Print this Article


රාජ්‍ය වෙසක් උත්සවය 15 වනදා පොළොන්නරුවේ දී

රාජ්‍ය වෙසක් උත්සවය 15 වනදා පොළොන්නරුවේ දී

ශ්‍රී බුද්ධ වර්ෂ 2558 රාජ්‍ය වෙසක් උත්සවය පොළොන්නරුව ගල්විහාර භූමි පරිශ්‍රයේ දී පැවැත්වේ.

එම රාජ්‍ය වෙසක් උත්සවය මෙම මස 15 වනදා පැවැත්වේ. වෙසක් සතිය මෙම මැයි මස 11 වනදා සිට 17 වනදා දක්වා වේ.

වෙසක් පෝදා ගල්විහාර භූමි පරිශ්‍රයේ දී පැවැත්වෙන සීල සමාදාන වැඩසටහනට පාසල් සිසුන් ඇතුළු සැදැහැවතුන් තුන් දහසක් පමණ සහභාගී වන බව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් එම්. කේ. බී. දිසානායක මහතා බුදුසරණට කීය. වෙසක් පෝදා දවස පුරා එහිදී ආගමික වතාවත් පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති වේඬරුවේ උපාලි නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ. “සසුනින් සෙවණ” ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුව දිසාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යටතේ ස්වාමීන් වහන්සේලාගේ දෙමව්පියන් සඳහා නිවාස අටක් ඉදිකර ඇති අතර එහි යතුරු බාරදීම ද රාජ්‍ය උත්සවයේ දී සිදු කැරේ.

දිස්ත්‍රික් සිසු නිපුණතා වැඩසටහනේ ප්‍රථම ස්ථාන හිමිකර ගත් සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය ද ප්‍රාදේශීය සහ දිසා මට්ටමින් බොදු බැති ගී තරග පවත්වා එහි පළමු, දෙවන හා තෙවන ස්ථාන ලැබූ කණ්ඩායම් හා සහභාගි වන සියලු කණ්ඩායම් සඳහා මුදල් ත්‍යාග පිරිනැමේ.

රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන අවස්ථාවේ දී විශේෂ සංස්කෘතිකාංග පැවැත්වෙන අතර සමරු මුද්දරයක් ද නිකුත් කෙරෙන බව ද ලේකම් එම්. කේ. බී. දිසානායක මහතා කීය.

එම උත්සවය බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දිසා ශාසනාරක්ෂක මණ්ඩලය, පොළොන්නරුව ප්‍රාදේශීය සභාව, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, ප්‍රාදේ්ශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය ඇතුළු රාජ්‍ය පුද්ගලික ආයතන ද ඊට අනුග්‍රහය දක්වයි.