Print this Article


අනතුරු නැති එකම මාර්ගය

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් තමන් වහන්සේ විසින් (ස්වයංභූ ඥානයෙන්) ආර්ය පර්යේෂණය තුළින් අවබෝධ කර ගත්තා වූත්, අප කෙරෙහි මහත් කරුණාවෙන් ඉතා මැනවින් දේශනා කරන ලද බැවින් ස්වාක්ඛාත වූත්, මේ උතුම් ධර්ම මාර්ගයෙහි ඇසුර ලැබ, ඒ ධර්ම මාර්යෙහි ගමන් කර ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නට හැකියාව ඇත්නම් කෙතරම් වාසනාවක් ද? ඒ වාසනාව උදා කර ගන්නට බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළ ඒ ධර්ම මාර්ගය තුළ ගමන් කළයුතු වෙනවා.

සසර ගමන හැම අතින්ම අනතුරු සහිත එකක්. ඒ සසරින් එතෙර වන්නට කළ යුතු වන්නේ අනතුරු රහිත මාර්ගයක් තෝරා ගැනීම යි. සසර ගමන අවසන් කරන්නට ඇති අනතුරු නැති එකම මාර්ගය වන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. එම මාර්ගයේ ගමන් කිරීමන් හැර වෙන කිසිම ක්‍රියාවකින් සසර දුක කෙළවර කරන්නට පුළුවන් වන්නේ නැහැ.

උන්වහන්සේ අපට නිරන්තරයෙන් වදාළේ සසරට බියවන්න, පාපයට බිය වන්න කියා යි. අප සසරට බිය විය යුත්තේ ඇයි? සසරේ ගමන් කරනවා කියන්නේ ම නේකවිධ අනතුරු කරදරවලට පත්වීම යි. අනතුරුවලට කරදර විඳීමට බිය කෙනා තමන්ට ඒ තත්ත්වයට පත්වන්නට සිදු වන්නේ සසර ගමන් කිරීම නිසා බව දැන සසරට බිය ඇති කර ගන්නවා. ඒ බිය නිසා ම සසරින් මිදෙන්නට උත්සාහ කරනවා. සසරටත් පවටත් බිය වෙන තැනැත්තා සසරින් මිදෙන්නට පවින් තොරව ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි ගමන් කරන්නට, කුසලය දියුණු කරන්නට උත්සාහ කරනවා.

සසරෙහි අනාථ වූ අපට එයින් මිදෙන්නට මාර්ගය පෙන් වූ අනාථනාථ වූ බුදුරජාණන් වහන්සේ සසර දුකනේ මිදෙන්නට නම් අනුගමනය කළ යුතු වූ පුරුදු පුහුණු කළ යුතු වූ දේ කුමක් දැයි පෙන්වා දී වදාළා. මහා කාරුණික වූ සමන්තභද්‍ර වූ බුදුජාණන් වහන්සේ විසින් දුකෙන් මිදෙන ප්‍රතිපදාව වශයෙන් අපට පෙන්වා දී තිබෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි.

උන්වහන්සේ වදාළ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙස සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා,(පඤ්ඤා) සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම,(සීල) සම්මා සති, සම්මා සමාධි (සමාධි) ලෙස යි. මෙම අංග අටෙන් බුදුරජාණන් වහන්සේ අප හට පෙන්වා වදාළේ සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවන් ප්‍රගුණ කර ගෙන මනුෂ්‍යත්වයෙන් උපරිම ඵල නෙලා ගත හැකි ප්‍රතිපදාව යි. පුරා වසර හතළිස් පහක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්ත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කරන ලද සමස්ත ධර්මය ම මේ ආර්ය ප්‍රතිපදාව ඉලක්ක කර ගෙන දේශනා කරන ලද්දක්. ධර්මයේ ඉගැන්වෙන මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ද කොටස් දෙකට බෙදා තිබෙනවා. ඒ (1). ලෞකික (2) ලෝකෝත්තර වශයෙනු යි.

ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගය නිවන ගැන දැනුමක්, විශ්වාසයක්, පිළිගැනීමක් නැති අන්‍යයනට පවා පුරුදු පුහුණු කළ හැක්කක්. ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගය අබෞද්ධ සැමටත් පුරුදු පුහුණු කළ හැකියි. ඒ නිසයි ඒ මාර්ගය අට විස්තර කරන විට යහපත්, නිවැරැදි හරි යන වචන යොදා තිබෙන්නේ. ඒ අනුව යහපත් දැකීමක්, සිතිවිලි, වචන, ක්‍රියා, රැකියා උත්සාහයන්, සිහිය, මානසික තැන්පත්කම් ඇත්තේ බෞද්ධයනට පමණක් නොවේ. අන් අයටත් අවශ්‍ය නම් ඒ තත්ත්වයන් දියුණු කර ගත හැකියි. එසේ වුවත් නිවන පිළිබඳ ව අබෞද්ධයනට විශ්වාසයක් නැති නිසා ඔවුන් මේ සියලු යහපත් දේ කරන්නේ සසර පැවැත්ම පිණිස යි. එහෙත් බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය දේශනා කළේ සසර නැවැත්ම සඳහා යි. ඒ සඳහා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර පැත්තට නැඹුරු විය යුතුයි. ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සිටින පුද්ගලයාට සසර සුවසේ ගමන් කළ හැකියි. සසර ගමන නවතාලන්නට නම් ලෝකෝත්තර ප්‍රතිපදාව අනුගනමය කළ යුතු වෙනවා.

තථාගතයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමි දම් පුරා අවබෝධ කරගත් මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර පැත්ත දියුණු කිරීම තුළින් නිවන් සුව සාක්ෂාත් කළ හැකි බවයි. ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය පුරුදු කරන තැනැත්තාට සීල, සමාධි, ප්‍රඥාවන් නිවන සඳහා ම මෙහෙයවිය හැකි වන්නේ. ඒ නිසා නිවන කරා උපකාරි වන මධ්‍යම ප්‍රතිපදාව හඳුන්වන අවස්ථාවේදී උන්වහන්සේ චක්ඛුකරණී, ඤාණකරණී, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බාණාය, සංවත්තතී යන වචන යොදා තිබෙනවා. මේ මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය නුවණ නමැති ඇස විවර කරවන සුළු එකක්. නුවණ ලබා දෙන, කෙලෙස් සන්සිඳවන, ගැඹුරින් දැන ගැනීමට උපකාරි වන , මනා අවබෝධයට හේතුවන, තණ්හාව ප්‍රධාන කෙලෙස් නැති කිරීමට හේතු වෙන දෙයක් වශයෙන් දක්වා ඇත්තේ මෙහි ඇති ලෝකෝත්තර පැත්ත විස්තර කරදීමට යි.

මානව සමාජය තුළ ජීවත්විය යුතු පිළිවෙළ ආචාර විද්‍යාත්මක, සදාචාරාත්මක පැත්ත සීලයටත් චංචල වූ පුහුදුන් සිත සන්සුන් කිරීම, සමාධියටත්, සත්‍යය දැකීමේ දාර්ශනික පැත්ත ප්‍රඥාවටත් යොමු වෙනවා. ඒ අනුව සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාව වැඩීම තුළ අනතුරු, ආබාධ නැති සර්ව සම්පූර්ණ මිනිසෙකු බිහිවීම අරුමයක් නොවේ. සම්පූර්ණ වූ මිනිසෙකු බිහි කිරීමේ ඒ ප්‍රතිපදාවේ සාරය වන සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාව වෙත අවධානය යොමු කිරීම වැදගත්.

සීලය යනු - ආර්ය අෂ්ඨාංග මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව අයත් වන්නේ සීලය කොටසට යි. සීලය යන වචනය ඉතා කුඩා එකක් වුවත් එය ඉතාමත් පළල් එමෙන්ම ඉතා ගැඹුරු අර්ථයක් ඇති එකක්. සීලය කියන්නේ සංවරයට යි. හික්මීමට යි. විශේෂයෙන් ම කය සහ වචන යන දෙක සංවර කර ගැනීම සීලයෙන් අපේක්ෂා කරන මූලික කාර්යයක්. එසේ වුණත් සිත සංවර කර ගැනීමකින් තොරව ක්‍රියා හා වාචසික සංවරය ගැන සිතීම අපහසු යි.

මෙහිදී ගිහියකු විසින් රැකිය යුතු සිල් හා පැවිද්දන් විසින් රැකිය යුතු සිල් කොටස් කර දක්වා තිබෙනවා. ‘ගහට්ඨ සීල’ හා පබ්බජ්ජා සීල වශයෙන් දක්වා තිබෙන්නේ ඒ කොටස් දෙකයි. ඒ අනුව ගිහියන් විසින් රැකිය යුතු මූලික සීලය වන්නේ ‘පඤ්චසීලය’ යි. එය නිත්‍ය සීලය වශයෙන් ද දක්වා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ගිහියන්ට දෛනික සීලය ලෙසින් පන්සිල් සමාදන් ව ආරක්ෂා කරන ලෙසත්, පෝදා අටසිල් හා ගිහි දසසිල් සමාදන්ව නෛෂ්ක්‍රමය පුරුදු කරන ලෙසටත් උගන්වා තිබෙනවා. පැවිද්දන් වෙනුවෙන් සාමණේර දස සීලයත්, උපසම්පදා සීලයත් පෙන්වා දී තිබෙනවා.

එනිසා සැබෑ ලෙසින් අප සුවඳවත්වීමට කළ යුත්තේ යහපත් සිතිවිලිවලින් සිත පුරවා ගෙන, සිත සන්සුන් කර ගෙන, සිත සංවරයෙන් යුතුව කය සහ වචනද සංවර කර ගෙන සීලයෙන් පෝෂණය වී සීල සුගන්ධයෙන් අපේ ජීවිතය සූවඳවත් කර ගැනීමයි සිදුවිය යුත්තේ.

සමාධිය යනු- ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි අයත් වන්නේ සමාධිය කොටසට යි.

පෘථග්ජන මිනිසෙකුගේ සිත උපමා කර ඇත්තේ පිස්සු වැටුණු වඳුරෙකුට යි. සාමාන්‍ය වඳුරෙකුගේ ස්වභාවය අත්තෙන් අත්තට ගසින් ගසට යමින් චපල ආකාරයට කටයුතු කිරීම යි. එසේනම් පිස්සු වැටුණු වඳුරාගේ චපල ස්වභාවය ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. එවැනි අතිශයින්ම චංචල වූ සිත් තැන්පත් කරනවා කියන්නේ ම අතිශයින්ම දුෂ්කර වූ කාර්යයක්. ඒ තැන්පත් කිරීම සමාධිය වශයෙන් හඳුන්වනවා. ඒ සමාධිය ඇතිකර ගන්නට කෙනෙකුට සීලයෙන් ලද පදනම අතිශයින් ම උපකාරි වෙනවා. සමාධිය වැඩෙන්නට නම් සීලයෙන් පසුබිම සකස් වී තිබිය යුතුම යි.

සමාධිය කියන්නේ සියලු කුසල ධර්මවලට ම ප්‍රමුඛව සිටින දෙයක්. ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියන්නේ කුසල මාර්ගයක්. ඒ කුසල මාර්ගයේ දියුණු කළ යුතු අවසාන තත්ත්වය සම්මා සමාධිය යි. ඒ දියුණු කරන ලද සමාධිය විද්‍යාව හා විමුක්තියට උපකාරි වෙනවා.

ප්‍රඥා යනු - ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ පළමු වන මාර්ගාංගය වන සම්මා දිට්ඨිය යනු කුමක් ද? යෝනිසෝ මනසිකාරයෙන් යුතුව චතුරාර්ය සත්‍යය දැකීමට, අවබෝධ කර ගැනීමට යොමුවීමයි. ඇති දේ ඇති සැටියෙන් දැකීමට යොමුවීම යි.

සත්‍යය අවබෝධ කර ගැනීමේ දී ප්‍රඥාවේ ආලෝකය උපකාරි කර ගත යුතුයි. ප්‍රඥාවෙන් අලෝකවත් විය යුතුයි. යමෙක් ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණ කරන්නේ ද ඒ හා සමඟින් ඒ තැනැත්තා සීල, සමාධි, ප්‍රඥාවෙන් ද සම්පූර්ණ කර ගන්නවා. බොහෝ දෙනා සමාධියෙන් නිවන් මග අවසන් වෙනවා යැයි සිතනවා. නමුත් මේ විමුක්ති මාර්ගය එතැනින් නවතින්නේ නැහැ. ප්‍රඥාව වශයෙන් ගැනෙන්නේ විදර්ශනා නුවණ යි. ඇත්ත ඇති සැටියෙන් දකින්නට කරන උත්සාහය යි. ලෝකයේ පවතින සියලු සංස්කාරයන්ගේ ස්වභාවය නිසි ලෙසින් තේරුම් ගැනීම ගැඹුරින් දැකීම, අනිත්‍ය දුක්ඛ, අනාත්ම වශයෙන් තේරුම් ගැනීම විදර්ශනාව යි.

එනිසා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙහි නියම රසය විඳින්නට නම් තම තමන් මේ ධර්මය තමන්ගේ ජීවිත තුළ පුරුදු කළ යුතු වෙනවා. එවිටයි ධර්මානුකූල ජීවිතයෙහි රසය තමාට ලැබෙන්නේ. එය තම අත්දැකීම් තුළින් ම විඳිය යුතුයි.

එනිසා බුදුරජාණන් වහන්සේ අපමණ දුක්වේදනා විඳ අවබෝධ කොට, සසර සැරිසරන, අසරණ වූ සත්ත්වයා කෙරෙහි මහත් වූ කරුණාවෙන් දෙසූ මේ මිහිරි වූ අනතුරු නැති, බාධක නැති, සතුට සැනැසිල්ල රැඳී සදහම් මාවත අප ඉදිරියෙහි පැහැදිලිව, බාධාවකින් තොරව දිග හැර තිබෙන මේ අවස්ථාවෙහි එයින් උපරිම ඵල නෙළා ගැනීමට අධිෂ්ඨාන ඇතිකර ගනිමු.