UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තරුණ වියයි බුදු දහමයි ලිපි මාලාව - 16 ඊර්ෂ්‍යාවෙන් තොර වුවොත් ලැබෙන සම්පත් බහුලයි

තරුණ වියයි බුදු දහමයි ලිපි මාලාව - 16

ඊර්ෂ්‍යාවෙන් තොර වුවොත් ලැබෙන සම්පත් බහුලයි

එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනාථපිණ්ඩික මහ සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි, මල්ලිකාදේවිය භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ නමස්කාර කොට එකත්පසෙක සිටිමින් මේ ලෝකයේ ජීවත්වන කාන්තාවන් පිළිබඳ ප්‍රශ්න කිහිපයක් විවාළේය.

පසුගියදා අපගේ අවධානය යොමුවුයේ මෙත්ත සූත්‍රයේ සඳහන් උපදේශයන් විවාහ ජීවිතයට කෙතරම් අදාළ වන්නේ ද යන්න පිළිබඳව විමසා බැලීමටයි. මෙවර අපගේ අවධානය යොමු වන්නේ අංගුත්තර නිකායෙහි චතුක්ක නිපාත පාලියෙහි ඇතුළත් ‘මල්ලිකෝවාද සූත්‍රයෙහි’ සඳහන් ස්තී‍්‍ර වර්ගීකරණයන් පිළිබඳව විමසා බැලීමටයි.

එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනාථපිණ්ඩික මහ සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි, මල්ලිකාදේවිය භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ නමස්කාර කොට එකත්පසෙක සිටිමින් මේ ලෝකයේ ජීවත්වන කාන්තාවන් පිළිබඳ ප්‍රශ්න කිහිපයක් විවාළේය. එම ප්‍රශ්න මෙසේය.

පළමු ප්‍රශ්නය

ස්වාමිනි, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් දුර්වර්ණ වේද, නපුරු ස්වරූ ඇත්තේ වේද, දැකීමට අපි‍්‍රය බවක් ඇති වේද, දිළිඳු වේද, තමාට හිමි වූ ස්වකීය ධන ධාන්‍ය නැත්තේ වේද, උපභෝග පරිභෝග වස්තු නැත්තේ වේද, ස්වල්ප පිරිවර ඇත්තේ වේද මෙවැනි කාන්තාවන් සිටිති. ස්වාමිනී, මෙසේ වීමට හේතු කවරේද?

දෙවන ප්‍රශ්නය

ස්වාමිනී, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් දුර්වර්ණ වේද, නපුරු ස්වරූප ඇත්තේ වේද, දැකීමට අපි‍්‍රය බවක් ඇති වේද, එහෙත් වස්තුවෙන් ආඪ්‍යවුයේ වේද, ධන ධාන්‍ය ඇත්තේ වේද, උපභෝග පරිභෝග වස්තු ඇත්තේ වේද, මහත් පිරිවරද ඇත්තේ වේද, මෙවැනි කාන්තාවන් ද සිටිති. ස්වාමිනි,මෙසේ වීමට හේතු කවරේද?

තෙවන ප්‍රශ්නය

ස්වාමිනී, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් මනා රූප ඇත්තේ වේද, දැකීමට පි‍්‍රයවුයේ වේද, යද, සතුට ගෙනදෙන්නේ වේද, දැකුම්කලු වර්ණයෙන්, සෞන්දර්යයෙන් යුක්ත වේද, දිළිඳු වූයේ වේද, එහෙත් ධන ධාන්‍ය රහිත වූයේ වේද, භෝග නැත්තේද,මහා බලවන්තියක් නොවූයේ වේද, මෙවැනි කාන්තාවන් ද සිටිති. ස්වාමීනි, මෙසේ වීමට හේතු කවරේද?

සිව්වන ප්‍රශ්නය

ස්වාමිනී,මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් මනා රූප ඇත්තේ වේද, දැකීමට පි‍්‍රයවූයේ වේද, යද, සතුට ගෙනදෙන්නේ වේද, දැකුම්කලු වර්ණයෙන්, සෞන්දර්යයෙන් යුක්ක වේද, වස්තුවෙන් ආඪ්‍යවූයේ වේද, ධන ධාන්‍ය ඇත්තේ වේද, උපභෝග පරිභෝග වස්තු ඇත්තේ වේද, මහත් පිරිවරද ඇත්තේ වේද, මෙවැනි කාන්තාවන් ද සිටිති. ස්වාමිනී, මෙසේ වීමට හේතු කවරේද?

බුදුරජාණන් වහන්සේගේ පිළිතුරු

මල්ලිකාවනි, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් ක්‍රෝධ කරන්නී වේද, කිපීම බහුලකොට ඇත්තී වේද, ස්වල්පයක් කියන ලද්දීම එයම නිමිති කොටගෙන එහිම ළඟයිද, කීපෙයිද, නියමභාවය අත්හරීයිද, තද බවට පැමිණෙයිද, කෝපයද, ද්වේෂයද, නොසතුටද පහළ කරයිද, ඇය ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ ආහාරපාන, වස්තු, යානා, මල් සුවඳ, විලවුන්, සයන, ආවාස, පහන් නොදෙන්නී වේද, ඊර්ෂ්‍යාවෙන් යුත් සිත් ඇත්තී වේද, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර,සැළකිලි, වැඳීම් පිඳීම් ආදියෙහි ඊර්ෂ්‍යාකරයිද, තරහ ගනීද, ඊර්ෂ්‍යාව බඳීද,ඉදින් ඇය ඉන් චුතවුයේ,මේ ආත්ම භාවයට පැමිණියේ වේද, ඇය යම් යම් තැනෙක්හී උපදීද, දුර්වර්ණ වූයේ, නපුරු ස්වරූප ඇත්තේ දැකීමට අපි‍්‍රය වූයේ දිළිඳු වූයේ ස්වකීය වූ ධන ධාන්‍ය නැත්තේ, උපභෝග පරිභෝග වස්තු නැත්තේ, ස්වල්ප පිරිවර ඇත්තේ වෙයි. මෙය ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා, මල් සුවඳ, විලවුන්,සයන,ආවාස, පහන් නොදීමෙහි ඊර්ෂ්‍යා කිරීමෙහි, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම් පිඳිම් ආදියෙහි ඊර්ෂ්‍යා කිරිමෙහි තරහ ගැනීමෙහි ඊර්ෂ්‍යා බැඳීමෙහි විපාකයි.

මල්ලිකාවනි, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් ක්‍රෝධ කරන්නී වේද, කිපීම බහුලකොට ඇත්තී වේද, ස්වල්පයක් කියන ලද්දීම එහිම ලැගෙයිද, කිපෙයිද,නියමභාවය අත්හරියද, තද බවට පැමිණෙයිද, කෝපයද, ද්වේෂයද, නොසතුටද, පහළ කරයිද,ඇය ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා, මල්,සුවඳ විලවුන්, සයන, ආවාස, පහන් දෙන්නී වේද, ඊර්ෂ්‍යා යුත් සිත් නැත්තේ වේද, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම්, පිඳීම් ආදියෙහි ඊර්ෂ්‍යා නොකරයිද ද්වේෂ නොකරයි ද ඊර්ෂ්‍යා නොබඳී ද, ඉදින් ඇය ඉන් චුතවුයේ,මේ ආත්ම භාවයට පැමිණියේ වේද, ඇය යම් යම් තැනෙක්හී උපදීද, දුර්වර්ණ වූයේ නපුරු ස්වරූපයද, දක්නට අපි‍්‍රයබව ඇත්තේ නමුත්, වස්තු වෙන් ආඪ්‍යවුයේ ද ධන ධාන්‍ය ඇත්තේවේද, උපභෝග පරිභෝග වස්තු ඇත්තේ වේද,මහත් පිරිවර ඇත්තේ ද වෙයි.

මෙසේ ඇය දුර්වර්ණ වන්නේ, නපුරු වන්නේ, දැකීමට අපි‍්‍රය වන්නේ, ක්‍රෝධ කිරීමෙහී, බහුලකොට කිපීමෙහි, ස්වල්පයක් කියන ලද්දේ එහිම ලැගගෙන සිටීමෙහි, තද බවට පත්වීම ආදියෙහි විපාක වශයෙනි. එහෙත් ඇය ශ්‍රමණයන්ට හෝ බ්‍රහ්මණයන්ට හෝ ආහාරපාන, වස්තු,යානා, මල් සුවඳ විලවුන්,සයන, ආවාස, පහන් දීමෙහි, ඊර්ෂය්‍යාවෙන් යුත් සිත් නැත්තේ වේද, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම්, පිඳීම් ආදියෙහි ඊර්ෂ්‍යා නොකිරිමෙහි, ද්වේෂ නොකිරීමෙහි, ඊර්ෂ්‍යා නොබැඳීමෙහි විපාක නිසා වස්තු වෙන් ආඪ්‍යවූයේ ද,ධන ධාන්‍ය ඇත්තද, උපභෝග පරිභෝග වස්තු ඇත්තේද, මහත් පිරිවර ඇත්තේ ද වෙයි.

මල්ලිකාවනි, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් ක්‍රෝධ නොකරන්නී වේද, ක්‍රෝධ බහුලකොට නැත්තේ, බොහෝ කීවත් එහි නොලැගෙයිද, නොකිපෙයිද, ප්‍රකෘතිභාවය අත් නොහරියිද, තද බවට නොපැමිණෙයිද, කෝපයද, ද්වේෂයද, නොසතුටද ප්‍රකාශ නොකරයිද, එහෙත් ඇය ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා,මල් සුවඳ විලවුන්, සයන, ආවාස, පහන් නොදෙන්නී වේද, ඊර්ෂ්‍යාවෙන් යුත් සිත් ඇත්තේ වේද, අනුන්ගේ ලාභ සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳිම්,පිඳීම් ආදියෙහි ඊර්ෂ්‍යා කරයි ද, ද්වේෂ කරයිද, ඊර්ෂාව බඳියිද,

ඉදින් ඇය ඉන් චුතවුයේ, මේ ආත්ම භාවයට පැමිණියේ වේද, ඇය යම් යම් තැනෙක්හී උපදීද, මනා රූ ඇත්තේ වෙයි. දැකීමට පි‍්‍රය වෙයි. ප්‍රසාද එළවයි. දැකුම්කලු වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වෙයි. එහෙත් ඇය දිළිඳු වෙයි. තමාගේයැයි කියා යමක් නැත්තේ වෙයි. භෝග නැත්තේ වෙයි. පිරිවර නැත්තේ වෙයි.

ඇය මනා රූ ඇත්තේ, දැකීමට පි‍්‍රය ඇත්තේ ප්‍රසාද එළවන්නේ, දැකුම්කලු වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වන්නේ ක්‍රෝධ නොකිරීමෙහී, ක්‍රෝධ බහුලකොට නොකිරීමෙහි, බොහෝ කීවත් එහි නොලැගීමෙහි, නොකිපීමෙහි, ප්‍රකෘතිභාවය අත් නොහැරීමෙහි, තද බවට නොපැමිණීමෙහි, කෝපයද, ද්වේෂයද, නොසතුටද ප්‍රකාශ නොකිරීමෙහි විපාකයි. ඇය දිළිඳු වන්නේ, තමාගේයැයි කියා යමක් නැත්තියක් වන්නේ, භෝග තැත්තියක් වන්නේ, පිරිවර නැත්තියක් වන්නේ ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා, මල් සුවඳ විලවුන්, සයන, ආවාස, පහන් දීමෙහි, ඊර්ෂ්‍යාවෙන් යුත් සිත් ඇත්තියක් වීමෙහි, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම්,පිඳීම් ආදියෙහි ඊර්ෂ්‍යා කිරිමෙහි ද්වේෂ කිරීමෙහි, ඊර්ෂ්‍යාව බැඳීමෙහි විපාක වශයෙනි.

මල්ලිකාවනි, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් ක්‍රෝධ නොකරන්නී වේද, ක්‍රෝධ බහුලකොට නැත්තේ, බොහෝ කීවත් එහි නොලැගෙයිද, නොකිපෙයිද, ප්‍රකෘතිභාවය අත් නොහරියිද, තද බවට නොපැමිණෙයිද, කෝපයද, ද්වේෂයද, නොසතුටද ප්‍රකාශ නොකරයිද, එමෙන්ම ඇය ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා, මල්, සුවඳ විලවුන්, සයන, ආවාස, පහන් දෙන්නී වේද, ඊර්ෂ්‍යාවෙන් යුත් සිත් නැත්තේ වේද, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැලකිලි, වැඳීම්,පිඳිම් ආදියෙහි ඊර්ෂ්‍යා නොකරයිද, ද්වේෂ නොකරයි ද ඊර්ෂ්‍යා නොබඳී ද, එහි විපාක වශයෙන් ඉදින් ඇය ඉන් චුතවුයේ, මේ ආත්ම භාවයට පැමිණියේ වේද, ඇය යම් යම් තැනෙක්හී උපදීද, මනා රූ ඇත්තේ වෙයි. දැකීමට පි‍්‍රය වෙයි. ප්‍රසාද එළවයි. දැකුම්කලු වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වූයේ වෙයි. එමෙන්ම සම්පත් වලින් ආඪ්‍යවුයේ ද, ධන ධාන්‍ය ඇත්තේද, උපභෝග පරිභෝග වස්තු ඇත්තේ වේද, මහත් පිරිවර ඇත්තේ ද වෙයි.

එබැවින් යම් ස්ත්‍රියක් ඇතැම් ස්ත්‍රියක් ක්‍රෝධ නොකරන්නී වේද, ක්‍රෝධ බහුලකොට නැත්තේ, බොහෝ කීවත් එහි නොලැගෙයිද, නොකිපෙයිද, ප්‍රකෘතිභාවය අත් නොහරියිද, තද බවට නොපැමිණෙයිද, කෝපයද, ද්වේෂයද,නොසතුටද ප්‍රකාශ නොකරයිද, මතු උපදින භවයෙහි මනා රූ ඇත්තේ වෙයි. දැකීමට පි‍්‍රයවෙයි. ප්‍රසාද එළවයි,දැකුම්කලු වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වූයේ වෙයි. ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ ආහාරපාන,වස්ත්‍ර,යානා, මල් සුවඳ විලවුන්, සයන, ආවාස, පහන් දෙන්නී වේද, ඊර්ෂ්‍යාවෙන් යුත් සිත් නැත්තේ වේද, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම්, පිඳීම් ආදියෙහි ඊර්ෂ්‍යා නොකරයිද, ද්වේෂ නොකරයි ද ඊර්ෂ්‍යා නොබඳී ද එහි විපාක වශයෙන් ඇය මතු උපදින භවයන් හි සම්පත් වලින් ආඪ්‍යවුයේ ද, ධන ධාන්‍ය ඇත්තේද වේ. උපභෝග පරිභෝග වස්තු ඇත්තේ ද වේද, මහත් පිරිවර ඇත්තේද වෙයි.

මතු සම්බන්ධයි


තරුණ වියයි බුදු දහමයි ලිපි මාලාව - 15 යහපත් විවාහ දිවියකට මෙත්ත සූත්‍රයෙන් උපදෙස්

 

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය මැයි මස 06 වැනි දා අඟහරුවාදා අපරභාග 07.34 ට ලබයි.
07 වැනිදා බදාදා අපර භාග 09.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 07 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
මැයි මස 14 වැනි දා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 07

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]