UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තරුණ වියයි බුදු දහමයි ලිපි මාලාව - 12 පතිකුලයට යන කුමරියන්ට බුදු දහමෙන් උපදෙස්

තරුණ වියයි බුදු දහමයි ලිපි මාලාව - 12

පතිකුලයට යන කුමරියන්ට බුදු දහමෙන් උපදෙස්

ඔබලාගේ වැඩ කැමැති වන්නා වූ සිත කැමැති වන්නා වූ අනුකම්පා ඇත්තාවූ මාපියෝ අනුකම්පා පිණිස යම් ස්වාමියෙකුට විවාහකර දෙන්නේ ද එහිදී ඔබලා ඒ ස්වාමියා කෙරෙහි මෙසේ හැසිරිය යුතුය. එනම් සැමට පළමුව උදෑසනම අවදි විය යුතුය. සියල්ල සොයා බලා සැමට පසුව නින්දට යා යුතුය. කරන කියන සෑම දෙයක්ම ස්වාමියාගේ අනුමැතිය ඇතිවම කළ යුතුය. ස්වාමියාගේ සිත ගන්නා ලෙස හැසිරිය යුතුය.ස්වාමියාට පි‍්‍රය උපදවන වචනම කතා කළ යුතුය. තම ස්වාමියා කෙරෙහි මෙසේ පිළිපඳින තැනැත්තියගේ දියුණුව ඇති වේ

පසුගියදා අපගේ අවධානය යොමු වූයේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ ඇතුළත් සත්ත භරියා සූත්‍රයෙහි සඳහන් භාර්යා වර්ගීකරණයන් හඳුනා ගැනීමට ය. මෙවර අපගේ අවධානය යොමුවන්නේ අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ එන උග්ගහ සූත්‍රය වෙතටයි. එහි සඳහන් වන්නේ පතිකුලයට පැමිණෙන කුමරියන්ට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ උපදෙස් මාලාවකි. එම උපදේශයන් සාර්ථක විවාහ දිවියකට බෙහෙවින් උපකාර වේ. මෙතැන් සිට එම උපදේශයන් විමසා බලමු.

එක් කලක බුදුරජාණන් වහන්සේ භද්දිය ජනපදයට අයත් ජාති ස්වයංජාත නම් වනයෙහි වාසය කරන කාලයේ මෙණ්ඩක සිටුතුමාගේ මුණුබුරු වූ, උග්ගහ ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ගරුසත්කාර කොට වැඳ එකත්පසෙක සිට, පසු දින තම නිවසෙහි දානය සඳහා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේය. එය නිශ්ශබ්ද තාවයෙන් ඉවසූ බුදුරජාණන් වහන්සේ පසුදින දානයට වැඩම කළහ. උග්ගහ ගෘහපතිතුමා ප්‍රණීත ආහාරපානාදියෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහසඟනට උපස්ථාන කළේය. දන් වළඳා අවසන් වූ බුදුරජාණන් වහන්සේට උග්ගහ ගෘහපතිතුමා විවාහයට යන තම දූ කුමාරිකාවන්ට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් ඔවුන්ට බොහෝ කල් හිත සුව පිණිස පවතින ධර්ම දේශනාවක් කරන ලෙස බුදුරජාණන් වහන්සේගෙන් ඇයද සිටියි. ඊට පසු බුදුරජාණන් වහන්සේ විසින් විවාහයට යන කුමාරිකාවන්ට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් එම ධර්ම දේශනාව සිදු කළහ.

තස්මාතිහ, කුමාරියො, එවං සික්ඛිතබ්බං යස්ස වො මාතාපිතරො හත්තුනො දස්සන්ති අත්ථකාමා හිතෙසිනො අනුකම්පකා අනුකම්පං උපාදාය, තස්ස භවිස්සාම පුබ්බුට්ඨායිනියො පච්ඡානිපාතිනියො කිංකාරපටිස්සාචිනියො මනාපවාරිනියො පියවාදිනියො ‘ති . එවඤ්හි වො, කුමාරියො, සික්ඛිතබ්බං

කුමාරිකාවනි, මෙහිලා ඔබලාගේ වැඩ කැමැති වන්නා වූ සිත කැමැති වන්නා වූ අනුකම්පා ඇත්තාවූ මාපියෝ අනුකම්පා පිණිස යම් ස්වාමියෙකුට විවාහකර දෙන්නේ ද එහිදී ඔබලා ඒ ස්වාමියා කෙරෙහි මෙසේ හැසිරිය යුතුය. එනම් සැමට පළමුව උදෑසනම අවදි විය යුතුය. සියල්ල සොයා බලා සැමට පසුව නින්දට යා යුතුය. කරන කියන සෑම දෙයක්ම ස්වාමියාගේ අනුමැතිය ඇතිවම කළ යුතුය. ස්වාමියාගේ සිත ගන්නා ලෙස හැසිරිය යුතුය.ස්වාමියාට පි‍්‍රය උපදවන වචනම කතා කළ යුතුය. තම ස්වාමියා කෙරෙහි මෙසේ පිළිපඳින තැනැත්තියගේ දියුණුව ඇති වේ.

ය තෙ භත්තු ගරුනො භවිස්සන්ති මාතාති වා පිතාති වා සමණබ්‍රාහ්මණාති වා, තෙ සක්කරිස්සාම ගරුං කාරිස්සාමි මානෙස්සාමි පූජෙස්සාමි අබිභාගතෙව ආසනොදකෙන පටිපූජෙස්සාමා’ති .එවඤ්හි වො, කුමාරියො, සික්ඛිතබ්බං

කුමාරිකාවනි, තම ස්වාමියාගේ මව, පියා, මහණ බමුණන් ගරු සත්කාර කළ යුතු අය තම නිවසට පැමිණේද ඔවුන් කෙරෙහි මනා ලෙස හැසිරිය යුතුය. ඔවුන්ට ගරුකළ යුතුය. සත්කාර කළ යුතුය. බුහුමන් කළ යුතුය. පූජා කළ යුතුය. ළඟට පැමිණි අයට ආසන පනවා දිය යුතුය. ජලය පිළිගැන්විය යුතුය.මේ අයුරින් තම නිවසට පැමිණෙන අයට සංග්‍රහ කළ යුතුය.

යෙ තෙ භත්තු අබ්හන්තරා කම්මන්තා උණ්ණාති වා කප්පාසාති වා,තත්ථ දක්ඛා භවිස්සාම අනලසා, තත්රූපායාය, වීමංසාය සමන්නාගතා, අලං කාතුං අලං සංවිධාතු’න්ති. එවඤ්හි වො, කුමාරියො සික් ඛිතබ්බං

කුමාරිකාවනි, තම ස්වාමියාගේ යම් කටයුතු කර්මාන්ත වෙත් ද ඒවායෙහි අලස නොවී සොයා බැලිය යුතුය. විමසිය යුතුය. තමාගේ උපාය නුවණින් ඒවා දියුණු කිරීම සඳහා ස්වාමියාට සහාය විය යුතුය.සියලු කටයුතු සංවිධානය කිරීමේ දක්ෂව කටයුතු කළ යුතුය.

යො සො භත්තු අබ්භන්තරො අන්තොජනො දාසාති වා පෙස්සාති වා කම්මකරොනි, වා තෙසං කතඤ්ච කතනො ජානිස්සාමි අකතඤ්ච අකතතො ජානිස්සාම, ගිලානකානඤ්ච බලාබලං ජානිස්සාම, ඛාදනීයං හොස්නියඤ්චස්ස පච්චංසෙන සංවිහජිස්සාමා . එවඤ්හි වො කුමාරියො සික්ඛීතබ්බං

කුමාරිකාවනි, තම ස්වාමියාගේ කර්මාන්තවලට සහාය වන මෙහෙකරුවෝ වෙත්ද පණිවුඩකරුවෝ වෙත්ද වෙනත් අයුරකින් තම ස්වාමියාට උදව් උපකාර කරන අය වෙත්ද ඔවුන් කෙරෙහි ස්වාමියා කැමැති අයුරින් පිළිපැදිය යුතුය. ඔවුන් උදෙසා කළ යුතු දෙය නොකළයුතු දෙය දැනගෙන කටයුතු කළ යුතුය. ඔවුන්ගේ සුවදුක් විමසා බැලිය යුතුය. ගිලන් වූ විට සැලකිය යුතුය. කෑමබීම ආදියෙන් මැනවින් සංග්‍රහ කළ යුතුය.

යං හත්තා ආහරිස්සති ධනං වා ධඤ්ඤං වා රජතං වා ජාතරූපං වා, තං ආරක්ඛෙන ගුත්තියා සම්පාදෙස් සාම, තත්ථ ව භවිස්සාමි, අධුත්ති අථෙනි අසොණ්ඩි අවිනාසිකායො’ති එවඤ්හි වො, කුමාරියො සික් ඛිතබ්බං ඉමෙහි ඛො, කුමාරියො පඤ්චති ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරං මරණා මනාපකාසීනානං දෙවානං සහබ්යතං උපපජ්ජති’ති

කුමාරිකාවනි, ධූර්තියක් නොවි ලොල් වූ තැනැත්තියක නොවී සොර තැනැත්තියක් නොවී තම ස්වාමියා උපයන මිල මුදල් ධන ධාන්‍ය රන් රිදී මුතු මැණික් ආදිය ආරක්ෂාකාරීව රැක බලා ගත යුතුය. නිකරුණේ වියදම් නොකළ යුතුය. විනාශ නොකළ යුතුය.

කුමාරිකාවනි, මේ කරුණු පහෙන් යුක්තව තම ස්වාමියාට උදව් උපකාරි වන භාර්යාව කිසිදා පිරිහීමකට පත් නොවෙයි. සිරුරේ බිඳීමෙන් හෙවත් මරණයෙන් පසුව මනාපකායික නම් දෙවියන් අතර උපදී. යනුවෙන් බුදුරජාණන් වහන්සේ උග්ගහ සිටුතුමාගේ පතිකුලයට යෑමට සූදානමින් සිටි දියණිවරුන්ට ගෘහස්ත ජීවිතයේ දීර්ඝකාලීන යහපැවැත්ම සඳහා හේතුවන මේ වටිනා උපදේශයන් ලබා දෙමින් දහම්දෙසුම නිම කළ සේක.

වීර්ය ඇති උත්සාහවත් වූ යමෙක් නිරතුරුව ඇය පෝෂණය කරයි ද ඕතොමෝ කැමැති දෙය දෙන්නා වූ තමා පෝෂණය කරන්නා වු තම ස්වාමියා කිසිදා ඉක්මවා නොසිටියි.

ඒ ස්ත්‍රිය ස්වාමියා කැමැති පරිදි හැසිරෙන්නේ ද කෝප නොකරන්නේද, නුවණැත්තීව ස්වාමියාගේ සියලු කටයුතු අනලස්ව සිදු කරන්නේද ඇය තම ස්වාමියාගේ සිත නිරන්තරයෙන් ඇද ගන්නීය..

උත්සාහවත්ව අලස නොවී සංග්‍රහ කරන ලද පිරිවර ජනයන් ඇතිව,, ස්වාමියාට පි‍්‍රය මනාපව හැසිරෙන්නේ ,ඔහු විසින් රැස්කරන ලද ධනය ආරක්‍ෂා කරන්නේද ඇය කිසිදා පිරිහීමකට නොයයි.

මෙසේ ස්වාමියාගේ කැමැත්ත අනුවම යම් ස්ත්‍රියක් කටයුතු කරයි ද පවතීද මරණින් පසුව ඕ තොමෝ එකිනෙකාට පි‍්‍රයකරමින් මනාපකායක නම් දේව කොට්ඨාසයක් යම් තැනක වාසය කරයිද එහි උපදිති.

මතු සම්බන්ධයි

 
මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු මස 30 වැනි දා ඉරිදා පූර්වභාග 02.33 ට ලබයි.
31 වැනිදා සඳුදා පූර්වභාග 00.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු මස 30 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 07 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]