Print this Article


සම්බුදු උපත පිළිබඳ ඓතිහාසික මුලාශ්‍ර

බුදුරදුන්ගේ දෙමාපියන් වනුයේ ශාක්‍ය වංශික සුද්ධෝදන රජු හා මව මහාමායා නම් කෝලිය වංශික දේවියය. තම පියාගේ ශාක්‍ය ජනපදය වනාහි හිමාලයට දකුණු දිශාවෙන් පිහිටා ඇති අතර ශාක්‍ය හා කෝලිය රජ දරුවන්ගේ වාසභූමිය ද රොහිණි ගංඟාවේ දෙතෙර පිහිටා තිබුණි.

ඉතිහාසය රචනය සඳහා භාවිත කරනු ලබන මූල සාධක සමුහය මූලාශ්‍ර ලෙසින් සැලකෙන අතර අතීතය දෙස බැලීමට ඉවහල් වන කවුළු ලෙස ද මුලාශ්‍ර හඳුනා ගැනේ. තථ්‍යතාව, ප්‍රභවය, කර්තෘත්වය හා පක්ෂපාතිභාවය ආදි කරුණු සැලකිල්ලට ගනිමින් මුලාශ්‍රවල විශ්වසනීයත්වය නිශ්චය කෙරෙන අතර ස්පර්ශිත බවට පත්ව විකෘති නොවූ පළමු රචනය හෝ නිර්මාණය ප්‍රාථමික මුලාශ්‍ර ගණයේ ලා සැලකේ. සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක වශයෙන් මුලාශ්‍රයෝ වර්ගිකරණයට ලක් කළ හැකිවන අතරම දෙස් විදෙස් ලෙසින් ඊට අනුරූපිකව සාකච්ඡා කෙරේ. අතීත සංසිද්ධි මුලාශ්‍ර මතින් වඩාත් විශ්වසනීය ලෙසින් ගෙන සිද්ධීන් හා සබඳි චරිතාංග සජීවිව, සිද්ධීන් හා බද්ධ කරමින් නූතනය වෙත ගෙන ඒම ඉතිහාසඥයෙකුගේ වගකීම වේ.

ආගමික හා සංස්කෘතික ඉතිහාසය තුළ බුද්ධ ජීවිතයත් ඒ හා බැඳුනු සිද්ධීන් මෙන්ම බුද්ධ දේශනය ද සුවිශේෂිත වන බැවින් උන්වහන්සේගේ ඓතිහාසික බව තහවුරුවන එක් ප්‍රධාන සංසිද්ධියක් වනුයේ බුදු උපතය. ථෙරවාදි ත්‍රිපිටකගත මුලාශ්‍රයන්හි අවස්ථා කීපයක බුදු උපත හා එහි ආශ්චාර්ත්මක බව සඳහන් වන අතර එම සිද්ධිය අනෙකුත් සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර මතින් තහවුරු කිරීම ඔස්සේ බුදු උපතේ මෙන්ම බුද්ධ චරිතයේ ඇති ඓතිහාසිකත්වය මනාව ඉස්මතු කරගත හැකිය. ත්‍රිපිටකගත තොරතුරුවලට අනුව බුදු උපත සිදු වූ ස්ථානය නිවැරදිව හඳුනාගැනීම, සිදු වූ ආකාරය අනෙකුත් මුලාශ්‍රගත තොරතුරු සමඟ සංසන්දනය කිරීම තුළින් එහි නිරවද්‍යතාවය පෙන්වාදිය හැකිය. මෙහිදී පළමුව වැදගත්වන්නේ ත්‍රිපිටකයේ සඳහන් බුදු උපත සිදු වූ ලුම්බිණියේ ඓතිහාසිකත්වය හඳුනා ගැනීමය. ඒ තුළින් එම ස්ථානය හා බුදු උපත අතර ඇති බද්ධතාවය තහවුරු කර ගත හැකිය.

පරිනිබ්බාන සූත්‍රයේදී සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැකිය යුතු සංවේග ඉපදවිය යුතු ස්ථාන හතරක් ගැන බුදුරදුන් විසින් පෙන්වා දුන් සේක. එනම් උපන් ස්ථානය, බුදු වූ ස්ථානය, දම්සක් සූත්‍රය දේශනා කළ ස්ථානය හා පිරිනිවන් පෑ ස්ථානය යන්නයි.

ශාක්‍ය ජනපදය හා ලුම්බිණිය

බුදුරදුන්ගේ දෙමාපියන් වනුයේ ශාක්‍ය වංශික සුද්ධෝදන රජු හා මව මහාමායා නම් කෝලිය වංශික දේවියය. තම පියාගේ ශාක්‍ය ජනපදය වනාහි හිමාලයට දකුණු දිශාවෙන් පිහිටා ඇති අතර ශාක්‍ය හා කෝලිය රජ දරුවන්ගේ වාසභූමිය ද රොහිණි ගංඟාවේ දෙතෙර පිහිටා තිබුණි.

වර්තමානයේ තිලරාකොට් (Tilarakot)  නමින් හැඳින්වෙන්නේ එවකට ශාක්‍යයන්ගේ අග නගරයයි. මෙහි සිට කිලෝ මීටර් 28ක් බටහිරින් හා දෙව්දහ නුවර සිට කිලෝමීටර් 38ක් නැඟෙනහිරින් බුදුරදුන් උපන් ලුම්බිණිය පිහිටා තිබේ. පාලි සාහිත්‍යයේ ‘ප්‍රදිමොක්ෂ වන’ යැයි මෙම උයන හැඳින්වේ. පාලි ත්‍රිපිටකයේ හා අටුවාවල ලුම්බිණි වනය ශාක්‍ය ජනපදය තුළ පිහිටා තිබූ බව පෙන්වයි. ජාතකට්ඨකථා නිදානයේ සාල වෘක්ෂ සහිත ලුම්බිණි වනයේ දී බෝසතුන් උපන් බව සඳහන්ය. නාලක සූත්‍රයේ ලුම්බිණි ග්‍රාමය ගැන ද දැක්වේ. පපඤ්ච සූදනීයේ හා ජාතක අටුවාව ද ලුම්බිණිය දේවදහ නිගමයට ආසන්නයේ පිහිටා තිබූ බව දක්වයි.

එදා ශාක්‍යයන්ගේ අගනගරය කපිලවස්තුව වේ. කපිල තපස්විහු වාසස්ථානය කොට ඉදිකළ නගරය නිසා කපිලවස්තුව වී යැයි සැලකේ. ‘පදරියායි’ හා ‘කොහොනා නදි’ නමින් කපිලවස්තුව හා රෝහිණි නදිය වර්තමානයේදී හැඳින්වේ. හත්වැනි සියවසේ දී ඉන්දියාවට පැමිණ වාර්තා තැබූ චීන ජාතික භික්ෂුවක්වන හියූං-සීයෑං භික්ෂුව තමා එදා දුටු කපිල වස්තුව ගැන මෙසේ දක්වයි.

“කපිලවස්තු රාජධානිය වනාහි වටින් ලී 400ක් වේ. රජමාලිගාව පිහිටි භූමිය ලී 14ක් පමණ වටය. එහි සියලු ගොඩනැඟිලි ගඩොලින් නිමවා තිබුණි. එහි අත්තිවාරම් බිත්ති තවමත් ඉතාමත් ශක්තිමත්ය. උස්ය. මාලිගා භූමිය තුළ ජරාවාස වූ අත්තිවාරම් බිත්ති හතරක් ඇත. මෙය සුද්ධෝදන රජුගේ නිවාසය කැඩී බිඳීගිය පසු ඉතිරිව පවත්නා දෑය. ප්‍රාසාදය පැවැති තැන සුද්ධෝදන රජුගේ ප්‍රතිමාව පිහිටුවා තිබෙන විහාරයක් ඇත. මෙයට නුදුරෙන් මායාදේවියගේ සයනය වූ තන්හි විහාරයක් වේ. එය බෝසතුන් කුස පිළිසිඳ ගන්නා අවස්ථාවේ මායා බිසව නිදාගත් තැනය. මේ ප්‍රවෘත්තිය එහි බිත්තියේ සිතියම් කර තිබේ. ශරකූපනම් පොකුණෙන් ලී තිහක් දකුණු නැඟෙනහිරින් පිහිටා ඇත. මේ පොකුණෙන් ලී අසූවක් පමණ ගිය තැන ලුම්බිණි වනය වේ. ලුම්බිණි නම් රාජකුමාරියක නමින් රාජකීය උද්‍යානයට සමීපයෙන් පිහිටි ගමක් ද වේ. මෙම උයන සිද්ධාර්ථ කුමාරයාගේ ජාත භූමිය විය. කපිලවස්තුව හා දෙව්දහනුවර අතර මෙම උද්‍යානය පිහිටා ඇත. අශෝක රජු මේ ස්ථානයට පැමිණ ශිලා ලේඛනයක් ද පිහිටුවා තිබේ.” හියුං-සියැංගේ විස්තරයේ ලුම්බිණි වනයේ ශාක්‍යයන්ගේ නාග පොකුණ වූ බවත් එහි ජලය කැඩපතක් මෙන් පැහැදිලි වන අතර පොකුණෙන් පියවර විසිපහක් පමණ ගිය තැන දිරාගිය අශෝක රුකක් වූ බවත් දක්වයි. මෙහිදී වෙසක්පුර අටවක්දා බෝසතුන් උපන්නේය. ස්ථවිරවාදීහු මෙය පසළොස්වක් යැයි කියති. ලුම්බිණිය හරහා ගලන නදිය තෙල් නදිය යැයි හියූං-සීයෑං දක්වන අතර අද ද ‘තිලාර් නදි’ නමින් මෙම නදිය නම්කර තිබේ.

ලුම්බිණි නාමය හා උයන

මායා දේවියගේ පියා කෝලිය වංශික අංජන රජුය. මව යසෝදරාය. දක්නවුන්ගේ සිත් විලුම්පනය කරන හෙයින් මැය ලුම්බිණි නමින් ප්‍රකට විය. අංජන රජු විසින් සිය දේවියගේ ඉල්ලීම මත මෙම රමණීය උද්‍යානය ඉදිකොට ඇත. එය ලුම්බිණි බිසවට තෑගි ලෙසින් දුන් අතර එතැන් සිට උයන ලුම්බිණි නම් විය. කිඹුල්වත සිට දෙව්දහනුවරට යන මඟ මෙය පිහිටා තිබුණ බව සංස්කෘත සාහිත්‍ය කියයි.

මේ සම්බන්ධව තවත් අදහස් වේ. මෙහි මුල් නම ‘රුග්මිණිදාය’ යන්නයි. ‘රුග්මිණි’ යනු විෂ්ණුගේ භාර්යාවකි. ඇයගේ නමින් ශාක්‍ය කුමාරියක් ද ප්‍රකට වන්නට ඇත. ‘රුග්මිනි’ යනු ‘රුම්මිණි’ විය හැකිය. ‘රුග්මිනි’ යන්නෙන් බිඳී ‘ලුම්මිණි’ හෝ ‘ලුම්බිණි’ යන වදන සැකසුන බැවින් රුක්මිණිදාය රුමින්දායි යනුවෙන් හින්දියට හරවාගෙන තිබෙන බවය. ලුම්බිණි යන්නෙහි අර්ථය (good woman of city)  යන්නයි. ලුම්බිණි දේවි හා රූපදේවි යන්නෙන් ද ඇය හැඳින්වේ. මේ නිසා රුම්මින්ද යන්නෙන් ද ව්‍යවහාරයට පත්ව පසුව ‘ලුම්මෙන්දෙයි’ ලෙස හා ලුම්බිණි යන්නෙන් ව්‍යවහාරයට පත්වන්නට ඇත යන්න ඇතැම්හු විශ්වාස කරති.

ක්‍රි.ව. 406 මෙම ස්ථානයට පැමිණි චීන ජාතික ෆාහියන් හිමියන් මෙම ස්ථානය ලුම්-මින් යනුවෙන් හඳුන්වයි. හියුං-සීයෑං ලා-ෆා-නී (La-Fa-Ni) යනුවෙන් සඳහන් කරයි. ෆො-කිව්-කී (Fo-kewki) ගේ සටහනට අනුව ‘ලුම්බිකනිය’ එක් කළෙක ‘ප්‍රදිමොක්ෂ’ ලෙසින් හඳුන්වනු ලැබූ බව දක්වයි.

සල් වෘක්ෂය හා අශෝක වෘක්ෂය

සිද්ධාර්ථ කුමරු ඉපදුනු වෘක්ෂය ප්ලක්ෂ වෘක්ෂය බව ලලිත විස්තරය කියයි. චීං යුගයේ දී යූඒචී භික්ෂුවක් වන සෙනං-ට්සි (Seng-Tsai)  භික්ෂුව පළමුවෙන් ලුම්බිණියට ආ භික්ෂුව වන අතර උන්වහන්සේ බුදු උපත සිදු වූ අශෝක ගස තවම පවතින බව සඳහන් කරති. ෆාහියන් හිමි දක්වනුයේ අශෝක ගස උන්වහන්සේ එම ස්ථානයට යන විට ද පැවැති බවය. අශෝක රුකක් බව හියුං-සියෑං වාර්තාවේ දැක්වේ. තමා මෙහි පැමිණෙන විට දිරාපත්වන අශෝක වෘක්ෂයක් පැවැති බව ද කියයි. හන් රාජ වංශයට අයත් සුයි-චිං-සූ ග්‍රන්ථය අශෝක වෘක්ෂයට බුද්ධ ජීවිතයේ වැදගත් තැනක් හිමිවන බවත් එමෙන්ම මෙහි පළමු වෘක්ෂය මිය ගිය පසු පැරණි මුල්වලින් එම වෘක්ෂය නැවත හටගත් බවත් දැක්වේ. අශෝකවදානය හා අශොක් රාජ් සූත්‍රය සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය අශෝක ගසක් යට සිදු වූ බව සඳහන් කරයි. දිව්‍යවදානයේ අශෝක රජු සත්‍ය සල්ගස දුටු බව කියයි. කුෂාණ යුගයට අයත් මුර්තියක බුද්ධ උපත දැක්වෙන අතර එහි දැක්වෙනුයේ සල්ගසක් යැයි හන්ටින්ටන් මහත්මිය පෙන්වා දෙයි. සාල වෘක්ෂයක් යට ඉපදුනු බෝසත් උපත දැක්වෙන හුනුගලින් කළ කැටයමක් නාගර්ජුනිකොණ්ඩයෙන් ලැබී තිබේ. කැටයමට නඟා තිබේ.

ඉතිරි කොටස මැයි 21වන දා පත්‍රයේ පළවේ