Print this Article


බුදු දහමින් පෝෂිත සිංහල සාහිත්‍යය

බුදු දහමින් පෝෂිත සිංහල සාහිත්‍යය

බුදු දහමත් සමග අපට උරුම වූ දායාද අතර සිංහල සාහිත්‍යය ප්‍රශස්ත මට්ටමක බැබළේ. මහින්දාගමනයට පෙර ලංකාවේ සාහිත්‍යයක් තබා ලේඛන ක්‍රමයක් පවා පැවති බවට තොරතුරු හමු නොවේ. යම් යම් හසුන්පත්, පණිවිඩ ලංකාව සහ ඉන්දියාව අතර හුවමාරු වූ බව මහාවංශය පවසතත් එය කුමන මාධ්‍යයකින් කෙසේ වූවක් ද යන්නට කිසිදු සාක්ෂියක් නොලැබේ.

මිහිඳු හිමියන් පැමිණි පසු ලංකාවේ ප්‍රචලිත වූ බ්‍රාහ්මී අක්ෂර මාලාව එවකට අශෝක සෙල්ලිපිවල භාවිත වූ අක්ෂර ම බව පුරාවිද්‍යාඥයෝ පිළිගනිති. මහින්දාගමනයෙන් පසු මිහින්තලේ ඉදි වූ අටසැටලෙන්වල කටාරන්හි ලියැවුණු කෙටි වදන් මුල්ම ලේඛන ලෙස විද්‍යාමාන වේ. ඒවායින් කියැවුණේ ලෙන පූජා කළ පුද්ගල නාමය. ලේඛනය මෙසේ ඇරඹී පසුව ශිලා ලේඛන පවා ලියැවෙන්නට විය. මහින්තලේ පුවරු ලිපිය වැනි විශාල ශිලා ලේඛන ලියැවුණු අතර, ඒවා අපගේ ඉපැරණි ම අභිලේඛන ලෙස අද පිළිගැනේ.

ලේඛන ක්‍රමය වඩාත් දියුණුවත්ම පුස්කොළ මාධ්‍යය කර ගනිමින් නොයෙක් පොතපත ලියැවෙන්නට පටන්ගත් අතර ඉන් විශිෂ්ට සාහිත්‍යයක උරුමය අපට ලැබුණි. මෙහිදී වඩාත් සැලකිල්ලට භාජනය විය යුතු කරුණු වන්නේ චිරන්තන සාහිත්‍යයකරුවන්ට බුදු ගුණ හෝ ජාතක කථාවක් හෝ හැර වෙනත් කිසිවකු වස්තු විෂය නොවීමය. සිංහල ගද්‍ය, පද්‍ය සාහිත්‍යයේ ඕනෑ ම කෘතියක් එක්කෝ බුදුගුණ වැනීමකි. නැත්නම් ජාතක කථාවක් විසිතුරු ලෙස දැක්වීමකි. දහවන සියවස පමණ සිංහලයට නැඟුණ සියබස්ලකරෙහි එන

“පෙදෙන් බුදු සිරිතැ - බසින් වත් සිරිත් ඈ
පද යුතු බසින් නළු ඈ - අනතුරු ලකුණු දක්වම්”

යන්නට අනුව සාහිත්‍යකරුවන්ගේ වස්තු විෂය විය යුත්තේ බුදු සිරිතැයි කළ පැනවීම ද,මෙරට සාහිත්‍යකරණයෙහි නිරත වූවෝ වැඩිපුර ම බෞද්ධ භික්ෂූන් වහන්සේ වීමද, ගිහි වියතුන් පවා බුදු දහමින් ශික්ෂණයක ලබා තිබීමද මීට හේතු වන්නට ඇත.

මේ කරුණු කෙසේවතුදු සාහිත්‍යකරුවන්ට බුදු දහම තෝතැන්නක් වූ අයුරු මෙරට සිංහල සාහිත්‍ය සහ බෞද්ධ සාහිත්‍යය යනුවෙන් එකිනෙක වෙන් කර ගන්නට නොහැකි සේ සිංහල සාහිත්‍යයේ සම්භාව්‍ය සෑම කෘතියක්ම බුදු දහමින් ඔපවත් වී තිබීමෙන් පෙනෙයි.

අපගේ සම්භාව්‍ය සාහිත්‍යය පැහැදිලි යුග දෙකකට බෙදිය හැකි වෙයි.

1.ක්‍රි.පූ. 03 වන සියවස ක්‍රි.ව. 6 –7 සියවස් දක්වා අවිද්‍යාමාන යුගය

2.ක්‍රි.ව. 8 සියවසින් මෙපිට වර්තමානය දක්වා විද්‍යාමාන යුගය

මේ බෙදීම අප සාහිත්‍යයේ දැනට දක්නට ලැබෙන සහ නොලැබෙන කෘති පදනම් කොට ගත්තකි. ක්‍රි. පූ. තුන්වන සියවස සිට කි‍්‍ර.ව. හතවන සියවස දක්වා සාහිත්‍යයේ ආරම්භක යුගය ලෙස නම් කළ හැකි අතර, මෙකල මෙරට ඉතා දියුණු සිංහල ගද්‍ය, පද්‍ය සාහිත්‍යයක් පැවැති බවට සාක්ෂි ලැබෙයි. එහෙත් මෙකල රචිත කිසිම කෘතියක් විද්‍යාමාන නොවන අතර, මූලාශ්‍රගත තොරතුරු තුළින් ඒ පිළිබඳ විස්තර හෙළි වෙයි.

මිහිඳු හිමියන් මුඛ පරම්පරාගත මෙහි ගෙන ආ ත්‍රිපිටක සාහිත්‍යය සඳහා එවකට දඹදිව ප්‍රචලිතව පැවැති අර්ථකථනද ඇතුළත් කරමින් හෙළ බසින් සකස් කළ අටුවා ග්‍රන්ථ සමූහය මෙරට සිංහල සාහිත්‍යයේ මුල්ම පොත් පෙළයි. මේවා “හෙළටුවා” නමින් හැඳින්වෙයි. මෙම හෙළටුවා මගින් බුදු දහමට කෙරුණ අර්ථකථන භාරතයේවත් නොමැති වූ නිසා පසුකාලීනව ඒවා ජාත්‍යන්තර බසක් වූ පාලියට නැඟීම පස්වන සියවස දී බුද්ධඝෝෂ අටුවාචාරින් විසින් සිදු කෙරුණි.ඒ සමඟම පාලි සාහිත්‍යයක, උදාවත්, හෙළ බසට වඩා පාලි භාෂාව වැදගත් වීමත් හේතු කොට මෙම හෙළටුවා ග්‍රන්ථ අභාවයට ගිය බව පෙනේ.

හෙළටුවා සමඟ ම ආරම්භක යුගයේ ලියැවුණු අවශේෂ සම්භාව්‍ය කෘති සියල්ලක්ම විනාශ මුඛයට ඇදවැටිණි. පසුකාලීන කෘතිවල සඳහන් එවකට තිබුණේ යැයි සැලකෙන ග්‍රන්ථ කීපයක නම් පමණක් ඉතිරි ව තිබෙයි. ඒවා අතර එළුබෝධිවංසය, දළඳාවංසය, එළුථූපවංසය, කේසධාතුවංසය, අසක්දාකව, කුසදාකව, මියුරු සඳෙස, බමර සෙඳස ද වෙයි. ග්‍රන්ථ ලෙස කෙරුණු මේ කෘති අභාවයට ගිය ද එසේ නොනැසුණු අගනා සාධකයක් අප සතු වෙයි. ඒ සීගිරි කැටපත් පවුරේ ඇති ගී එකතුවයි. මේවායේ බෞද්ධ ලක්ෂණ ඉස්මතු නොවුව ද, සමකාලීනව පැවැති දියුණු සාහිත්‍යයක පැතිකඩක් මෙමගින් විද්‍යාමාන වීම ඉතාම වැදගත් වෙයි.

අටවන සියවසින් මෙපිට විද්‍යාමාන සාහිත්‍ය යුගයෙහි රචිත අද අපට ඉතිරි ව ඇති මුල් ම ගද්‍ය ග්‍රන්ථය දම්පියා අටුවා ගැටපදයයි. මෙය දහනව වන සියවස පස්වන කාශ්‍යප රජුන් විසින් ලියැවිණි. පාලි ධම්මපදට්ඨ කථාවේ දුරවබෝධ තැන් සඳහා අර්ථ කථා සම්පාදනය කිරීම මෙම කෘතියේ අරමුණ යි. මෙම කෘතිය ව්‍යාඛ්‍යාන ගණයට අයත් වන මුල්ම කෘතිය සේ පිළිගැනේ. මේ හැර සිඛවළඳ සහ සිඛවළඳ විනිස කෘති ද භික්ෂූන්ට අදාළ විනය නීති ඇතුළත් අදත් විද්‍යාමාන මේ යුගයේ රචිත කෘති වෙයි.

අනුරාධපුර රාජධානිය 11 වන සියවස දී පමණ බිඳ වැටීමෙන් පසු පොළොන්නරු යුගය උදා වන අතර, ඉන් පසු දඹදෙණි, කුරුණෑගල, ගම්පොල සහ කෝට්ටේ යුගයන්හි දී සම්භාව්‍ය සිංහල සාහිත්‍යයට විශිෂ්ට ගද්‍ය, පද්‍ය කෘති රැසක් එකතු වූ අතර මේනිසා ‘සිංහල සාහිත්‍යය’ මිණිමුතු අමුණන ලද මාලාවක් සේ අලංකාරව බබළයි. මෙම සෑම කෘතියක්ම බුදු සමය පසුබිම් කරගෙන රචනා කර තිබීම ද මේ අලංකාරත්වයට වඩාත් හේතු වී තිබේ. මෙහි දී සාහිත්‍යකරුවන්ට විෂය වූ බුදු සමයේ ප්‍රධාන කොටස් කීපයකි. බුදුන්ගේ නව අරහාදී බුදු ගුණ ඇතැම් සාහිත්‍යකරුවකුට විෂය වූ අයුරු ගුරුළුගෝමීන්ගේ අමාවතුර, බුද්ධපුත්‍ර හිමියන්ගේ පූජාවලිය හා වැලිවිට සරණංකර හිමිගේ සාරාර්ථ සංග්‍රහයෙන්ද පෙනේ. තෙරුවන් ගුණ විස්තර කිරීමද තවත් සාහිත්‍යකරුවකුට වස්තු වූ ආකාරය විද්‍යාචක්‍රවර්ති ගේ බුත්සරණ, දහම්සරණ හා සඟසරණ යන කෘතිවලින් පෙනේ.

මේ හැර බුදු හිමියන් ගේ චරිතයට සම්බන්ධ කථා පුවත් ඇතුළත් කොට පාඨකයන් තුළ උසස් සාරධර්ම වර්ධනය කරලීමේ අරමුණින් ධර්මසේන හිමියන්ගේ සද්ධර්මරත්නාවලිය , ධර්මකීර්ති හිමියන්ගේ සද්ධර්මාලංකාරය හා විමලකීර්ති හිමිගේ සද්ධර්මාරත්නාකරය වැනි කෘති සම්පාදිත වී ඇත. ඇතැමකු විසින් තම කෘතිය සඳහා බුදුරජාණන් වහන්සේ ගේ බෝසත් ආත්ම භාවයන් විස්තර කෙරෙන ජාතක කථා පුවත් තෝරා බේරාගන්නා ලදී. ඊට හොඳම නිදසුන සිංහල ජාතක පොතය. බෝසත් චරිතය ඇතුළත් කථා පුවත් 550 කට ආසන්න ප්‍රමාණයක් මෙහි විස්තර කර තිබේ.

මේ හැරණූ විට එක් එක් ජාතක කථා පදනම් කර ගනිමින් ලියැවුණු ගද්‍ය, පද්‍ය කෘති රාශියකි. සිංහලයේ මුල්ම ගී කාව්‍ය දෙක වන මුවදෙව්දාවත සහ සසදාවත සඳහා මඛාදේව ජාතකයත් , සස ජාතකයත් වස්තු වී තිබේ. විශිෂ්ට මහාකාව්‍යය වන කව්සිළුමිණ, කුස ජාතකය පද්‍යයට නැංවීමකි. ගුත්තිල ජාතකය පද්‍යයට නංවා ගුත්තිල කාව්‍යයද, සත්තුභත්ත ජාතකය කාව්‍යශේඛරය ලෙසද සාහිත්‍යයට එක් වී තිබේ. මේ හැර සඳකිඳුරුදාකව දහම්සොඬ කාව්‍යය, ලෝ වැඩසඟරාව , බුදුගුණ අලංකාරය වැනි විශිෂ්ට පද්‍යයෝ සිංහල සාහිත්‍යය දිදුලවති.

බුදු සමය පසුබිම් කර ගනිමින් රචිත අනෙක් කෘති සමූහය වන්නේ වංසකථා සාහිත්‍යයයි. බෞද්ධයන් ගේ ඉමහත් වන්දනීයත්වයට පත් වූ ශ්‍රී මහා බෝධිය ,දළඳා වහන්සේ, ස්තූපය වැනි පූජනීය වස්තුන් පදනම් කර ගනිමින් බෝධිවංසය, ධර්මප්‍රදීපිකාව, දළඳා සිරිත, ථූපවංසය, ධාතුවංසය, වැනි සාහිත්‍ය කෘති රාශියක් ලියැවී තිබෙයි. එමෙන්ම සිංහලයේ විද්‍යමාන ව්‍යාඛ්‍යාන සාහිත්‍යය ද බෞද්ධ සාහිත්‍යයකි.පාලියෙන් ලියැවී තිබූ ඇතැම් බෞද්ධ ග්‍රන්ථ පොදු ජනයාට තේරුම් ගැනීමේ අවශ්‍යතාව ඉස්මතු වූ කල්හි ගත්කරුවෝ එම පාලි කෘති සිංහලයෙන් විස්තර කොට විවරණ ග්‍රන්ථ සැපයූහ. වෙසතුරුදාසන්නය, විශුද්ධිමාර්ග සන්නය,ජාතක අටුවා ගැටපදය ඒ සඳහා නිදසුන් කිහිපයකි.

සිංහල සන්දේශ සාහිත්‍ය විමසා බලද්දී බොහෝ සන්දේශකරුවෝ භික්ෂූන් වහන්සේලාය. එබැවින් ඒවාට බෞද්ධ ලක්ෂණ ඇතුළත් වීම වැළැක්විය නොහැකිය. සන්දේශ අතර එන හංස සන්දේශය මුළුමනින්ම බෞද්ධ කාව්‍යයකි. බුදුදහමේ ගැඹුරු හරයන් එහි අපූර්ව ලෙස කවියට නංවා තිබෙයි.

සම්භාව්‍ය යුගයෙන් පසු උදාවූ නූතන සාහිත්‍ය යුගයේ ද ගීතය, කවිය, නාට්‍යය පමණක් නොව නවකථාව, කෙටිකථාව, පවා බෞද්ධ ආභාසය, ලැබීය. සිංහල මහා නාට්‍යධර සරච්චන්ද්‍රයෝ ජාතක කථා රාශියක් ඇසුරින් විශිෂ්ට නාට්‍යය නිමවූහ. මනමේ, කදාවළලු, මහාසාර, හස්තිකාන්ත මන්තරේ ඒ අතර එයි. ඩබ්ලිව්. ඩී.අමරදේව ,වික්ටර් රත්නායක ,නන්දා මාලිනි යනාදි ගාන්ධර්වයෝ විශිෂ්ට බෞද්ධ ගායනා අපට දායාද කළහ.

මේ ලෙසින් ගත් කල්හි ශ්‍රී ලංකාවේ සාහිත්‍යය බුදුසමයෙන් ලද ආභාසය සෑම අංශයකම කැපී පෙනේ.