Print this Article


ත්‍රිලක්ෂණය

ත්‍රිලක්ෂණය

අනවබෝධය නිසා ඇතැම් අය කිසිදු උත්සාහයක් නොකොට තම කටයුතු පසක දමා කුසීතව මන්දගාමීව කල්පනා කරයි. සෑම දෙයක්ම ස්ථිර නැතැයි ‘අනිච්ච’ යන පදය අරුත් වරදවාගෙන මෙලොව පරලොව උභය දියුණුවට අවැසි මඟ අප්‍රමාදව සිදුනොකර පිරිහීමට පත්වෙයි.

ලොව පරම සත්‍යවන්නේ ත්‍රිලක්‍ෂණයයි. එහි වාදයක් ඇති කර ගත යුතු නොවන්නේය. එය තථාගතයන් වහන්සේලාගේ දේශනාවයි. ලොව සනාථන ධර්මය එය වන්නේ ය. ඒ පිළිබඳව භාරත සමාජයේ අනිච්ච ධර්මතාවය පිළිබඳ වගකීමක් නොමැති නිසා විවිධ මත ඇතිකරගත්හ. මේ සෑම මතයක්ම ඇතිවන්නේ අවිද්‍යාව නිසාවෙනි.

තථාගතයන් වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මයට මනා ලෙස සිතින් යුතුව ගෞරවයෙන් දෙසවන් යොමුකොට ගෙන ධර්ම ශ්‍රවණය කිරීමෙන් සසර කුසල් වැඩූ ශ්‍රාවක පිරිස් පරම සත්‍යය දහම අවබෝධ කරගත්තාහ. බුදුදහම අසුභවාදී දර්ශනයක් නොවේ. අවිඳු අඳුර දුරුකොට යථාර්ථය තුලින් සත්‍ය දහම ප්‍රත්‍යක්‍ෂ කර සදා ගිනි නිවා සුවපත් භාවයට පත් කරන දහමකි. ‘අනිච්ච’ ධර්මතාවය මිනිසා සකී‍්‍රය කොට මිථ්‍යා දෘෂ්ඨිය ඛණ්ඩනය කොට සම්මා දිට්ඨියට පත්කොට ජරා මරණ ආදී සකල දුකින් නිදහස් වීමට මඟ හෙළිදරව් කරයි.

අනවබෝධය නිසා ඇතැම් අය කිසිදු උත්සාහයක් නොකොට තම කටයුතු පසෙක දමා කුසීතව මන්දගාමීව කල්පනා කරයි. සෑම දෙයක්ම ස්ථිර නැතැයි ‘අනිච්ච’ යන පදය අරුත් වරදවාගෙන මෙලොව පරලොව උභය දියුණුවට අවැසි මඟ අප්‍රමාදව සිදුනොකර පිරිහීමට පත්වෙයි.

”සබ්බේ සංඛාරා අනිච්චාති” පදයෙන් අදහස් වන්නේ සකස් වූ හෝ සකස් කළා වූ යම් දෙයක් කැමැති පරිදි අඛණ්ඩව නොපැවතීම ධර්මතාවයයි. එමනිසා සංඛාරයන් කැමැති පරිදි කැමැති ආකාරයෙන් නොපැවතීම (තමා වසඟයේ පවත්වා ගැනීම) දුකට හේතු වේ. හටගැනීම, පැවතීම, විනාශවීම, විපරිණාමයට පත්වීම පොදු ලක්‍ෂණය වන්නේ ය. යමෙක් කැඩෙන බිඳෙන සුළුද, අභාවයට පත්වේද එය අනාථ වේ. එනම් දුක්ඛ ලක්ෂණය තුළින් අනත්ථ ලක්ෂණයම ප්‍රකට වේ. එමනිසා තථාගතයන් වහන්සේ “සබ්බේධම්මා අනත්තාති” ලෙස තෙවන ලක්‍ෂණය දේශනා කළ සේක.

මෙහිදී ලොව්තුරා බුදුන් වහන්සේ ලෝකයාට පෙන්වා දුන්නේ අනාථ යමක් ඇද්ද ඒ පිළිබඳ තෘෂ්ණාව දෘෂ්ඨිය, මානය දුරින්ම දුරු කරයිද, අත්හැරීම සිදු කරයිද නූපදීම පිණිස ව්‍යාධිය කරයිද එය පරම සැපය වන බවයි.

හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් යමක් පි‍්‍රයභාවයෙන් සාරභාවයෙන්, දැඩිකොට ගැනීම දුක්ඛ උපදවන්නේය, සාමාන්‍ය අශ්‍රැතවත් පුහුදුන් සත්ත්වයාගේ ස්වභාවය’ අනිච්ච’ දෙයම කැමැති පරිදි පවත්වාගැනීමට උත්සාහ කිරීම ය. ඒ තුළින් සැපය පහවී දුකට උරුම ගත්තේය. සංඛත වූ යමක් ඇද්ද එහි දුක්ඛ ලක්‍ෂණය හටගත්තේය. අනාථ ලක්‍ෂණය ප්‍රකට වන්නේය. ඇස දුකක් බව ලොව්තුරා බුදුන් වහන්සේ දේශනා කොට වදාළ සේක. එහෙත් පුහුදුන් සත්ත්වයා ඒ කෙරෙහි තෘෂ්ණා, දෘෂ්ඨි , මාන අහංකාර ඇති කරගෙන අකුසල් කරගනී. ආශ්‍රැතවත් පෘථග්ජනයෝ අසද්පුරුෂ ධර්මයන් ම කරති. ඇසට අරමුණු වන රූපයන් කෙරෙහි ඇලීම, දෝමනස්ස ඇතිකරගෙන කෙලෙස් වලින් සිත තෙත් කරගනිති. කෙලෙස් වලින් ග්‍රහණය වූ සත්ත්වයා වැඩිමනක්ම පව් රැස්කරති. කලහ, අවිආයුධ රැගෙන ඔවු නොවුන් අත් පා සිඳ ගනිති. මරණය ද පමුණුවා ගනිති. ලෝභය, ද්වේශය, මෝහය තරම් මිනිස් සිත සතර අපාදි දුකට පත්කරවන තවත් අකුසල මූලයක් නැත්තේය. මෙහි බියකරු භාවය නොදත් කම නිසා ආනන්තර්ය කර්ම පස ද කොට කල්ප ගණන නිරයාදි අපා දුක්ඛයට ද වැටෙන්නේ ය. මෙහි විඳීන දුක මෙපමැණැයි කිව නොහැක. පින්කම් කොට දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම සම්පත්ති ලැබුවත් එම ආත්මභාවයන් හී පිරිහීලා නැවැත සතර අපායටද වැටෙති. අවිද්‍යාව ප්‍රත්‍ය කොට සංඛාර කරන තෙක් සසරට වැටී දුකින් දුකටම පත්වන්නේය.

‘අනිච්ච’ පද තුළ අන්තර්ගතවන දුගති ලක්‍ෂණය තේරුම් කර ගැනීමට උත්සාහවත් වෙමු. එවිට සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය තේරුම් ගෙන ලෝභ, ද්වේෂ, මෝහ, මූලයන් ක්‍රම ක්‍රමයෙන් අඩුකරගෙන විදසුන් නුවණින් ලොව්තුරු දහම අවබෝධ කර ගැනීමට පුළුවන. දුක්ඛා ආර්ය සත්‍යය තථාගතයන් වහන්සේ ඉතා පැහැදිලිව කරුණාවෙන් මෙසේ දේශනා කළ සේක.

ඉදං ඛො පන භික්ඛවේ දුක්ඛං අරිය සච්චං? ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා, අප්පියෙහි සමප්යොගො දුක්ඛා, පියෙහි විප්පයොගො දුක්ඛා, යම්පිච්ඡංන ලභති තම්පි දුක්ඛං,

‘ඇස පහළ වුණා. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් ලෝකයේ යථාර්ථය බලන්න. කවරේද? ඇස හටගැනීම දුකයි. එමනිසා ජරාවට පත්වීම ලෙඩවීම මරණයට පත්වීම, අපි‍්‍රය වූවන් කෙරෙහි විසීම, පි‍්‍රයමනාපි අයගෙන් වෙන්වීම, යමක් කැමැති ද එය නොලැබීම, සංක්ෂිප්ත වශයෙන් (හකුළුවන) පඤ්ච උපාදානස්කන්ධයෝම දුක් වන්නාහුය.

වයස් භේදයකින් තොරව උපන් සත්ත්වයාට දුකම හැර සැපයක් නොවන්නේ ය. එම නිසයි ළදරුවා දේවදූතයෙක් වන්නේ. වයස් ගත වූ අයට පමණක් නොව ශාරීරික පෙළීම පීඩාව ඇතිවන්නේ කුඩා ළදරු තරුණ, ලස්සන,කැත, උස මහත, හීන, ප්‍රණීත, බඩගින්න, මුත්‍රා මළපහකිරීම (කැසිකිළි වැසිකිළි ) ආදි කොට ඇති දෝෂයන් කරණ කොටගෙන විපරිණාමය සැම විටම සිදුවෙනු ඇත. එය පුහුදුන් ලෝකයාට වටහා ගැනීමට අපහසුයි. එකී උෂ්ණය නැතිවීමට දහඩිය වෙව්ලීම ක්ලාන්ත ගතිය කුමන වයස් පරතරයක වුණත් පොදුවේ දුක හට ගන්නේය. එසේනම් සතර මහා ධාතූන්ගේ පහළවීමක් සිදු වූවාද, ඒ තුළ ත්‍රිලක්‍ෂණය කාහටත් බැහැර කළ නොහැකි බව මනාව තේරුම් කර ගත යුතුය. රාහුලෝවාද සූත්‍රය ඇසුරෙන්ද ත්‍රිලක්‍ෂණය මෙනෙහි කොට අවිද්‍යාව දුරු කරගෙන විද්‍යාව (දහම් ඇස) පහළවන ආකාරය සලකා බලමු. බුදුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සේක, එහිදී රාහුල තෙරුන්ගේ රහත් භාවයට ඇවැසි ප්‍රඥාව මුහුකුරාගොස් ඇතිබවත් (මෝරා ඇති බව) මහ රහත් බැව්හි හික්මවන්නෙමි යි සිතිවිල්ලක් පහළ විය. තමන් වහනසේගේ පුතුණුවන්ට සැලැසෙන සෙත කෙතරම් වටින්නේද? ඔබ තම දරුවන්ට සලස්වන ‘දැක්ම’ කුමක්ද කියා සිතා බලන්න.

භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැද පෙරව පාසිවුරු ගෙන සැවැත්නුවර පිඩු පිණිස වැඩම කළ සේක. ආයුෂ්මත් රාහුල තෙරුන් ඇමතූ සේක. රාහුලය, නිසිදනය ගනුව, දිවා විහරණය පිණිස අන්ධ වනය වෙත එළඹෙන්නෙමු’යි එසේය වහන්ස යැයි පිළිතුරු දී නිසිදනය ගෙන පසු පස ගමන් කෙළේය. (වැඩම කළේය) මේ අවස්ථාවේදී දහස් ගණන් දෙවියෝද සිතිවිල්ල දැන, අද භාග්‍යවතුන් වහන්සේ රාහුල තෙරුන් මහ රහත් වැනි හික්මවන්නාහ’යි බුදුන් වහන්සේ අනුගමනය කෙරෙතියි සතුටු වූවා හ.

තථාගතයන් වහන්සේ වැඳ රාහුල තෙරණුවෝ එකත් පස හුන්නේය. රාහුලය, චක්ඛුං නිච්චං වා අනිච්චං වා ති? ඇස කැමැති පරිදි හෝ කැමැති පරිදි නොවන්නේ ද? අනිච්චං භනේන. කැමැති පරිදි ඇස නොපවතියි භාග්‍යවතුන්වහන්ස, යමක් ‘අනිච්ච’ නම් දු:ඛ වේද, භාග්‍යවතුන්වහන්ස, දාති යැ ම වන්නේය. යමක් අනිච්ච නම් දු:ඛ නම් විපරිණාමයට (ජරාව්‍යාධි මරණ) පත්වන්නේ නම් එය මාගේය. මම වෙමි. මාගේ වසඟයෙහි ඇතැයි දක්නට නිසිවේද? තෙල භාග්‍යවතුන් වහන්සේ , නිසි නොවේමය. මෙසේ රූපයේ , චක්ඛු විඤ්ඤාණය, චක්ඛු සම්පස්සය, චක්ඛු සම්පස්සය නිසා හටගත් ති‍්‍රවිධ වේදනාවෙන්, සංඥාවෙන්, සංස්කාරයෙක්, විඥානයෙන් උපදී නම් කැමැති පරිදි පවතින්නේද නැතහොත් කැමැති පරිදි නොපවතින්නේ ද? භාග්‍යවතුන් වහන්ස,, කැමැති පරිදි නොපවතින්නේ ය. යමෙක් අනිච්ච නනම් සැප දුකද? දුකම වන්නේ. එසේනම්, යමෙක් අනිච්ච වේද, දුක්ඛ වේද, විපරිණාමයට පත්වන්නේ නම් එය මාගේය, මම වෙමි, මගේ වසඟයෙහි දක්නට සුදුසුද? නොවෙමය. භාග්‍යවතුන්වහන්ස මෙලෙස කන, නාසය, දිව, කය, සිත, දහම් මනෝ විඤ්ඤාණය, මනෝ සම්ඵස්සය, මනෝ සම්පස්සයො උපන් ත්‍රිවිධ වේදනාවෙන්, සංඤාවෙන්, සංස්කාරයෙක්, විඥානයෙන් උපදී නම් එය නිච්චද, අනිච්චද? අනිච්ච වන්නේ ය. අනිච්ච යමෙක් වේ නම් සැප හෝ දුක් වන්නේ ද? භාග්‍යවතුන් වහන්ස දුකමවන්නේය. සැපයක් නොවන්නේමය. එසේනම් යමෙක් අනිච්චනම්, දුක්ඛ නම්, විපරිණාමයට පත්වන්නේ නම් මාගේය, මම වෙමියි, මගේ වසඟයෙහි ඇතැයි දක්නට සුදුසු වේද?

භාග්‍යවතුන් වහන්සේ මෙය නොවේමය

රාහුලය, මෙසේ දක්නා ශ්‍රැතවන් ආර්ය ශ්‍රාවකයා ඇස ආදී සියල්ලෙහිම කල කිරෙයි. නො ඇලෙයි. මිදෙයි, මිදුනු කල්හි මිදුණෙමියි දැකීම වෙයි. ඉපැදීම ගෙවෙයි. මඟ බඹසර (ආර්ය අෂ්ඨාංගික මාර්ගය) වැස නිමවෙයි. කළ යුතු දේ කරන ලදී. මතුවට යමක් පිණිස නැතැයි දැනගනි යි.

භාග්‍යවතුන් වහන්සේ මෙසේද වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මන් රාහුල තෙරණුවෝ දේශනා පිළිගත්තේ ය. දේශනාව අවසන් හි රාහුල තෙරුන්ගේ සිත උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් මිදුණේය. මහරහත් භාවයට පත්විය. දහස් ගණන් දෙවියන්ට ද යම් කිසිවක් හටගන්නා සුළු නම් ඒ සියල්ල නැසෙන සුලු ය’යි කෙලෙස් රජස් නැති, (කෙලෙසුන්ගෙන් මිදුණු) දහම් ඇස පහළ විය.

මෙසේ අසාර වන, අනාථ වන ඇස, කන, ආදී ආයතන සයෙහි බිය කරු භාවය නුවණින් මෙනෙහිකොට තම දරුවන්ටද එහි ආදීනව කියාදෙමින් අනාථ වන අනාථතත්ත්වයට පත්වෙන දේ අත්හැර, තෘෂ්ණාදියෙන් නොඇලී මාර බන්ධනයෙන් මිදීමට කුඩා කල සිටම දරුවෝ ද උත්සාහ දරනු ඇත. ඒ සඳහා දයාවෙන්, අනුකම්පාවන් ඇති යමෙක් තම දරුවන්ටද, ලෝකයාට නිවැරිදි වූ සත්‍ය වූ මෙම දහම් කියාදෙන්නේ නම් දෙපාර්ශ්වය ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව කරන ඇත්තෝ වන්නාහ.