Print this Article


කතරගම කිරිවෙහෙරේ පින්කම්

කතරගම කිරිවෙහෙරේ පින්කම්

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති අපවත් වී වදාළ ඌව විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ 71 වන ජන්ම දිනය නිමිත්තෙන් කතරගම කිරිවෙහෙර රාජමහ විහාරස්ථානයේ දී අප්‍රේල්  මස 05 දින ගුණ සමරු පින්කම් කටයුතු දවස පුරා පැවැත්වීමට කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව කටයුතු සංවිධානය කර ඇත.

කිරිවෙහෙර රාජ මහා විහාරය ඉදිරිපිට ඇති ප්‍රධාන ශාලාවේ පහල මාලයේ හා උඩමාලයේ දේශීය හා විදේශීය විශේෂඥ වෛද්‍ය සායනය පැවැත්වෙන අතර ලේ දන්දීමේ වැඩසටහන ද මෙම ස්ථානයේම ජාතික ලේ බැංකුවේ අනුග්‍රහයෙන් පැවැත්වේ.

අභිනවයෙන් ඉදිකරන ලද මුළුතැන්ගේ හා නව වැසිකිළි සංකීර්ණය ද මෙදින විවෘත කෙරේ. අඩු ආදායම් ලාභි පවුලක් වෙනුවෙන් ඉදිකරන ලද නව නිවාසය එම පවුලේ අයට බාරදීම සිදු කෙරේ. මෙදින දහවල් ශතාධික මහා සංඝරත්නය වෙනුවෙන් මහා දානය සහ අටපිරිකර පූජාව ද පාසල් යන දරුවන් 500 කට පොත්පත් බෙදාදීම සිදු කෙරේ. අනතුරුව කිරිවෙහෙර රාජමහා විහාර දාන ශාලාවේ මහා බත් දන්සැල පැවැත්වේ.

අපවත් වී වදාළ කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ඌව විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ට පින් අනුමෝදන් කැරවීම සිදු කෙරේ.