Print this Article


බුදුගුණ මෙනෙහි කරමු

බුදුගුණ මෙනෙහි කරමු

සම්බුද්ධ ශාසනයේ ආරම්භය සිදුවූයේ භද්‍ර යෞවනයෙන් බව අපට ඉතා පැහැදිලියි. සිද්ධාර්ථ කුමරා කුඩා අවදියේ සිටම කල්පනා කළේ ඉතා බුද්ධිමත්ව ඇයි මේ ලෙඩ වෙන්නේ ඇයි මහලු වන්නේ,ඇයි මිය යන්නේ යන සංකල්ප කුමරාගේ මනසට වැටුණේ වයස අවුරුදු 29 දී. ජාති, ජරා, ව්‍යාධිය සිදුවන නිසා එයින් තොර ක්‍රමවේදයක් සොයා කුමරා ගමන් කෙළේ ඒ අනුවයි.

ගිහි ජීවිතයෙන් ඇරැඹුණ කුමරාගේ මේ සත්‍ය ගවේෂණයට සසර පුරුද්දත් දැඩිව බලපෑවා. සංසාර පුරුද්ද ඉතා වැදගත් වන්නේ කල්ප කාලාන්තරයක් තමන් විසින් පුරුදු පුහුණු කළදේ යළි මතුවී ඒ පුරුද්ද ඔස්සේ කටයුතු කළ හැකි නිසයි. බුද්ධිමත් මාර්ගයක් වෙත ගමන් කිරීමේ මාර්ගයකට ප්‍රවිශ්ට වීමේ හැකියාව ලැබුණේ එම මාර්ගයට යොමු වන්නේත් ඒ සියල්ල මුසු වූ කලයි.

ඒ අනුව සිදුහත් කුමරා තවුස් වෙස්ගෙන සත්‍ය සොයා ඉදිරියට ගියා. එම අවස්ථාවේදී උන්වහන්සේගේ ඔළුව කළඹන ඔළුව නරක් කරන ආචාර්යවරුන් හමුවුණේ නැහැ. සත්‍ය දැනුම වැඩි දියුණු කරන ආචාර්යවරුන් හමුවුණේ ධර්මය වඩවන ධ්‍යානලාභී ගුරුවරුන් නිසා තමන්ගේ ඥානය ඉහළ නංවා ගන්නට හැකියාව ලැබුණා. වයස 35 දී බුද්ධත්වයට පත්වූ සිදුහත් බෝසතාණන් වහන්සේ තමන් උගත් ධර්මය සමාජගත කිරීමට අවශ්‍ය සන්නිවේදන මාර්ගය කුමක්දැයි සොයා බැලුවා. ඒ සන්නිවේදන ක්‍රමය අනුව එක් අයෙක් කියන කරුණ අසා සිටීමෙන් තමන් විසින්ම එදිනෙදා ජීවත්වීම සඳහා ප්‍රායෝගික ක්‍රියා මාර්ගයක් සකසා ගැනීම සිදුවුණා.

කොහොමද සැනසිල්ලේ ජීවත්වන්නෙ. කිසිවකුට කරදරයක් නොකර තමන්ට කරදරකාරි තත්වයක් ඇති නොකරගෙන දිවි ගෙවන්නේ කෙසේද? යන සංකල්පය ඉස්මතු කර පෙන්වූවා. මේ ආකාරයට මෙලොව ජීවත්වීමේ ක්‍රමවේදය ගැන ධර්මය දේශනා කිරීම නිසා තමයි පස්වග මහණුන්ට උන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමට ආශාවක් ඇති වුණේ.

එයින් අපට ඉතාම පැහැදිලියි බුදුරජාණන් වහන්සේගේ සන්නිවේදන මාර්ගය වූයේ මෙලොව සැනසිල්ලෙන් මනස සැහැල්ලුවෙන් ජීවත්වන ආකාරය දේශනා කිරීම බව බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කළේ පරලොව ගැන නොව මෙලොව ගැනය. මේ නිසා මෙලොව ජීවිතය ගැන කලකිරුන යසකුල පුත්‍රයා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණියා. ඔහුට පසුව ඔහුගේ යහළුවන් 54 දෙනකු පැමිණියා. මේ සියලු දෙනා භද්‍ර යෞවනයන්. මෙලොව සැනසීමෙන් ජීවත් වීමට ආශා කළ අය. ඔවුන් පැමිණියේ සැනසීම සොයාගෙනයි.

තමන් සොයන සැනසීමේ මාර්ගය තිබෙන ස්ථානය අවබෝධ වූ විගස ඒ සියලු දෙනා බුද්ධ ශාසනයට ඇතුළු වුණා. මේ සසුන්ගත වීමේ පණිවුඩය තරුණයන් අතරට ගියා.

බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කෙළේද තරුණ භික්ෂූන් පන්සිය නමක් උදෙසායි. ධර්මය රසයක් ඇතිවන අයුරින් දේශනා කළ නිසා එම පිරිස් බුදු සසුනේ නියම අරුත වටහා ගත්තා.

විහාරස්ථානය තරුණයන්ට ප්‍රියජනක ස්ථානයක් විය යුතුයි. එයින් අදහස් කරන්නේ විහාරස්ථානය පංචේන්ද්‍රියයන් පිනවන ස්ථානයක් බවට පත් කිරීම නොවේ. මනස විකෘති කරන දේ විහාරස්ථානයෙන් ලබා දීම නොවේ. විහාරස්ථානයකට පැමිණි විට ලස්සනයි. යන්න නොව ශාන්තයි යන්න පසක් විය යුතුයි. විහාරස්ථානය ශාන්ත වූ විට එහි වැඩ සිටිනා භික්ෂූන් වහන්සේ ශාන්ත වෙනවා.

වෙසක් දිනයේ අපේ අධිෂ්ඨානය විය යුත්තේත් ශාන්තව බුදුගුණ මෙනෙහි කිරීමේ සාම්ප්‍රදායක් ගොඩනැංවීමයි. ඒ සඳහා ධර්මධර විනයධර භික්‍ෂූන් වහන්සේ ඕනෑතරම් අද අප රටේ වැඩ වසනවා. ඒ භික්ෂූන් වහන්සේට ජනතාවගේ ආධ්‍යාත්මික සුවය සඳහා කටයුතු කරන්න පුළුවන්.

රටේ වැඩි පිරිසක් වඩා ධර්මය කෙරෙහිම සිත යොමු කරන පිරිස් බවට පත්වනවා. ඔවුන්ට අවශ්‍ය වන්නේ ත්‍රිපිටකය හොඳින් හදාරන්න. තරුණ පිරිස් සිටින නිසා ගමක් ගමක් පාසා මේ වැඩ සටහන් මනා ක්‍රියාකාරිත්වයකින් පවත්වා ගෙන යන්න පුළුවන්. මේ සඳහා අපට හොඳම ආදර්ශය ලබාදුන්නේ ගංගොඩවිල සෝම හාමුදුරුවෝ උන්වහන්සේ ගේ වැඩ පිළිවෙළ කොයිතරම් සාර්ථක වුණාද?

ආමිෂයට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල්තැනක් ලැබෙන්න ඕන. බව සිිහි තබා ගැනීමට තරුණ පිරිස් වගේම වැඩිහිටියනුත් තේරුම් ගත යුතුයි.

සටහන - තාරක වික්‍රමසේකර