Print this Article


මානසික සුවය සඳහා බුදුදහම

මානසික සුවය සඳහා බුදුදහම

මානසික සුවය ඉබේම ලැබෙන දෙයක් නොව ඇතුළාන්තයෙන් මතුකර ගත යුත්තකි. ගොවියා අස්වැන්න ලෙස ලබනුයේ වැපුරූ දෙයයි. වී වපුරා මෙනේරි ලැබිය නො හැකි ය. මිනිසා කුඩා කාලයේ දී ම චිත්තබීජ වපුරයි. වෛද්‍යවරයෙක් වීමේ චිත්තබීජ තම යටි සිතට ඇතුළු කොට අවංක උත්සාහයක යෙදුනහොත් ඔහු වෛද්‍යවරයෙක් බවට පත්වේ. චිත්ත බීජ යනු අනාගත බලාපොරොත්තු ඉටුකරගැනීම පිළිබඳ තිර සාර අදහසකි. සර්වඥබීජ යනු ද මෙවැන්නකි. සෑම මිනිසෙකු තුළ ම බුදුවීමට ඇති ශක්‍යතාව එයින් අදහස් කෙරේ. ඔබට සුවය, සැනසිල්ල ලබාදෙන එක ම බලවේගය ඔබේ සිතයි.

චිත්තෙන නීයති ලොකො චිත්තෙන පරිකස්සති
චිත්තස්ස එකධම්මස්ස සබ්බෙව වසමන්වගු

(සිතෙන් ජීවිතය ඉදිරියට මෙහෙයවයි. සිතෙන් ආපස්සට ඇදගනී. සිත නමැති එක ම ධර්මයට සියල්ල යටත්ව පවතී.) මෙහි නීයති යන්නෙන් අදහස් කළේ විකර්ශනය හෙවත් තල්ලු කිරීමයි. පරිකස්සති යන්නෙන් ආකර්ශනය හෙවත් ඇදගැනීම අදහස් කරයි. සිතෙහි මූලික ලක්ෂණ දෙකක් මින් පැවසේ’ විද්‍යානුකූලව ලෝකය විවරණය කිරීමේදී ආකර්ෂණ, විකර්ෂණ, ස්ථායිභාව යන ක්‍රම තුන භාවිතා කෙරේ. මෙහිදී සිතේ ස්වභාව ලෙස ඒවා වදාරා තිබීම වැදගත් ය. සිතෙන් නිවැරදිව ප්‍රයෝජන ගැනීමට නම් මේ ස්වභාවයන් දතයුතු ය.

සිත විසිත්ත ගෙවත්තක් වැනි ය. එහි ලස්සණ මල්වර්ග වවා තිබේ. වල්පැළ නෙළා මෙම පියකරු මල්ගස් රැකගතයුතුය. අපේ ලස්සන සිත කිළිටි කරනුයේ වල්පැළ වැනි අපිරිසුදු සිතිවිලි නිසා ය. මානසික සුවය ලැබීමට නම් පළමුව මනස සුවපත් කළ යුතු ය. කෙළෙස් සතුරන්ගෙන් මනස අපිරිසුදු වේ.

හත්තපාදාදි රහිතා: තෘෂ්ණා ද්වෙෂාදි ශත්‍රව:
න තෙ ශුරා: න වීරා: කථං දාසී කෘතොස්මි තෛ:

(තෘෂ්ණා ද්වේෂ ආදී සතුරන්ට අත්පා නැත. ඔවුහු ශූරයෝ හෝ වීරයෝ නොවෙති. එහෙත් ඔවුන් මාව දාස බවට පත්කර තිබෙන්නේ කෙසේ ද?) කෙලෙස් වසඟ බවට පත්වූ විට මිනිසාගේ ස්වාධීනත්වය ගිලිහී යයි. එහි බරපතළකම කෙතරම් ද යත් සමහර රජවරු රජකම අත්හළහ. සාලිය රජකමට වඩා අශෝකමාලාට රුචි කළේ ය. ගෘහ අරගලවලින් වැඩිහරියක් කෙලෙස් වසඟතාව නිසා සිදු වේ.

අපට මානසික සුවය ලැබෙනුයේ බලාපොරොත්තු වූ යමක් ලැබෙනතුරු පමණි. එය ලැබුණුවිට ඉතා ඉක්මණින් එම සතුට නැතිවෙයි. ඉඩමක් නැති අයෙකුට එය ලැබුණවිට අපමණ සතුටක් ඇතිවෙයි. එහෙත් ටික කලකින් ගෙයක් නැතිකමේ අඩුව දැනෙයි. කෙසේ හෝ මහන්සි වී ගෙයක් සාදාගත්විට වාහනයක් නැතිකමින් චිත්ත පීඩාවට පත්වෙයි. මෙයින් පැහැදිලි වනුයේ ද්‍රව්‍ය පදනම් කරගත් සතුට තාවකාලික බවයි. සංතෘප්ත මනසක් ඇතිකර ගතහොත් මෙම අතෘප්තිකර රටාවෙන් මිදිය හැකි ය. එවිට අපට මානසික සුවය උදාවෙයි. අප පතන සියල්ල එකවර ලැබුණහොත් එම පී‍්‍රතිය දරාගැනීමට අපහසු විය හැකි ය. තමාට අතිවිශාල ලොතරැයි දිනුමක් ඇදී ඇතැයි රූපවාහිණියෙන් නැරඹූ අයෙක් අධික පී‍්‍රතිය දරාගත නොහැකිව මියගිය පුවතක් පසුගිය දා අසන්නට ලැබිණ. මිනිසා පතන සියල්ල ඔහුගේ දිවිපැවැත්ම සඳහා අවශ්‍ය ම නො වේ. සතුටු වීමට යයි තෝරාගත් බොහෝ දේවල් අවසානයේ දුකට පෙරළිය හැකි ය. කලබල වී මැනවින් නො විමසා කටයුතු කිරීම මානසික සුවය බිඳවැටීමට තවත් හේතුවකි. භාරවී නමැති පැරණි පඬිවරයා එය මැනවින් පෙන්වා දී ඇත.

“සහසා විදධීත න ක්‍රියා අවිවෙක: පරමාපදාමි පද:”

(සැහැසිව කිසිවක් කරන්න එපා. නො විමසා කටයුතු කිරීම බරපතළ විපත්වලට මුලයි) හදිසි තීරණවලට එළඹ කරදරයට පත් අය නිතර මුණගැහෙනව. තරුණ වයසේදී මෙහි ප්‍රවණතාව වැඩියි. සමාජය නමැති තක්ෂිලාවෙන් සහ ජීවිත පාසලින් අත්දැකීම් ලබාගැනීම මෙයට එක් පිළියමක්.

අප සිතන ආකාරයට නැඹුරු වීම සිතේ ස්වභාවයයි.

“යඤ්ඤදෙව භික්ඛවෙ බහුලමනුවිතක්කෙති මනුවිචාරෙති තථා තථා නති හොති චෙතසො”

(මහණෙනි, බහුලව සිතන ආකාරයට සිත නැඹුරු වෙයි.) සමහරු කියනව මේ සිතිවිලි ගොන්නෙන් බේරිල ඉන්න බෑ කියල. ඒ සිත ගැන නො දැනීමෙන් ඇතිකරගත් අදහසක්. අප සිතන පැත්තට නැඹුරු වීමයි සිතේ ස්වභාවය. කැමති පරිදි සිත හැසිරවීමේ හැකියාව මිනිසාට තිබේ. එය පුහුණු කළ යුතු ය. දියුණු වූ මිනිසුන් සෑම කෙනෙක් ම ජීවිතයේ යම් මොහොතක තිරසාර අපේක්ෂාවන් සිතට ඇතුළු කර තිබේ. ෆෝඩ්, පයර්ස්ටෝන්, කානගී වැනි ලෝක ප්‍රකට ධනවතුන් මේ අදහස පලකර තිබේ.

මානසික සුවය ලැබෙන්නේ කෙසේ දැයි ශාන්තිදේව පාදයෝ මෙසේ පැහැදිලි කරති.

“පුණ්‍යෙන කාය: සුඛිත: පාණ්ඩිත්‍යෙන මන: සුඛී”

(පිනෙන් කායික සුවය ලැබේ. නැණවත්කමින් මානසික සුවය අත්දකී.) කායික සුවය තාවකාලිකයි. එය ඉන්ද්‍රිය උත්තේජනයෙන් ඇතිවන දෙයක්. ඇඩ්රිනලින් (adrinalin), හයිඩ්‍රෝකීට්සන් (hydrocortisone) වැනි හෝමෝන වර්ග මේ උත්තේජනයට තුඩුදෙයි. එහෙත් සුළු කාලයකට පමණයි. හෝමෝන ක්‍රියාකාරිත්වය අඩු වූවිට ශාරීරික අවශ්‍යතාව වියැකී යයි. මේ සත්‍යය වටහා ගතහොත් කාමය, කෝපය වැනි වේගවත් සිතිවිලිවලින් සිදුවන වැරදිවලින් ශරීරය නිදහස් කරගත හැකියි. කායික සුවය විඳින්නෙත් මනසින් බව අමතක නො කළ යුතු ය.

බුදුදහමේ ප්‍රඥාව හුදු දැනුම පමණක් නො වේ. කරුණා, මුදිතා, මෙත්තා ආදි ගුණ ද එයට එකතු වේ. ඕනෑම දෙයක එයට ආවේණික වූ ඇතිසැටියක් තිබේ.

අපේ දැනුමේ කොටසක් එකතු කර විමසන්නට ගියවිට ඇතිසැටිය ආවරණය වේ. එවිට අප දකිනුයේ අපේ ම සිත දෙස ය. ඇතිසැටිය එසේ ම දකී නම් මානසික සුවය ඇතිවේ. උදේ රැයින් අවදි වූවිටත් රාත්‍රී නින්දට යාමට පෙරත් කෙටි භාවනාවක යෙදෙන්න. බුද්ධානුස්සති, මෛත්‍රී, ආනාපානසති වැනි භාවනාවක් ඉතාම සුදුසුයි. එය මානසික සුවය මතුකර දෙයි.