Print this Article


අට වැදෑරුම් තාපසවරු

අට වැදෑරුම් තාපසවරු

අනාදිමත් කාලයක සිට තාපසවරුන් පිළිබඳව ලෝක ජනතාව තුළ හැඟීමක් - දැනීමක් ඇත. විවිධ අංශවලට අයත් මේ තාපසවරු ජටිල – පරිව්‍රාජක – ආජීවක, ශ්‍රමණ – බ්‍රාහ්මණ, මුනි ආදී නම්වලින් හඳුන්වන ලද බව දක්වා තිබේ.

ඒ ඒ තාපසවරුන් තුළ විවිධාකාර විශ්වාසයන් පැවතුන බව සැලකිය යුතුය. පොදුවේ ගත් කළ අනේක විධ නම්වලින් හඳුන්වන ලද තාපස ගණයා අතර ඇතැම් කොට්ඨාසවලට අයත් ඇත්තෝ විවේකීව වනගතව විවාහ ජීවිත ද ගත කළ බව දැක්වේ.

ඔවුන් සෑම කෙනෙක් තුළ ම පැවතියේ එකම අරමුණකි. ඒ අරමුණ නම් අන් කිසිවක් නොව මරණින් පසු ප්‍රශ්නවලින් තොර සකලවිධ සම්පත්වලින් අනූන කායික මානසික පීඩා කිසිවක් නැති, වෙනස් නොවන සදාකාලික සැපතක් ඇති තැනක උපත ලැබීමය. එම ස්ථානය ඔවුහු විවිධ නම්වලින් හඳුන්වන ලදහ. නිවන – මෝක්ෂය - ස්වර්ඝය - බ්‍රහ්මත්වය - දේවත්වය – නිගණ්ට දහමට අනුව කෛවල්‍යය ආදී විවිධ වචනවලින් හඳුන්වා ඇත්තේ තවුස් දම් පිරීමෙන් සොයනු ලබන මෝක්ෂය පිළිබඳවයි.

ඈත පුරාණයේ පටන් සසර දුක් නැති කිරීමට නම් මේ ආත්ම භාවයේදී හැකිතාක් දුරට ශරීරයට වද දෙමින් දුක්වින්ද යුතුය යන්න පිළිගත් සිද්ධාන්තයක් බවට පත් වී තිබුණි. සිදුහත් ගෞතම බෝසතාණන් වහන්සේ පවා සය වසරක් පුරා ශරීරයට දුක් දීමේ අසාර්ථක ප්‍රයත්නයක යෙදුණේ ඒ සිද්ධාන්තයට අනුවය. තවත් අංශයකින් බලන විට බෝසතාණන් වහන්සේ ඒ ප්‍රයත්නය නොදැරුවා නම් මධ්‍යම ප්‍රතිපදාව මතුකර ගැනීමට නොහැකි වනු ඇත. එසේ ම බහුජන මතය විසින් බෝසතාණන් වහන්සේ පිළිබඳ අඩු තක්සේරුවකින් සලකනු නො අනුමානය. මේ උත්තම පුරුෂයා ශරීරයට දුක් දීමේ ප්‍රතිපදාව පමණටත් වඩා පුරුදු කොට අසාර්ථක වීමෙන් පසු මේ මැදුම් පිළිවෙතට පත් වූ කෙනෙකැයි සලකා අනතුරුව සිදුහත් තවුසාණන් දෙස බලන්නට විය. මෙය ද ලෝක මතයට ගරු කිරීමක් වශයෙන් කළ යුත්තක්ව ම පැවති බව සැලකිය හැකිව තිබේ. තත් කාලීන සමාජයෙහි එතරම්ම ශරීරයට දුක් දීම පිළිබඳව දැඩි පිළිවෙතක් පැවතීම එයට හේතුවයි.

සූත්‍ර නිපාතයෙහි එන ‘හිරි සූත්‍ර’ අට්ඨකථාවෙහි දක්වා ඇති පරිදි තාපසවරු කොටස් වශයෙන් අටක්ව පැවති බව සඳහන් ව ඇත. ‘සපුත්ත භරියා’ පළමුවැනි කොටසට අයත් තවුසෝය. තම අඹු දරුවන් සමඟ පැවිදිව ගොවිතැන් - වෙළහෙළදාම් බඳු ධාර්මික රැකියාවන් පමණක් කර කියාගෙන ගුණවත් උපාසක ජීවිත ගත කරන මොවුහු මරණින් පසු සදාකාලික සැප ඇති මෝක්ෂය ලැබෙනු ඇත යන හැගුමෙන් පසු වූහ. බුදුන් දවස ජීවත් වූ ‘කේතිය’ ජටිලතුමා එබඳු ගණයට වැටෙන තාපස කෙනෙකි. මේ තවුස් වර්ගයා ජටා මඩුළුවලින් හිස ආවරණය කර ගනිති. එසේ වුව ද ‘කේතිය’ ජටිල බඳු අය මැලියම් ලාටු වර්ග ගෙන දිග කෙස් ලණුපටවල් සේ එකට අලවාගෙන කැරළි වශයෙන් ගොතාගෙන, ඒ කෙස් වැටිය ම ගුලි කොට හිස් වැසුමක් සේ භාවිත කෙරෙති. හිස මතට ගලක්, ලීයක් බඳු දෙයක් වැටුණ ද හැපුණ ද හිසට හානියක් නොවේ. එම තාපසවරු වේද වේදාන්ත සහිත සංස්කෘත – පාලි - ප්‍රාකෘත ආදී එදා පැවති භාෂාන්තර ඥානයෙන් ද අනුනයෝ වූහ.

දෙවැනි තාපස ගණයට වැටෙන්නෝ ‘උඤ්චාචාරිකා (උඤ්ඡාචාරිකා) නම් තාපසවරුය. ඔවුහු බොහෝ සෙයින් නගර ග්‍රාමයන් හි අසපු තනාගෙන ජීවත් වෙමින් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙති. ලක්දිව විසූ භද්දකච්ඡානා කුමරියගේ පුතණුවන් වූ පණ්ඩුකාභය කුමාර ද එසේම එදා රාජවංශික කුමාරවරු බොහෝ දෙනා ද එබඳු දැන උගත් තාපසවරුන්ගෙන් අධ්‍යාපනය ලද්දෝය. මේ තාපස ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට ම අයත් පඬිවරුන්ගෙන් මුටසීව - දේවානම් පියතිස්ස ආදී රාජකීයයෝ ද පසු කාලවලදී අධ්‍යාපනය ලබන ලදහ. මේ අය තුළ පැවතුණ විශේෂ ගුණයක් නම් ඉගැන්වීම සඳහා මිල මුදලක් හෝ රං - රිදී – මුතු - මැණික් ආදියක් පිළි නොගැනීම යි. කැප සරුප් පරිදි ආහාර පාන තෙල් බෙහෙත් වස්ත්‍ර ආදී යමක් දුනහොත් අවශ්‍ය ප්‍රමාණයට පිළිගනිති. පරාර්ථචාරීව ම ඒ තාපසයන් වහන්සේලා සේවයට ඇප කැප වූ පිරිසක් බව මෙයින් පැහැදිලි වේ.

තුන්වැනි තාපස පිරිස සම්පත්ත කාලිකා නමින් දක්වා ඇත. මොව්හු ආහාර අනුභව කරන වේලාවට තම භාජනයට වැටුණු දෙයකින් ම සතුටු වෙති. අසවල් දේ වුවමනා ය, අසවල් දේ වුවමනා ය, ඉල්ලීමක් තබා තව කෙනෙකුට ඇගවීමක්ද නො කරන්නෝය. මේ සම්පත්ත කාලික තාපසවරු පෙර කී තාපසවරුන්ට වඩා උසස් අය වශයෙන් සමාජය සලකා තිබේ.

සතර වැනි කොටස අනග්ගිපක්කිකා වශයෙන් හඳුන්වා තිබේ. මොවුහු සැම විට ම ආහාර වශයෙන් ගනු ලබන්නෝ නො තැම්බූ කොළ - අල - ගෙඩි – ධාන්‍ය වර්ග පමණි. තැම්බූ යමක් භෝජනයට නො ගැනීම එම තාපස නිකායේ සිරිත යි. මෙයින් කියැවෙන්නේ අමුවෙන් සෝදා පිරිසුදු කරගත් දේ පමණක් වළඳන බව යි. පස් වැන්නෝ අස්මමුට්ඨිකා තාපස ගණයයි. මොවුහු භාවනාවක් වශයෙන් කරනු ලබන්නෝ මෙත්තා - කරුණා - මුදිතා - උපේක්ෂා යන සතර බඹ විහරණයන් බව දක්වා ඇත. ආහාරයට ගන්නේ ගල් පතුරකින් හෝ යකඩ ආයුධයකින් – කැත්තකින් හෝ මන්නයකින්, පොරවකින් හෝ කෙටේරියකින් පතුරු ගසා ගන්නා ලද පොතු වර්ග කොටා අවශ්‍ය කොළ වර්ග ද යොදා අඹරා ගැනීමෙනි.

දන්තලෙය්‍යකා යන තාපසවරු සවන තාපස ගණයට වැටේ. මේ තාපසවරු තම කටේ දත්වලින් ම නැත්නම් නියපොතුවලින් කොළ පොතු පෙර කී සේ අල බතල ආදිය පොතු ගසා ගෙන අනුභව කරති, වඩනු ලබන්නේ සතර බඹ විහරණ භාවනාම ය. හත් වැනි කොටසට අයත් වන්නෝ ‘පවත්තඵලිකා’ යන තාපසවරු ය. ඔවුහු ජීවත් වන්නෝ කාලාන්තරයක් පුරා පැවත එන වනාන්තරයක පමණි. ඒ වනාන්තරය තුළ ද ඉබේ හටගත් විලක් හෝ පොකුණක් ඇසුරු කොට අතුවලින් පැලක් සාදා ගෙන ජීවත් වෙති. අනුභව කරන්නෝ ඉබේ හටගත් පොකුණක – වැවක – විලක නෙළුම් – ඕලු අල වර්ග සහ කැලේ හට ගන්නා කොළ ගෙඩි වර්ග පමණි. මොවුහු විවිධ යන්ත්‍ර මන්ත්‍ර සහ භාවනාදිය කරන්නෝය.

අට වැනි කොටසට අයත් වන්නේ චණ්ඩමුට්ඨිකා නමැති තාපස පිරිස යි. ඔවුහු අනුභව කරනුයේ බිම වැටුණු කොළ - ගෙඩි – දළු - මල් ආදිය පමණි. සියලු ම තාපසවරුන්ට වඩා මේ චණ්ඩමුට්ඨිකා තාපසවරු උසස් බව, ගුණවත් බව සැලකේ. බුද්ධ කාලයේදීත්, ඉන් එපිට කාලවලදීත් දඹදිව ඒ ඒ ප්‍රදේශවල සිතා ගත නොහැකි තරම් බරපතළ දුක් පීඩා විඳිමින් ඉහත කී පරිදි ජීවත් වන තවුසෝ සිටියහ. මොවුහු වැඩි දෙනා දුෂ්කරකම වැඩි නිසා ම තරුණකම ඉක්මවා වැඩි කලක් යාමට පෙර – අවුරුදු පනහ, හැට ගණන්වල දීම අභාවයට යති. එයට හේතුව අති දුෂ්කර පැවැත්මය. එසේම අකාලයේ මියගිය ද මේ තවුසෝ බෙහෙවින් ම සතුටට පත් වෙති. එදා බුදුරජාණන් වහන්සේ වඩාත් ම ධර්ම දේශනා කළ සේක්, මේ අන්ධ විශ්වාසයන්ගෙන් ලෝකයා ගලවා ගනු පිණිස ය.