහා කාරක සභාවේ මහා ස්ථවිරවරුන්ගෙන් නමක් මහානායක, අනුනායක පදවිවලට තෝරාගන්නා ලදී.

වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සංඝරාජ මාහිමියන්ගේ අපවත්වීමෙන් පසු සඟරජ පදවිය අහෝසි වුවද කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමන් විසින් පත්කළ මල්වතු අස්ගිරි උභය මහා විහාර මහානායක පදවි දෙක 1815 දක්වා රජතුමා විසින් පත්කර ඇත. 1815 මාර්තු 02 වනදා සම්මත කළ ඉංගී‍්‍රසි ගිවිසුමේ 5 වන වගන්තිය යටතේ උභය මහා විහාරයන් සඳහා දෙවෙහෙර සඟරුවනෙහි කැමැත්ත පරිදි පත්කර ගන්නා මහානායක මාහිමිවරුන් 1815 සිට වසර 32 ක් ඉංගී‍්‍රසි මහ රජතුමන් විසින් ආඥාවට අනුව මෙරට ඉංගී‍්‍රසි ආණ්ඩුකාරතුමා විසින් 1848 තෙක් අනුමත කර ඇත.

ඉංගී‍්‍රසි මහරජතුමාට හා ලංකා ආණ්ඩුකාරතුමාට පැවරී තිබූ ශාසන පාලන බලය බුද්ධවර්ෂ 2391 දී හෙවත් රාජ්‍ය වර්ෂ 1848 දී මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි විංශත් වර්ගික කාරක මහා සංඝ සභා දෙකට පවරණ ලදී.

ඊට පසු 1853 අපේ‍්‍රල් 7 නිකුත් කර ඇති අංක 152 දරන රාජාඥා ලිපියෙන් බුද්ධාගමේ සහ දළදා වහන්සේගේ ආරක්‍ෂාව මල්වතු අස්ගිරි විහාර දෙකේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලාටත්, දියවඩන නිලමේටත් පවරාදෙන ලදී.

ඒ අයුරින් එවක ආණ්ඩුව විසින් මහානායක පදවි පත්කිරීමෙන් වෙන්වී එම අයිතිය කාරක සංඝ සභාවට පවරා තෝරා පත්කර ගත් භික්ෂුවට පත්වීම අනුමත කොට අක්ත කඩදාසියක් පිරිනැමීමට ආරම්භ විය.

හෙළ රජ දවස පැවැති වටාපත පිළිගැන්වීම වෙනුවට එතැන් පටන් ආණ්ඩුකාර තුමාගේ අත්සන සහිතව අක්ත පත්‍රයක් පිරිනැමීමේ සිරිත ආරම්භ වූ බව පෙනේ. එතැන් පටන් මේ දක්වාම මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි මහානායක පදවිය හා අනුනායක පදවි පිළිබඳ අක්ත පත්‍රය එවකට ආණ්ඩුකාරතුමා විසින්ද පසුව ජනාධිපතිතුමා විසින්ද මේ දක්වාම අඛණ්ඩව පවත්වාගෙන එනු ලැබේ.

මෙරට ඉතිහාසයේ මුල පටන්ම බෞද්ධ රාජරාජ මහාමාත්‍යාදීන් මෙන්ම මෙරට රාජ්‍ය පාලකයා පළමුවෙන් ආශිර්වාද ලබා ගන්නේ මහානායක මාහිමියන්ගෙන් බව චිරාගත සම්ප්‍රදායකි. අද දක්වාම එම සම්ප්‍රදාය අඛණ්ඩව පවත්වා ගෙන එනු ලැබේ.

සමස්ත බෞද්ධ ලෝකයා විසින්ම ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සළකනු ලබන ශ්‍රී දළදා වහන්සේගේ ආරක්ෂකයෙකු හා භාරකාරයෙකු ලෙස කාරක මහා සංඝ සභාව සහිත මහානායක මාහිමියන් වහන්සේ කටයුතු කරන අතරම ශ්‍රීමත් දළදා වහන්සේ වැඩ වසන රන් කරඬුවෙහි එක යතුරක් මහානායක මා හිමියන් වහන්සේ භාරයේ පවතී.

ශ්‍රී දළදා මාලිගාවේ තේවා ධුරයට , එහි ගරුත්වය ආරක්ෂාවන පරිදි පුරාණ සිරිත් ප්‍රකාර තේවාව කරන භික්ෂූන් වහන්සේලාද මල්වතු මහා විහාරීය උපෝෂතාගාරයෙහි තේවාව කරන භික්ෂූන් වහන්සේලාද පත්කරන්නේ මහානායක මාහිමියන් වහන්සේය.


මල්වතු මහා විහාරය හා සම්බන්ධ සඟරජ හිමියන්ගේ ප්‍රධාන පැවිදි ශිෂ්‍ය පිරිස පස් නමකි. එම පිරිස අතර ප්‍රධාන ශිෂ්‍ය නම වූයේ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය.

ඇදුරු පරපුර

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත මහානායක මාහිමිපාණන් වහන්සේ සිංහල ,පාලි භාෂාවන් පිළිබඳ හසල දැනුමක් ලබා සිටියහ. ඒ බව උන්වහන්සේ විසින් රචිත ග්‍රන්ථයන්ගෙන් මනාව පැහැදිලිවේ.

මල්වතු මහා විහාරයේ ප්‍රථම මහානායක ධුරයට පත්වූ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත මාහිමිපාණෝ 1753-1773 දක්වා එම පදවිය විසි වසරක් හොබවා ඇත. තම ගුරුවරයා වූ වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ධර්ම ශාස්ත්‍රීය කටයුතුවලට සහයෝගය දක්වමින් ක්‍රියා කර ඇත. තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත මහානාහිමියන් ඇතිකළ සඟ පරපුර අද දක්වාම රිදී විහාර පරම්පරාව ලෙස අඛණ්ඩව පැවැතීම විශේෂ සිද්ධියකි.

රිදීවිහාර පරපුරේ මහානායක, අනුනායක, කාරක සංඝ සභික පදවි දරමින් ධර්ම ශාස්ත්‍රීය කටයුතු සඳහා මහත් මෙහෙවරක් කළ සංඝ පිතෘවරයන් කිහිප දෙනෙක්ම පහළ වී ඇත. මල්වතු මහා විහාරයේ තුදුස්වන මහානායක පදවිය සහ විසි එක්වන මහානායක පදවිය දැරුවේ රිදී විහාර පරපුරේ තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1893-1913) සහ පුරිජ්ජල ශ්‍රී සරණංකර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1956- 1963) විසිනි. පුරිජ්ජල ශ්‍රී සරණංකර මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ 2004 සිට මල්වතු මහා විහාර පාර්ශ්වයේ විසිහයවන මහානායක පදවියට පත්වූහ.

අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කරන උතුමන් වහන්සේගේ වචනය මිහිරිය. ශාන්තය. එබඳු උත්තම ගති ලක්‍ෂණවලින් හෙබි මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජනීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ආදර්ශවත් යුග මෙහෙවරක් නිහඬව ඉටුකරන සසුනඹරේ මහා පහන් ටැඹකි.

මහානායක මාහිමිපාණන් වහන්සේ ඓතිහාසික රිදී විහාරය, රිදීගම කුඹුරුලෙන රජමහා විහාරය, වැලිගල රජමහා විහාරය, පනලිය රජමහාවිහාරය, කවිසිගමුවේ උදටිපොල රජමහා විහාරය, මොරතිහ ශ්‍රී සිද්ධාර්ථාරාමය, මැඩිතියාව ශ්‍රී සුමංගලාරාමය යන විහාරයන්හි ආධිපත්‍ය දරමින් කුඹුරුලෙන ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙනෙහි හා මහනුවර ශ්‍රී සංඝරාජ පිරිවෙනෙහි පරිවේනාධීශ්වර වශයෙන් සම්මානිතයහ.

ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කිරීමෙන් සමස්ත ලෝකවාසි බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වූ ද , ශාසන භාරධාරි සංඝනේතෘන් වහන්සේගේ ජාත භුමියක්ද වූ මාතලේ කොහොන්සිය පත්තුවේ තිබ්බටුවාව නමැති ග්‍රාමවරයෙහි උන්වහන්සේ ජන්ම ලාභය ලැබූහ.

තිබ්බටුවාව ගම්පියසේ තිබ්බටුවාවේ වලව්වේ බණ්ඩාරනායක වාසලමුදලි ටිකිරි බණ්ඩාර නිලමේතුමාගේ සහ කරල්ලියද්දේ ඉඩමේ වලව්වේ ලොකු කුමාරිහාමි දම්පතීන්ගේ කනිටු පුත්‍ර රත්නය ලෙස 1944 මැයි 30 වැනිදා එසේ උපත ලැබීය.

මල්වතු මහා විහාරයීය විහාරාංග සංවර්ධනයෙහි සදාණුස්මරණීය මෙහෙවරක් සිදු කොට වදාළ මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිපූජ්‍ය පුරිජ්ජල ශ්‍රී සිද්ධාර්ථ සරණංකරාභිධාන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ විසි එක් වැනි මහානායක මාහිමිපාණන් වහන්සේ හා මල්වතු මහා විහාරයීය ගරුතර කාරක මහා සංඝසභාන්තර්ගත තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකරාභිධාන ඓතිහාසික රිදී විහාරයේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේද ආචාර්යත්වයෙන් 1957 ජුනි 10 වැනිදා මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේදි උතුම් පැවිදි දිවියට ඇතුළත් වූහ.

අතිපූජනීය අමුණුගම රාජගුරු ශ්‍රී විපස්ස්‍යාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ විසි දෙවැනි මහානායක මාහිමිපාණන් වහන්සේ, අතිපූජ්‍ය විමලකීර්ති ශ්‍රී සුමන පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්දාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ විසි හතර වැනි මහානායක මාහිමිපාණන් වහන්සේ, ඓතිහාසික සෝමවතී රජ මහ විහාරාධිපති රාජකීය පණ්ඩිත පහමුණේ ධර්ම කීර්ති ශ්‍රී සරණංකර ගුණානන්දාභිධාන මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මල්වතු මහා විහාරයීය ගරුතර කාරක මහා සංඝ සභාවේ ලේඛකාධිකාරි, රාජකීය පණ්ඩිත රඹුක්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නායක සවාමීන්ද්‍රයන් වහන්සේ, මල්වතු මහා විහාරයීය ගරුතර කාරක මහා සංඝ සභාන්තර්ගත රාජකීය පණ්ඩිත රත්නින්දේ ශ්‍රී අනෝමදස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේද කෘතහස්ත ධර්මාචාර්යයන් වහන්සේ වෙතින් මහනුවර ශ්‍රී‍්‍ර සංඝරාජ පරිවෙණස්ථානයෙන් ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර හදාරමින්ද භික්‍ෂූන් වහන්සේ නමකට අවශ්‍ය වත් පිළිවෙත් ආදිය පුහුණු වෙමින්ද පිරිවෙන් අවසානය දක්වා වර්ගපටිපාටියෙන් උසස් අධ්‍යාපනය ලැබූහ.

1964 ජුනි මස 10 වැනිදා අතිපූජ්‍ය අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සි මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේදී වාහල නාග නාමයෙන් උපසම්පදාවට පත්වූහ.

උන්වහන්සේ දැනුමෙන් මෙන්ම ගුණ නුවණින්ද වෘද්ධියට පත්වෙමින් ඉතා ලාබාල වයසේ සිට,උසස් ශාසනික තනතුරු ලැබීමට මෙන්ම ඒවා දැරීමටද සුදුස්සෙක් බවට පත්වූහ.

මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි ගරුතර මහා සඟරුවන වෙත පැවරෙන භාරදූර වගකීම් අතර ජීවමාන බුදුරජාණන් වහන්සේ වන් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා සිදු කෙරෙන තේවාව අතිඋතුම් පූජනීය දුර්ලභ අවස්ථාවකි.

1965,1981,1991 වසරවලදී එවකට වැඩ සිටි අතිපූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ කාරුණික අනුග්‍රහය ලබා ශ්‍රී දළදා මාලිගාවේ තේවා ධුරයට පත්ව බුද්ධෝපස්ථානයෙහි යෙදී දළදා මාලිගාවෙහි පෞරාණික වත් පිළිවෙත් ආදිය පිළිබඳ මහත් ශ්‍රද්ධා ගෞරවයෙන් මනා පරිචයක් ලැබූහ.

1968 සැප්තැම්බර් 25 වැනිදා අතිපූජ්‍ය අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සි මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් ගරුතර කාරක මහා සංඝ සභාවේ කාරක සභික ධුරයට තෝරා පත් කරන ලදහ.

මල්වතු මහා විහාරයේ කර්මාචාර්ය ධුරයට 1969 දී පත්වූ අතර 1974 දී ස්වකීය ආචාර්යෝත්තමයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු ඓතිහාසික රිදී විහාරය ඇතුළු විහාර ස්ථානවල ආධිපත්‍යයට පත්වීමෙන් එම විහාරාරාමයන්හි නව ආලෝකයක් උදාකිරීමට සමත්වූහ.

1979 මැයි 10 වනදා රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය විමලකීර්ති ශ්‍රී සුමන පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්දාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමයෙන් මල්වතු මහා විහාරයීය ගරුතර කාරක මහා සංඝ සභාවේ උප ලේඛකාධිකාරි පදවියට පත්වූහ.

අනතුරුව 1985 නොවැම්බර් 09 වැනිදා රාජකීය පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්දාභිධාන මල්වතු පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේගේම නියමයෙන් ගරුතර කාරක මහා සංඝ සභාවේ ලේඛකාධිකාරිධුරයට පත්ව එහි සියලු කටයුතු නිසි අයුරින් ඉටු කරන ලදී.

1990 දී මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිපූජ්‍ය රඹුක්වැල්ලේ ශ්‍රී ධර්ම රක්ෂිත විපස්ස්‍යාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාරපාර්ශ්වයේ විසි පස්වැනි මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමයෙන් එම සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධුරයට පත් කොට වදාළහ.

ශාසනික වගකීම් මනා කැපවීමෙන් ඉටු කළ හෙයින් අතිපූජ්‍ය රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්‍ෂිත විපස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාව මගින් 1992 මැයි 13 වන දින මහනුවර පුෂ් පාරාමාධිවාසී,රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්‍ෂිත රතනපාල සෝභිතාභිධාන අනුනායක ස්වාමින් වහන්සේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ අනුනායක ධුරයට පත් කර ගන්නා ලදී.

ඓතිහාසික රිදී විහාරයෙහි පෞරාණිකත්වය අති සම්භාවනීයත්වය, පූජනීයත්වය මෙන්ම රමණීයත්වය ආරක්‍ෂා කරමින් එහි සංවර්ධනය සඳහා අනෙකුත් විහාර සංවර්ධනය සඳහාත් ඇපකැපවී ක්‍රියා කළ ආකාරය සැබැවින්ම ආදර්ශවත්ය.

රිදී විහාරය සහ අනෙකුත් විහාරස්ථාවලට විදුලි ආලෝකය ලබා ගැනීම
දර්ශනීය නව ධර්ම ශාලාවේ වැඩ නිම කිරීම
විහාර මළුව පුළුල් කිරීමට ප්‍රාකාර බැමි බැඳ අලංකාරය සඳහා වළාකුළු බැමි බැන්දවීම

වසරේ වැඩි කාලයක් ජල හිඟයෙන් පීඩා විඳීමට සිදුවන විහාරවාසීන්ට හා වන්දනාකරුවන්ට සහන සැලසීමවස් විශාල වියදමක් දරා ජල පහසුකම් සැපයීම

දුරකථන පහසුකම් සැලසීම
ආරක්‍ෂක පවුර හා ගේට්ටු ඉදිකරවීම
බෝධී ප්‍රාකාරය හා පියගැටපෙළ ඉදි කරවීම

රිදී විහාර විශ්‍රාම ශාලාව ප්‍රතිසංස්කරණය කොට වන්දනාකරුවන්ගේ පහසුව සඳහා සනීපාරක්‍ෂක පහසුකම් සහ ජල පහසුකම් සැලසීම

එවකට දිරාපත්වෙමින් පැවැති පොහොය සීමා මන්දිරය අලුත්වැඩියාකර විනය කර්ම කිරීමට සුදුසුවන සේ සකස් කිරීම රිදී විහාරයට අයත් කැලේ පන්සලෙහි පෞරාණික ලෙන් කටුකොහොල් හැර භාවනා මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට භාවනා මධ්‍යස්ථානයක් බවට අවශ්‍ය කටයුතු කරගෙන යාම

කුඹුරුලෙන විහාරස්ථානයේ සංවර්ධන කටයුතු අතර ගරා වැටෙමින් තිබූ කුඹුරුලෙන විහාරස්ථානය පිළිසකර කිරීම

1996.02.05 වන දින ශ්‍රී‍්‍ර සිද්ධාර්ථ පිරිවෙණ ආරම්භ කර ප්‍රදේශයේ ජාතික ආගමික සේවාවන් සිදු කරවීම

නව දෙමහල් පිරිවෙන් ශාලාව ඉදි කරවීම
නව සංඝාවාසය ඉදි කරවීම
විදුලිය හා දුරකතන පහසුකම් සැපයීම

ජල හිඟයෙන් පීඩා විඳින එම ප්‍රදේශයට තරමක හෝ සහනයක් සඳහා කුඩා ප්‍රමාණයේ වැවක් ඉදිකරවීම

ආගමික කටයුතු කර ගැනීමේ දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටි මඬිතියාව ගම්වාසීන්ට එම කටයුතු පහසු කරගැනීම සඳහා සියලු විහාරාංග සහිතව සුමංගලාරාමය නමින් අභිනව විහාරස්ථානයක් ගොඩනැගීම

රිදීගම නගර මධ්‍යයෙහි දෙමහල් ගොඩනැගිලි දෙකක් ඉදිකර එක් ගොඩනැගිල්ලක් බෞද්ධ මධ්‍යස්ථානයක් කිරීම හා ශ්‍රී සිද්ධාර්ථ නමින් මහජන පුස්තකාලය ආරම්භ කර මහ ජනයාගේ ප්‍රයෝජනයට සලස්වා නඩත්තු කටයුතු හා සේවක වැටුප් තම වියදමින් සිදු කිරීම

එක් ගොඩනැගිල්ලක ප්‍රදේශයේ පොදු කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සලසාදීම

රිදීගම දේවාල භූමියෙහි නව වාහල්කඩ ඉදිකිරීම
රිදීගම රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීම
ප්‍රදේශවාසී දුගී ජනතාව සඳහා විහාර ඉඩම් ලබාදී තම වියදමින් නිවාස ඉදිකරදීම

රිදී විහාරය අවට විහාරස්ථාන දියුණු කිරීම සඳහා ආධාර උපකාර කිරීමද සිදු කරන ලදී.

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපතිව වැඩ විසු රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්‍ෂිත විපස්ස්‍යාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මහ පදවිය වන මහානායක ධුරය සඳහා 2004 ජුනි මස 20 වනදා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ පත්කොට වදාළ අතර එම මහානායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය 2004 අගෝස්තු 16 වනදා ඓතිහාසික මඟුල් මඩුවේදි පැවැත්විණි.

දුටුවන් ප්‍රසාදයට පත්කරවන නිහතමානිත්වයෙන් යුක්තව වැඩ වසන මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ ගිහි පැවිදි උභය සමාජයේම ප්‍රසාදයට පත්ව වැඩ වෙසෙති.

උන්වහන්සේ අසරණ සරණයෙහි ගිලානෝපස්ථානයෙහි ආගන්තුක සත්කාරයෙහි නිරතුරුව නිරතවන උතුමන් වහන්සේ නමකි.

මල්වතු මහා විහාරීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මානව සහයෝගිතා පදනම මගින්ද ඉතා නිහඬ ආදර්ශමත් යුග මෙහෙවරක් සිදු කර ඇත.

දේශීය හා විදේශීය වශයෙන් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ වෙත විවිධ ආයතන උපාධි ගෞරව නාමයන් පිරිනැමීමට ඉදිරිපත් වී ඇතත් ඒවා පිරිනැමීම ට යෝජනා කිරීම ගැන ප්‍රසාදය පළකරමින් ඒවා පිළිගැනීම කාරුණිකව බැහැර කර ඇත.

ලැබී ඇති ඇතැම් උපාධි පවා ඉතා අප්‍රකටය.

අතිපූජනීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ බුදුසරණ පුවත්පත දිගු කලක පටන් ඒකරාශි කරමින් එය කාණ්ඩ වශයෙන් රක්ෂණය කරන අයුරු කෘතඥතා පූර්වකව සිහිපත් කළ යුතුය.

අතිපූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පිළිබඳ ඒ ඒ අවස්ථාවට අනුව ‘බුදුසරණ’ ලිපි පළකරමු. ඒ අපගේ වගකීම හා යුතුකම වේ.

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශි‍්‍ර සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ 70 වන ජන්ම දිනය මෙම මස 30 වනදාට යෙදී ඇත.

ඉතා නිහඬ මහ මෙහෙවරක නිරත අතිපූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේට සිරි දළදා සමිඳු සරණින් බුදුසරණ චිර ජීවනය පතමු.