Print this Article


ත්‍රෛනිකායික අතිපූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ වෙසක් පණිවුඩ

ත්‍රෛනිකායික අතිපූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ වෙසක් පණිවුඩ

බුදු උපත අතිශයින්ම දුර්ලභය

කරුණානිධාන වූ අසරණසරණ වූ ශ්‍රී ගෞතම තථාගත සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ ලොව පහළවීම, බුදුවීම, පිරිනිවන්පෑම යන තෙමඟුල සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය, සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පූජනීය ආගමික දිනය මෙන්ම ලංකාවාසී බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨතම ජාතික දිනය ද වන්නේය. මෙදින ශ්‍රී සම්බුද්ධරාජෝත්තමයාණන් වහන්සේගේ අනන්ත වූ අපිරිමිත වූ මුණිගුණ සිහිපත් කොට ලෝකවාසී බෞද්ධ ජනතාව ආමිෂ පූජා හා ප්‍රතිපත්ති පූජාවන්හි යෙදීම උතුම් චාරිත්‍රධර්මයක්ව පවතී.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තිලොවට තිලක වූ සේක. නව අරහාදී මුණිගුණයන් නිසා පූජාති පූජනීය වූ සේක. ඒ අසමසම ශ්‍රේෂ්ඨ මහෝත්තමයාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ වූ උතුම් ධර්ම ප්‍රතිපත්ති පූරණයෙහි යෙදීම බෞද්ධයන් සතු පරම යුතුකම මෙන්ම කළ හැකි උතුම්ම පූජාවයි. බුදුරජාණන් වහන්සේ පිදීමට ඇති උතුම්ම පූජාව ප්‍රතිපත්ති පූජාවයි. වෙසක් පුන් පොහෝ දිනය මුල්කොට සැරසිලි ,දන්දීම්, මල්පහන් පිදීමාදී ආමිෂ පූජාවන්ට පමණක් මුල්තැන් නොදී සිල්රැකීම්, භාවනා කිරීම් ආදී ප්‍රතිපත්ති පූජාවන්හි යෙදීමට වඩාත් උත්සුක විය යුත්තේමය. ප්‍රතිපත්ති පූජාවන්හි මනාව යෙදීමෙන් නොදැමුණු සිත් දමනය කරගත හැකිය. කිළිටු සිත් පවිත්‍ර කරගත හැකිය. එබැවින් වෙසක් පුන් පොහෝ දිනය තවත් එක් උත්සව දිනයක් සේ නොසලකා සැදැහැ සිතින් සීලයෙහි හා සමාධියෙහි පිහිටා ප්‍රඥාව වඩා වර්ධනය කොට නිර්වාණාවබෝධය, ලබාගැනීම පිණිස මග හෙළිකර ගැනීමට අදිටන් කරගැනීම වඩාත් අගනේය.

සතිපතා පළවන “බුදුසරණ” පුවත්පත මගින් ඉටුකෙරෙන සදහම් සේවාව ඉදිරියේදී වඩාත් සාර්ථකව පවත්වාගෙන යෑමට ත්‍රිවිධ රත්නයේ හා ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදය නොමඳව ලැබේවායි ආශිංසනය කරම්හ.


සමස්ත ලෝකවාසීන්ට අතිශයින්ම වැදගත් දිනයකි

අසිරිමත් සම්බුදු තෙමගුල සිදුවූ වෙසක් පොහොය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ට අතිශයින්ම වැදගත් දිනයකි. ශ්‍රී ලාංකික බෞද්ධයින් වන අපි දන් , සිල් ,භාවනා දී තුන් පුණ්‍යක්‍රියාවන්ට මහත් සේ නැඹුරුව සිටින අතර විවිධාකාර පූජා චාරිත්‍ර ඉටුකිරීමටද පුරුදුව සිටිමු. ලොව අසම සම ශාස්තෘන් වහන්සේ වූ අප ගෞතම බුදුරජාණන් වහන්සේ මෙසේ ලෝක සත්වයින්ගේ වන්දනාභිවන්දනාවට පාත්‍රව සිටින්නේ සර්වකාලීන වටිනාකමකින් යුත් ශ්‍රේෂ්ඨ දහමක් දේශනා කළ නිසාය.

ලොව අන් කවරදාකටත් වඩා අද පෙර අපර ලෝකයේ බුදු දහම ගැන දක්වන්නේ මහත් උනන්දුවකි. භෞතික සැප සම්පත් ඔස්සේ හඹාගිය මිනිසා අද එයින් හෙම්බත්ව සිටී. ජීවිතයේ සැබෑ සතුට එය නොවන බව වටහා ගෙන සිටී. ආධ්‍යාත්මික ගවේෂණයක යෙදීමට බුද්ධිමත් මිනිසා උනන්දු වන්නේ ඒ නිසාවෙනි. එහිදී මිනිස් සිත පිළිබඳ ගැඹුරින් විග්‍රහ කරන බුදු දහමේ දාර්ශනික විග්‍රහයන් ඔස්සේ ආධ්‍යාත්මික සුවය සෙවීමට ඔවුහු උත්සුක වෙති.

එහෙත් උපතින් බොදුනුවන් වූ ඇතමුන් බුදු දහමේ මෙකී ගැඹුරු හරයන් වටහා ගැනීමට උත්සුක නොවීම කනගාටුවට කරුණකි. මෙවන් වැදගත් අවස්ථාවක අප අවධාරණය කළ යුත්තේ බුදු දහමේ ඉගැන්වෙන එකී වටිනා හර පද්ධතීන් තම ජීවිතය හා බද්ධ කරගනිමින් මෙලොව සාර්ථක ජීවිතයක් ගතකිරීමටය. එකිනෙකා පරයා තරඟකාරි බවින් ජීවත්වීමට උත්සාහ කිරීම තුළ කිසිවෙකුටත් යහපතක් උදා නොවේ.ඇතිවන්නේ ඔවුන්නොවුන් කෙරෙහි වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය පමණි. එබඳු නොසන්සුන් මානසිකත්වය පුද්ගල අසහනය ඇතිකරනවා මිස අතිශය මානසික සහනයක් ඇති නොකරයි.

එබඳු මානසික සතුට සැනසීම ඇති සරල සුගම දිවිපෙවතක් ගොඩනගා ගැනීමට මෙවර වෙසගේ අප කවුරුත් අදිටන් කරගත යුතුය.අනවශ්‍ය උත්සව සැණකෙළිවලින් බැහැර වී දෙලොව යහපත සැළසෙන දානාදි කුශල කර්මවල යෙදෙමින් ප්‍රතිපත්ති පූජාවට නැඹුරු වන්නේනම් එය සැබෑ ලෙස වෙසක් දිනය සැමරීමක් වන්නේමය. එබඳු උතුම් සිතුවිලි ඇතිව සාමය, සමගිය, සහජීවනය, වැඩෙන අයුරින් මෙවර වෙසක් දිනය, සැමරීමට සැම සිත් නතු වේවායි ප්‍රාර්ථනය කරම්හ.


උතුම් උපහාරාත්මක සිරිත නොකඩවා සිදු කරන්නෙමු

මුළු මහත් බෞද්ධ ලෝකවාසීන්ගේම බුද්ධාලම්භන පී‍්‍රතිය වඩවන උත්තම වෙසඟ උදාවන්නේ අද දිනය. ශ්‍රද්ධාවෙන් සියලු බෞද්ධ ජනයා වෙසක් දිනය නිමිති කොට ගෙන ආමිස – ප්‍රතිපත්ති පූජාවන්ගෙන් තම ශාස්තෘන් වහන්සේ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට උපහාර දක්වන්නේ පුරාතනයේ සිටය. අද ද ශ්‍රී ලංකාවාසී බෞද්ධ අපි තම තමන්ට හැකි පරිදි ශ්‍රද්ධාවේ හා අවබෝධයේ තරමට මේ උතුම් උපහාරාත්මක සිරිත නොකඩවා සිදු කරන්නෙමුය.

තථාගත බුදුරජාණන් වහන්සේ යනු මෙලොවට පහළ වූ අසමසම විමුක්ති දායකයාණෝය. මෙලොවට පහළ වූ නිවැරදි දැකීම් ඇත්තාය. (චක්කු භූතො) නිවැරදි දැනීම් ඇත්තාය. (ඤාණ භූතො) දැරීම් (ධර්මය) පිළිබඳ නිවැරදි දැනුම් ඇත්තාය. (ධම්ම භූතො) ශ්‍රේෂ්ඨ ස්වභාව ඇත්තාය. (බ්‍රහ්මභූතො) තමන් වහන්සේ අවබෝධ කළ ධර්මයම දේ්ශනා කරන්නාය. (වර්තකය), එයම නැවැත නැවැත අර්ථය පැහැදිලි කරමින් දෙසන උත්තමයාණෝය. (වර්තකය) අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයෙහි අබිඤ්ඤා සූත්‍රය දේශනා කරන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තම තමාගේ චිත්ත විවේකය තුළින් මිනිසාට ප්‍රඥාව පහළ කරගත හැකි බවත් එසේ පහළ කරගන්නා ප්‍රඥාව තුළින් මිනිසා දැනගතයුතුම දෙය වන්නේ “පංච උපාදානස්කන්ධයෝ” පිළිබඳ දැන ගැනීමය. ඒ ප්‍රඥාව තුළින් නැති කර ගත යුතු ම දේ වන්නේ “මෝහය හා නැවැත භවයට එකතු වීමේ කැමැත්තය.” මේ ධර්මතාවය ඇති කරගැනීම සඳහා ලැබූ ප්‍රඥාව භාවිත කළ යුත්තේ ම “සමථය හා විදර්ශනාව“ වැඩීමටය. මේ ත්‍රිවිධ ධර්මයෝ පහළ කරගත් මිනිසා ලැබූ ප්‍රඥාවෙන් සාක්ෂාත් කළ යුතු කර්තව්‍ය වන්නේ ම විද්‍යාව හා විමුක්තිය ලබා ගැනීමයි. මේ විද්‍යාව යනු චතුරාර්‍ය‍්‍යය සත්‍යය අවබෝධ කරගැනීමයි. විමුක්තිය යනු සසරින් මිදීමයි. දීඝනිකාය උදුම්බරික සූත්‍රයේ දී නිග්‍රෝධයෙනි, පරිබ්‍රාජකයාට වදාරන්නේ, “නිග්‍රෝධයෙනි” භාග්‍යවත්වරු සත්‍යාවබෝධ කළේ සසරින් මිදී, අන් අයට ද සත්‍යාවබෝධ කොට සසරින් මුදාලීමට දහම් දෙසන සේක්” බවය.

මෙවන් මහා කාරුණික විමුක්ති දායකයාණන් වැනි උතුමෙක් සරණ යන අපි බෞද්ධයෝ වශයෙන් කෙතරම් වාසනාවන්ත වන්නෙමු දැයි නැවැත සිතන්නට හොඳම දිනය අද වෙසක් පොහෝ දිනය බව මම විශ්වාස කරමි. ලබාගත් මේ වාසනාව සඵල කරගත් තරමට බුදුරජාණන් වහන්සේට උපහාර කළා වන්නේය. හැකිතරම් කුසල්ම වඩා හැකිතරම් ඉක්මණින් අපි මේ සසර දුකින් මිදෙමු. එතෙක් සසර වසනතාක් සම්‍යක් දෘෂ්ටික මව්පියන් ලබන්නටම පින් ද කරමු.

ලෝකවාසි සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! - සියල්ලටම තෙරුවන් සරණ ලැබේවා


විමසා කටයුතු කිරීම වටී

උතුම් වෙසක් පොහෝ දින ප්‍රඥාවෙන් මෝහන්ධකාරය දුරුකර සම්මා සම්බුද්ධත්වයට පත් තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වශයෙන් ඔබ අප කවුරුත් බුද්ධානුශාසනාවට අනුව යන්නේ කොහේ ද? නවතින්නේ කොතැන ද? කළ යුත්තේ කුමක්ද? යන්න විමසා කටයුතු කිරීම වටී.

තෙරුවන් සරණ ගිය හැම, පළමුවෙන් කයින් වචනයෙන් හා සිතින් සිදුවන පවින් හෙවත් දශ අකුශලයෙන් ඉවත් විය යුතු වේ. තමන්ටත් අනුන්ටත් අසහනයට හේතු වන මෙම දශ අකුශලයෙන් ඉවත් වීමට ඔබ සමතෙක් වුවොත් සතර අපා දුකින් ගැලවීමට හැකිවේ. දෙවෙනි පියවර වශයෙන් රාගාදී කෙලෙස් ප්‍රහාණය කරමින් සිත පිරිසුදු කිරීමට වෑයම් කළ යුතුය. රාගාදී කෙලෙස් තාවකාලිකව යටපත් කොට දාන ශීල භාවනාදි දස පින්කම් වල යෙදී කටයුතු කරන අයට නැවත මිනිස් ලොව හා සදෙව් ලොව ඉපදීමේ වාසනාව ලැබේ. තවත් ඉදිරියට යාමට කැමැත්තේනම් සමථ භාවනාවෙන් සන්තාන ගත කම් සැපත ගැන කැමැත්ත (කාමච්ඡන්ද) ආදී නීවරණයන් යටපත් කර ධ්‍යාන උපදවා ගත හැකි වේ. ධ්‍යාන උපදවා ගැනීමට සමත් වුවහොත් දිව්‍ය ලෝක ද ඉක්මවා ගොස් බ්‍රහ්ම ලෝකවල උපත ලබා ගැනීමට හැකිවේ. බුද්ධ දේශනාවට අනුව මේ ලබන සියලු සහනයන් සැපයන් සියල්ලම තාවකාලිකය. නිත්‍ය සැපය ලෙස බුදුරදුන් වදාළේ ජාති ජරා මරණාදි සංසාර දුකින් මිදී ලබන අජර අමර නිවනයි. ඒ සඳහා පෙරහුරුවක් ඔබ ගත කරන ජීවිතය තුළදීම ප්‍රඥාවන්තව ඇති කර ගත යුතුය. ලොව ඇති සවිඥානික අවිඥානික (සිත් ඇති- නැති) සියලු දෙයහි පවත්වා අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්‍ෂණය නුවණින් දැකීමට නිරන්තරයෙන් උත්සාහවත් විය යුතුය. එම උත්සාහයේ අවසාන ප්‍රතිඵලය වශයෙන් ඔබ අප සැමට ජාති ජරා මරණාදි සියලු සසර දුකින් මිදී ලොවුතුරු සැපයට හෙවත් නිවනට පත් උතුමකු විය හැකි වේ.

මේ උතුම් වෙසක් පොහෝ දින ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් සියලු දෙනාම තථාගතයන් වහන්සේ වදාළ ලෞකික හා ලෝකෝත්තර සැප උදාකර ගන්නා ආකාරය වටහා ගෙන ස්වර්ග මෝක්‍ෂ සම්පත් ප්‍රතිලාභය සඳහා ධර්ම මාර්ගයේ ගමන් කිරීමට අදිටන් කර ගන්නා ලෙස මෙත් සිතින් මතක් කර සිටිමි.