Print this Article


මිය ගිය ඤාතීන්ට ‍පින් දෙන්නේ කෙසේද?

මිය ගිය ඤාතීන්ට ‍පින් දෙන්නේ කෙසේද?

අප අතර එකට ජීවත් වූ කෙනෙකු මිය ගිය පසු එම පුද්ගලයා සිහිකර ආගමානුකූලව වත්පිළිවෙත් කිරීම බෞද්ධ සම්ප්‍රදායේ පැවත එන ප්‍රබල චාරිත්‍රයකි. මේ චාරිත්‍ර ධර්මය අපට හඳුන්වා දුන්නේ මිහිඳු මහ රහතන් වහන්සේය. උන්වහන්සේ ලංකාවට වැඩම කරන අවස්ථාවේදී අපේ රට තුළ පැවැති මළවුන් ඇදහීමේ චාරිත්‍රය සංශෝධනය කරමින් මිය පරලොව ගිය ඥාතීන්ට පින් පෙත් අනුමෝදන් කිරීමේ සද්චාරිත්‍රය උන්වහන්සේ ශ්‍රී‍්‍ර ලාංකේය ජනතාවට දේශනා කර වදාළහ. ඉන් පසුව මෙරට සමාජය තුළ මළවුන් වෙනුවෙන් කරන ක්‍රියාදාමයන් එකක් වෙනුවට දෙකක්ම අනුගමනය කරන්නට සිංහල සමාජය තුළ චාරිත්‍ර සකස් විය. එනම්

1.මළවුන් ඇදහීමේ චාරිත්‍ර ධර්ම (මිහිදු මහ රහතන් වහන්සේ වැඩම කිරීමට පෙර තිබූ)

2.මිය පරලොව ගිය නෑදෑයන්ට පින් පෙත් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය (මිහිදු මහ රහතන් වහනසේ හදුන්වා දුන් පිළිවෙත)

කෙනකු මිය පරලොව ගිය පසුව එම පුද්ගලයා වෙනුවෙන් මෙලොව ජීවත් වන අය යුතුකම් කළ යුතු බව, පින් පෙත් දිය යුතු බව ශ්‍රී සම්බුද්ධ දේශනාවලද දක්නට ලැබේ. එහි දක්වා ඇත්තේ මිය පරලොව ගිය නැදෑයන්ට පින් අනුමෝදන් කිරීමේ ක්‍රියාවලිය ‘පුබ්බ පේත බලි, යන නමිනි. පාලි භාෂාවේ ‘පේත’ යන වචනයේ අර්ථ දෙකකින් එයි. ඉන් එක අර්ථයක් වන්නේ මිය පරලොව ගිය තැනැත්තා යනුයි. ඔහු හඳුන්වනු ලබන ආගමික වචනය වන්නේ ‘ඥාති පේත’ යන්නයි. ඥාති පේත යන වචනයම මරණයට පත්වූ ඥාතියා යන අදහසින් “මළබත” යන වචනයෙන්ද එදා සමාජයේ හඳුන්වා තිබේ. වර්තමාන සමාජ භාවිතයේ එන වචන වැරැදි අදහස් සඳහා උච්චාරණය කරනු ලබන බව පෙනේ. “එයා මැරිළා මළපේ‍්‍රත ආත්මයක ඉපදිලා යනුවෙන්” ඇතැමුන් කියනු ඇසෙන්නේ එම වැරැදි අදහසිනි. බුදුදහමේ කිසිම තැනක විවිධ ආත්මභාව කිව්වත් මළපේ‍්‍රත ආත්මයක් ගැන දක්වා නැත. “පේ‍්‍රත” යන වචනයෙහි අනෙක් අදහස වන්නේ පේ‍්‍රත ආත්මය උප්පත්තිය ලැබීමයි. සතර අපාය ගැන දක්වන විට පේ‍්‍රත අපායක් පිළිබඳ දක්වා තිබේ. එසේම විවිධ පේ‍්‍රත වර්ග පිළිබඳව බුදු දහමේ කරුණු කාරණා පැහැදිළි කරයි.

සිංහල සමාජය තුළ මළගිය ඥාතිවරයා වෙනුවෙන් පින් පෙත් අනුමෝදන් කිරීමේ සිරිත පවතින්නේ ඥාති පේ‍්‍රතයන් (මළගිය ප්‍රාණකාරයා) උදෙසා මිස පේ‍්‍රත ආත්මවල උප්පත්තිය ලැබුවන් සඳහා නොවේ. එයට හේතුව වන්නේ ඥාති පේ‍්‍රතයා පින් අනුමෝදන් විය හැකි ආත්ම භාවයක (පරදත්ථුජීවි) උප්පත්තිය ලබා තිබේ නම් පමණක් පින්පෙත් අනුමෝදන් විය හැකි සහ අනුමෝදන් වූ පින් ඇත්තාවූ ඥාති පේ‍්‍රතයාට මෙලොව ජීවත්වන පුද්ගලයාගේ අර්ථ සුබ සිද්ධිය පිණිස ආශිර්වාදය කළ හැකි නමුදු වෙනත් පේ‍්‍රත ආත්ම සහ පේ‍්‍රත ලෝකවල උප්පත්තිය ලබන අයට පින්පෙත් අනුමෝදන් වීමේ අවශ්‍යතාවයක් නැත. මිය පරලොව ගිය ඥාතීන් වෙනුවෙන් පින් පෙත් අනුමෝදන් කිරීමේ ක්‍රමයක් අපේ බෞද්ධ චාරිත්‍ර අතර පවතින නිසා මෙලොව උපත ලබන මිනිසකුට ඥාතීත්වයක් ඇති වන්නේ කෙසේද? යන්න විමසා බැලීම වැදගත් වේ. අපිට ඥාතීන් හැදෙන විධික්‍රම දෙකක් තිබේ, එනම්

1.සංසාරගත කර්ම ශක්තිය අනුව ඇතිවන ඥාතීත්වය හෙවත් ලේ නැදෑකම

2.නීතියෙන් ඇතිවන ඥාතීත්වය හෙවත් ආවාහ විවාහ ක්‍රම වලින් ඇතිවන ඥාතීත්වය යනුවෙනි.

මින් පළමුවැන්න පිළිබඳව අපේ සංස්කෘතියෙහි දක්වන්නේ සතර වර්ගයක (කොටස්) ලේ ඥාතීත්වයක් පුද්ගලයාට තිබෙන බවයි. තමන්ගේ තාත්තාගේ මවු පාර්ශ්වයත්, පිය පාර්ශ්වයත් තමන්ගේ අම්මාගේ මවුපාර්ශ්වයත්, පිය පාර්ශ්වයත් මේ සතර වර්ගයයි. ඒ අය ලේ ඥාතීන්ය. සංසාරගත කර්ම ශක්තිය අනුව තමන් කැමැති වුවද, අකැමැති වුවද තමන්ට ලැබන නෑදෑයන් ලේ නෑයන් සංසාරය පුරා භවයෙන් භවයට එකට එන්නන්ය.

කෙනකු මරණයට පත්වූ පසු හත් දවසේ පින්කම සිදුකරන්නේ මෙම දෙවර්ග යේ නැදෑයන්ට පින්දීම සඳහාය. ඉධංමේ ඥාතීනං හෝතු) හත් දවසේ පින්කමට කියන්නේ ‘මතක බණ” කියාය. මතක බණ සිදු කරන්නේ මළගිය ප්‍රාණකාරයා මරණයට පත්වී ගත වන හයවනදා රාත්‍රියේදීය. දානය පූජා කරන්නේ හත්වෙනිදා හීල දානය හෝ දවල් දානයයි. නොඑසේ නම් ඒ දෙකමය. ඇතැම් ප්‍රදේශවල හත් දවසේ දානය පන්සලට රැගෙන ගොස් පූජාකරන සිරිතක් තිබේ. ඇතැම් ප්‍රදේශවල හත් දවසේ දානයට මහ සඟරුවන නිවසට වැඩම කරවාදෙන ක්‍රමයක් තිබේ. ඇතැමුන් මේ ක්‍රම දෙක පිළිබඳව වාද විවාද කරන්නේ ඔවුන්ට සංස්කෘතිය පිළිබඳව තිබෙන නොවැටහීම නිසාය. මේ ක්‍රම දෙකම නිවැරැදිය. නමුත් බොහෝ විට මිය ගිය ප්‍රාණකාරයා ජීවත් වූ නිවසෙහිම රාත්‍රියෙහි ධර්ම දේශනා පැවැත්වීම දානය එම නිවසේම උයා පිහා පිළියෙළ කිරීම නිවැරැදි පිළිවෙතයි. වඩාත් නිවැරැදි ක්‍රමයයි. එසේ කළ නොහැකි අවස්ථාවලදී පන්සලේ හාමුදුරුවන්ගේ උපදෙස් අනුව සිදුකිරීමද නිවැරැදියි.

හත් දවසේ පින්කමේදී පවත්වනු ලබන ධර්ම දේශනාව හඳුන්වන්නේ ‘මතක බණ’ යන නමින්ය. එම ධර්ම දේශනාවේ කිව යුතු දේශනා කළ යුතු කරුණු මොනවාදැයි අපේ සම්ප්‍රදායේ නිියම කොට තිබේ. හත් දවසේ දානය හඳුන්වන්නේ මතක දානය කියාය. මතක දානයකදී දානය පිළියෙළ කළ යුත්තේ කොතනද යන්නත් අපේ ආගමික සම්ප්‍රදායේ දැක්වේ. මෙහිදී මේ පින්කම හැඳින්වීමට “මතක” යන වචනයක් එකතු වී ඇති බව පෙනේ. එහි ගැඹුරු අදහසක් ද තිබේ. එනම් මළගිය ප්‍රාණකාරයා තුළ පැවැති ගුණ යහපත්කම් පමණක් වර්ණනා කොට ඒවා සාකච්ඡාවට බඳුන් කොට ඒවා ඇගයීමට ලක් කිරීමය. මළගිය ප්‍රාණකාරයා තුළ පැවැති නරක නපුරු ගතිගුණ පිළිබඳ කිසිවක් කතා නොකිරීමකි.

සටහන - හේමමාලා රන්දුනු

ඉතිරි කොටස මැයි 21 වන දා පත්‍රයේ පළවේ